TechWire

Author - Osusara Kammalawatta

DJI Osmo Pocket

DJI Osmo Pocket Featured Image

DJI යනු ලොව ප්‍රමුඛපෙළේ කැමරා උපාංග නිෂ්පාදනය කරන ආයතනයකි. DJI Mavic, Phantom වැනි Drone මෙන්ම DJI Ronin වැනි කැමරා උපාංග නිෂ්පාදනය කරන මෙහි Osmo යනු Action Camera එසේත් නැත්තම් දැඩි භාවිතයන් සඳහා යොදාගන්න කැමරා සහ උපාංග වර්ගීකරණයකි. DJI Osmo Pocket යනු මෙම Osmo වර්ගීකරණයේ සාමාජිකයෙක් වන ඉතා කුඩා ප්‍රමාණයේ Action Camera විශේෂයකි. මෙහි විශේෂත්වය නම් කැමරාව අක්ෂ තුනක් ඔස්සේ ස්ථාවරව පවත්වා ගත හැකි stabilizer එසේත් නැත්නම් ස්ථායිකාරකයක් ද අඩංගු වීමයි. DJI සමාගමේ නිෂ්පාදනය කරන කුඩාම කැමරා ස්ථායිකාරකය DJI Osmo Pocket හි අඩංගු වේ.

DJI Osmo Pocket කැමරාව එදිනෙදා ජීවිතයේදී සිදුවන විශේෂ සිදුවීම් ජංගම දුරකථනයකින් වීඩියෝ ගත කරනවාට වඩා වැඩි ගුණාත්මක බාවයකින් යුතුව වීඩියෝ ගත කිරීමට භාවිතා කල හැක. බොහෝමයක් සමාජ ජාල වල, විශේෂයෙන් traveling, adventure සහ vlog වීඩියෝ නිර්මාණ කරන පිරිස අතර DJI Osmo Pocket කැමරාව වඩාත් ජනප්‍රිය වී ඇත. ප්‍රමාණයෙන් කුඩා වීම, බරින් අඩු වීම සහ පහසුවෙන් හැසිරවීමට හැකි වීම මෙයට හේතු වේ.කෙසේ නමුත් මෙය ජල ප්‍රතිරෝධී නොවේ.

DJI Osmo Pocket Image 1

මෙය ප්‍රමාණයෙන් මිලිමීටර 121.9×36.9×28.6 වන අතර බර ග්‍රෑම් 116 ක් තරම් සැහැල්ලු වේ. Gimbal නැතහොත් කැමරාව ස්ථාවර කරන බඳ කොටස තත්පරයට අංශක 120 ක් තරම් කෝණික වේගයෙන් ඉදිරියට සහ පිටුපසට, දෙපසට සහ කරකැවීමට එනම්, අක්ෂ තුනම ඔස්සේ හැරවීමට හැකියාව ඇත. DJI Osmo Pocket හි අඩංගු ලිතියම් පොලිම බැටරියෙහි ධාරිතාව 875mAh වේ. එක් ආරෝපනයකින් මිනිත්තු 140 ක කාලයක් ක්‍රියා කල හැක. මෙහි බඳ කොටසේ කුඩා ප්‍රමාණයේ ස්පර්ශ සංවේදී තිරයක් ඇති අතර මෙම තිරය මගින් කැමරාවෙන් පෙනෙන දේ නිරීක්ෂණය කිරීමට හා DJI Osmo Pocket හි සැකසුම් වෙනස් කල හැක. මෙම තිරය සහ මෙහි අඩංගු මෘදුකාංගය තනි ඇඟිල්ලකින් ක්‍රියාකිරීමට සකසා ඇත. තවද බඳ කොටසේ ඇති සම්බන්ධකයට smart ජංගම දුරකථනයක් හෝ වෙනත් උපාංග සම්බන්ධ කල හැක.

DJI Osmo Pocket Image 2

DJI Osmo Pocket හි කැමරාව මෙගා පික්සල් 12 ක් වන අතර, පික්සල් 4000×3000 ප්‍රමාණයේ ඡයාරූප ලබාගත හැක. 4K වීඩියෝ ගතකිරීම්, තත්පරයට රාමු 24/25/30/48/50/60 fps ප්‍රමාණ වලින් ලබාගත හැකි අතර, 2.7K වීඩියෝ 1920×1080 24/25/30/48/50/60 fps හා Full HD 1920×1080 වීඩියෝ ගතකිරීම්, තත්පරයට රාමු 24/25/30/48/50/60/120 fps අගයන්ගෙන් ලබාගත හැක. Single Shot, Panorama, Timelapse, Motionlapse, Hyperlapse සහ Slow Motion ආකාර වලින් ඡයාරූප ලබාගැනීමට සහ වීඩියෝ ගත කිරීමට DJI Osmo Pocket හට හැකියාව ඇත. තවද Active Tracker මගින් චලනය වන යමකට කැමරාව එල්ල කර, කැමරාව ස්වයං ක්‍රියව හැරවීමට සකස් කල හැක. NightShot මගින් අඳුරේ ඡායාරූප ගත කිරීම් සිදු කල හැක. එමෙන්ම ගිගාබයිට් 256 ක් වන තෙක් SD මතක පිටතින් සම්බන්ධ කල හැක.

COVID – 19

covid - 19 featured image

COVID – 19 හෙවත් Coronavirus Disease 2019 යනු මේ දිනවල ලොව පුරා පැතිරෙමින් පවතින, ඉතා දරුණු වයිරස් විශේෂයකි. Corona වයිරස් කාණ්ඩයේ නවතම සාමාජිකයෙක් ලෙස සොයාගැනෙන නව Corona වයිරසය පළමු වරට හඳුනාගැනෙන්නේ චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් ප්‍රදේශයෙන් වන අතර, මේ වන විට ලොව පුරා රටවල් 170 කට ආසන්න ප්‍රමාණයක ව්‍යාප්ත වී ඇත. නව Corona වයිරසය හේතුවෙන්, මේ වන විටත් ලොව පුරා විශාල ජීවිත සංඛ්‍යාවක් හානි වී ඇත. මේ වන විට ශ්‍රී ලංකාවෙන් ද COVID – 19 රෝගීන් කිහිප දෙනෙක් වාර්තා වී ඇත.

covid - 19 image 1

COVID – 19 ව්‍යාප්තිය සම්බන්ධ ලොවපුරා තොරතුරු ලබා ගැනීමට පිවිසෙන්න,

හඳුනා ගන්නේ කෙසේද?

නව Corona වයිරසය ප්‍රධාන වශයෙන් බලපාන්නේ ශ්වසන පද්ධතියට වන අතර, මෙම වයිරසය කෙනෙකුගේ ශරීරයට ඇතුළු වී දින කිහිපයක් ගතවන තෙක් රෝග ලක්ෂණ කිසිවක් නොපෙන්වයි. මේ සඳහා අවම දින 2 ක සිට 14 ක් දක්වා කාලයක් ගතවිය හැක.

මුල් අවදියේදී උණ ගතිය, වියළි කැස්ස, හිසරදය, හුස්ම ගැනීමේ අපහසුතා සහ උගුරේ වේදනාව වැනි රෝග ලක්ෂණ පෙන්වන අතර, පසුව වමනය, තද උණ වැනි රෝග ලක්ෂණ ඇතිවිය හැක. තත්වය දරුණු අතට හැරෙනුයේ නියුමෝනියා තත්වයට පත් වීමෙනි. අවසානයේ ශ්වසන පද්ධතිය ඇතුලු වෙනත් ශරීර අවයව ක්‍රියා විරහිත වී මරණයට පත් විය හැක.

covid - 19 image 2

ව්‍යාප්ත වන්නේ කෙසේද?

COVID – 19 වයිරසය ප්‍රධාන නාසයෙන් සහ මුඛයෙන් ශරීර ගත වේ. මීට අමතරව ඇස් මගින්ද ශරීර ගත විය හැකි බව සොයාගෙන ඇත. Corona රෝගියෙකු කතා කරන විට, කහින විට හෝ කිමුහුම් යවනවිට ඔහුගේ මුඛයෙන් හෝ නාසයෙන් කෙල බිඳිති සමග වයිරසය පිට වන අතර එය වාතය හරහා ආසන්නයේ සිටින තවත් කෙනෙකුගේ ශරීරයට ඇතුළුවිය හැක. තව ද පෘෂ්ඨයක් මත Corona වයිරසය පැවතියහොත් එම පෘෂ්ඨය ස්පර්ශ කරන කෙනෙකුගේ අතෙහි තැවරෙන වයිරසය, මුහුණ ස්පර්ශ කරන අවස්ථාවක නාසය හෝ මුඛය හරහා ශරීර ගත විය හැක. මෙහි දරුණු තත්වය වන්නේ. රෝග ලක්ෂණ මතු වීමට දින කිහිපයක් ගත වුවද, රෝගය ව්‍යාප්ත වීම පළමු දින සිටම සිදු වීමයි. තවද මෙම වයිරසයට යම් පෘෂ්ඨයක් මත දින කිහිපයක් නොනැසී පැවතිය හැක.

ශරීරයට ඇතුළුවන COVID – 19 වයිරසය, ශ්වසන මාර්ගය ඔස්සේ පෙනහළු වෙත ගමන් කරයි. මෙසේ පෙනහළු වලට ඇතුල්වන වයිරසය ජීවී සෛල තුලට ඇතුල් වී, සෛලය විනාශ කරමින් නව වයිරස බිහි කරයි. මෙසේ පෙනහළු සෛල එකක් විනාස කරමින් වයිරස දහස් ගණනක් බිහි වෙයි. හොඳ ප්‍රතිශක්තියක් නොතිබුනහොත්, දිගින් දිගටම පෙනහළු සෛල විනාශ වී නියුමෝනියා තත්වයට පත්වී පසුව මරණයට පත්විය හැක.

covid - 19 image 3

වලක්වා ගන්නේ කෙසේද?

නව Corona වයිරස ව්‍යාප්තිය අවම කර ගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානය අතුල ජාත්‍යන්තර සංවිධාන මගින් පිළිවෙත් කිහිපයක් හඳුන්වා දී ඇත. 

  • ප්‍රථමයෙන්, අප හැකි පමණ නිවසින් බැහැර නොවී සිටිය යුතුයි.
  • නිවසින් බැහැර වන්නේ නම්, මුහුණු ආවරණයක් පැළඳීම මගින් වයිරසය නාසය සහ මුඛය හරහා ශරීර ගත වීම අවම කරගත හැක.
  • තවත් කෙනෙකු සමග කතා කරන විට අවම මීටර 1ක පරතරයක් තබා ගත යුතුයි.
  • නිරන්තරයෙන් අත් පිරිසිඳු කල යුතුයි.
  • කිමුහුම් යවන විට දී හෝ කහින විට දී, ඉවත දැමිය හැකි ඇත පිස්නාවකින් මුඛය සහ නාසය වසාගෙන එය ආරක්‍ෂිත ලෙස බැහැර කරන්න. නැතහොත් වැලමිටෙන් මුඛය සහ නාසය වසා ගන්න.

රෝගයට පිළියම් මොනවාද?

වයිරස සඳහා බෙහෙත් සොයාගැනීම ඉතා අසීරු බව අප දන්නා කරුණකි. කෙසේ නමුත් අනෙකුත් වයිරස වලට මෙන්ම COVID – 19 වයිරසය පාලනය කිරීමට විද්‍යාඥයීන් පිළියම් සොයාගෙන ඇත. ප්‍රධාන වශයෙන් Corona රෝගීන් නිරෝධායන ක්‍රියා වලියකට භාජනය කරයි.

නිරෝධායන ක්‍රියාවලිය යනු, ප්‍රධාන වශයෙන් Corona රෝගීන් බාහිර පරිසරයෙන් වෙන් කොට තබා වයිරසය පාලනය කිරීමට ක්‍රියා කිරීමයි.

covid - 19 image 4

කෙසේ නමුත්, සෑම රටකම පාහේ Corona වයිරසය තුරන් කිරීමට විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇත. තවද විවධ රටවල විද්‍යාඥයීන් Corona වයිරසය සඳහා විවිධ ඖෂධ සොයාගනිමින් සිටී. මේ වන විට ජපානයේ විද්‍යාඥයීන් පිරිසක් Corona වයිරසය මගින් වැළදෙන නියුමෝනියා තත්වයට ප්‍රතිකාරයක් ලෙස Avigan නම් ඖෂධයක් නිෂ්පාදනය කර ඇත.

කෙසේ හෝ මෙම ව්‍යසනය ඉතා ඉක්මනින් අවසන් වේ යැයි ප්‍රර්ථනා කරමු. වයිරසය සම්බන්ධ පහත වීඩියෝව නරඹන්න.

Samsung Galaxy Z Flip

Galaxy Z Flip featured image

Samsung ආයතනය Samsung Galaxy Fold smart ජංගම දුරකථනය ඔවුන්ගේ ප්‍රථම නැමිය හැකි තිරයක් සහිත උපාංගයක් ලෙස හඳුන්වා දෙන ලදි. මෙය බොහෝ දෙනාගේ කථාබහට ලක් වුයේ තරමක් අසාර්ථක නිෂ්පාදනයක් ලෙසය. මෙයට හේතුව, එහි නැවිය හැකි තිරය මෙන්ම මෙම ජංගම දුරකථනය ඉතා පහසුවෙන් හානියට පත්වන බැවිනි. කෙසේ නමුත් Samsung සමාගම පසුගිය දිනක තවත් නැමිය හැකි තිරයක් සහිත smart ජංගම දුරකතනයක් එළිදක්වන ලදී. එනම් Samsung Galaxy Z Flip. විශේෂත්වය වන්නේ,  මෙය සිරස් අතට නැමිය හැකි වීමයි.

Galaxy Z Flip

Samsung Galaxy Z Flip smart ජංගම දුරකථනය හැකිලූ පසු ඉතා කුඩා වන අතර, පහසුවෙන් සාක්කුවේ දමාගැනීමට හැකිවේ. Samsung Galaxy Fold උපාංගයට වඩා ශක්තිමත් බවෙන් වැඩි අතර රළු භාවිතයන්ට ඔරොත්තු දෙන බව නිෂ්පාදකයන් පවසයි. මෙය නැමිය හැකි දුරකථනයක් බැවින් නැමෙන ස්ථානයෙන් පහසුවෙන්ම දුහුවිලි ජංගම දුරකථනය තුලට යාමට හැකියාවක් තිබෙන බැවින්, එය වැලක්වීමට සියුම් කෙඳි යොදාගනිමින් නමෙන් ස්ථාන ආවරණය කර ඇත. එමෙන්ම තිරය එකින් ස්පර්ශ වීම වලක්වෙන ආකාරයට මෙය නිර්මාණය කොට ඇත.

Galaxy Z Flip

Galaxy Z Flip විශේෂාංග

Samsung Galaxy Z Flip smart ජංගම දුරකථනය Mirror Purple, Mirror Black, Mirror Gold වර්ණ තුනකින් මිලදීගත හැක. අඟල් 6.7 ක පුර්ණ තිරයක් ඇති අතර, පළල මිලිමීටර 73.6 ක් වේ. උස මිලිමීටර 167.3 වන අතර ජංගම දුරකථනය හැකිලූ පසු උස මිලිමීටර 87.4 ක් වේ. බර ග්‍රෑම් 183ක් වේ.

Galaxy Z Flip front view

Samsung Galaxy Z Flip හි නැමිය හැකි ප්‍රධාන තිරය FHD+ Dynamic AMOLED පුර්ණ තිරයක් වන අතර ඉදිරිපස කුඩා තිරය අඟල් 1.1 ක Super AMOLED තිරයක් වේ. මෙහි ප්‍රධාන තිරය ඉතා තුනී වීදුරු වලට ඉතා සමාන ද්‍රව්‍යකින් (flexible glass) නිර්මාණය කර ඇත.

Galaxy Z Flip image 4

ඉදිරිපස කැමරාව මෙගා පික්සල් 10ක් වන අතර පිටුපස ද්විත්ව කැමරා මෙගා පික්සල් 12 ක wide-angle සහ මෙගා පික්සල් 12 ක ultra wide කැමරා වලින් සමන්විත වේ. තවද Optical Image Stabilization, Scene Optimizer, Shot suggestions, Flaw Detection වැනි විශේෂාංග මෙහි කැමරාවෙහි අඩංගු වේ. එමෙන්ම 4K 60fps video recording, 1080p 240fps Slow motion, 720p 960fps Super Slow-mo, සහ 1080p Hyperlapse video recording හැකියාවන් මෙම ජංගම දුරකථනය සතුවේ.

3300mAh ද්විත්ව බැටරි දිනක් පුරාවට ක්‍රියා කිරීමට මෙන්ම, Fast charging හැකියාවද මෙම Samsung Galaxy Z Flip සතුව ඇත. 8 GB RAM සහ 256 GB ප්‍රධාන මතක ධාරිතාවකින් සමන්විත වේ.

මෙහි ඇති දුර්වලතා

බැලූ බැල්මට ඉතාමත් දැකුම් කළු නිමාවකින් යුත් Samsung Galaxy Z Flip හි දුර්වලතා කිහිපයක් පවතින බව විචාරකයන් පවසයි. පළමු දුර්වලතාව මෙහි නැමිය හැකි තිරයි. සැම්සන්ග් සමාගම, මෙම තිරය වීදුරු යැයි පැවසුවා ද, මෙය සත්‍ය වශයෙන්ම වීදුරු වලට බොහෝ සමාන ප්ලාස්ටික් වර්ගයකින් නිර්මාණය කර ඇත. මේ නිසා ඉතා පහසුවෙන් සිරීම් වලට ලක් වේ. තවද නැමෙන ස්ථානයේ සියුම් ගැටිති ස්වභාවයක් ඇති නිසා නිරන්තරයෙන් තිරය ස්පර්ශ කරන විට, භාවිත කරන්නාට යම් අපසුතාවක් ඇති වේ. එමෙන්ම නැමීමේදී තිරය හානි වූ අවස්ථා කිහිපයක් ද වාර්තා වී ඇත.

Galaxy Z Flip

තවත් දුර්වලතාවක් නම්, මෙහි නැමෙන ස්ථානයෙන් ජංගම දුරකථනය තුලට දුහුවිලි අංශු සහ වැලි ඇතුළුවන බවයි. සැම්සන්ග් සමාගම විසින් මේ සඳහා සියුම් කෙඳි යොදාගනිමින් දුහුවිලි ඇතුලු වීම වැලක් වීමට උපක්‍රමයක් යොදා ඇත. කෙසේ වුවද Galaxy Z Flip හි නැමෙන ස්ථානයෙන් දුහුවිලි අංශු ඇතුලු වන බව විචාරකයන් පවසයි. මෙනිසා නැමීමේදී හා දිග හැරීමේදී ඇතුලාන්තයේ හානි සිදුවන බව විශ්වාස කරයි.

කෙසේ නමුත් Samsung Galaxy Fold smart ජංගම දුරකථනයට වඩා Galaxy Z Flip ඉදිරියෙන් සිටින බව නොඅනුමානයි. මෙය ඇ. ඩො. 1380 සිට මිලදී ගැනීමට හැක.

DJI Mavic Mini

DJI Mavic Mini Featured image

DJI යනු ලොව ප්‍රමුඛ පෙළේ Drone සහ කැමරා උපකරණ නිෂ්පාදනය කරන ආයතනයකි. DJI Phantom, DJI Mavic වැනි ලොව සුපතල Drone යානා සහ DJI Osmo, DJI Ronin වැනි ඡායාරූපකරණයේදී සහ වීඩියෝකරණයේදී යොදාගන්නා කැමරා උපාංග මෙන්ම RoboMaster, DJI FPV වැනි නිෂ්පාදනද DJI සමාගම විසින් හඳුන්වා දී ඇත.

DJI Mavic Mini image 1

හුරුබුහුටි Drone යානය

DJI Mavic යනු වීඩියෝ කරණය සඳහා නිෂ්පාදනය කර ඇති Drone යානා වර්ගයකි. මෙහි DJI Mavic 2, DJI Mavic Air, Mavic Pro ලෙස වර්ග කිහිපයක්ම පවතී. DJI Mavic Mini මෙම Drone පවුලේම තරමක් ප්‍රමාණයෙන් කුඩා හුරුබුහුටි පෙනුමකින් යුත්  Drone යානාවකි.

අනෙකුත් DJI Mavic Drone යානා මෙන් වෘත්තීයමය රූපගත කිරීම් සඳහා එතරම් සුදුසු නොවන DJI Mavic Mini Drone යානාව, විනෝදාංශයක් ලෙස වීඩියෝකරණයේ නියැලෙන්නන් සඳහා වඩා යෝග්‍ය වේ. මෙහි ඇති ප්‍රධානම වාසිය නම්, තමන්ගේ බෑගයේ හෝ සාක්කුවක දැමිය හැකි තරම් කුඩා වීම සහ බරින් අඩුවීමයි. එමෙන්ම මෙහි තටු හැකිලිය හැකි නිසා තැනින් තැනට රැගෙන යාම ඉතාමත් පහසු වේ.

DJI Mavic Mini image 2

DJI Mavic Mini හි විශේෂාංග

DJI Mavic Mini Drone යානාව ග්‍රෑම් 249ක් තරම් සැහැල්ලු වේ. එනම් සාමාන්‍ය ජංගම දුරකතනයක බරට ආසන්න වේ. නමුත් එක් බැටරි ආරෝපණයකින් විනාඩි 30ක කාලයක් පියාසර කරවීමට හැක. එමෙන්ම කිලෝමීටර 4ක් දක්වා දුරකට පියාසර කරවීමට හැක. තවද Vision Sensor + GPS Precise Hover තාක්ෂණය මගින් Drone යානාව ගුවනේ එක තැන නතර කර තැබිය හැක. 3-Axis Gimbal කැමරා ආධාරකය මගින් යානයේ ඇති කැමරාව අක්ෂ තුන ඔස්සේ නොසෙල්වී පවත්වා ගැනීමට හැකි වේ. එමෙන්ම මෙහි මෙගා පික්සල් 12ක කැමරාවෙන් 2.7K වීඩියෝ ගත කිරීමේ හැකියාව ඇත.

DJI Mavic Mini image 3

DJI Fly ජංගම දුරකථන යෙදුම

මේ සඳහාම නිර්මාණය වුනු DJI Fly දුරකථන යෙදුම මගින් DJI Mavic Mini Drone යානය පහසුවෙන් හැසිරවීමට හැක. එමෙන්ම යානයෙන් ලබාගත් වීඩියෝ පට පහසුවෙන් ක්ෂණිකව සංස්කරණය කිරීමට මෙම ජංගම දුරකථන යෙදුමෙහි ඉඩකඩ ලබාදී ඇත. DJI Mavic Mini Drone යානයේ සහ DJI Fly ජංගම දුරකථන යෙදුමෙහි තවත් විශේෂත්වයක් වන්නේ මෙහි එන QuickShot modes විශේෂාංගයයි. මෙහි Dronie, Circle, Helix, සහ Rocket ලෙස ස්ථාපිත කර ඇති වීඩියෝ උපක්‍රම 4ක් ඇත. පරිශීලකයාට අවශ්‍ය QuickShot Mode එකක් තෝරාගත් විට, Drone යානය ස්වයංක්‍රීයව නිසි ගමන් පථයක ගමන් කරමින් රූපගත කිරීම් සිදු කරයි.

තවද පටු ස්ථාන වලින් පහසුවෙන් සහ ඉතා සීරුවෙන් ගමන් කිරීමට, මෙහි CineSmooth Mode විශේෂාංගය පවතී.

DJI Mavic Mini image 4

DJI Mavic Mini Drone යානාව $399 යේ සිට මිලදී ගැනීමට හැකියාව ඇත. මේ ගැන වැඩි දුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න https://www.dji.com/mavic-mini.

2020 Tesla Model X

2020 Tesla Model X featured image

Tesla ආයතනය, ප්‍රවාහන ක්ෂේත්‍රයේ විශාල පෙරලියක් ඇති කරමින්, මෝටර් රථ කිහිපයක්ම ලොවට හඳුන්වා දී ඇත. ඉන් එකක් වන Tesla Model X මෝටර් රථයේ විශේෂත්වය නම්, මෙය රියදුරන් රහිතව ධාවනය කිරීමට හැකි වීම සහ සම්පුර්ණයෙන්ම විදුලියෙන් ක්‍රියා කිරීමයි.

2020 Tesla Model X image 1

Tesla Model X මෝටර් රථය වඩාත් පරිසර හිතකාමී සහ වේගවත්ම, මිනිසුන් 7 දෙනෙකුව ප්‍රවාහනය කල හැකි මෝටර් රථය ලෙස හැඳින්විය හැක. එමෙන්ම මෝටර් දෙකක් මගින්  All-wheel drive හෙවත් සියළු රෝද වලින් ධාවනය කල හැකි වේ. එමෙන්ම සැතපුම් 300ක් ධාවනය කල හැකි බැටරි ධාරිතාවක් සහ බැටරිය මෝටර් රථයේ යට පිහිටා තිබීම නිසා ස්ථායි වීමත් මෙහි විශේෂත්වයන් වේ., තවද Falcon Wings නමැති උඩට විවෘත කල හැකි දොරවල් තිබීමත් වැනි කරුණු නිසා මෙය ඉතා ප්‍රායෝගික මෝටර් රථයක් ලෙස හඳුන්වයි. එමෙන්ම තවත් බොහෝමයක් නව තාක්ෂණයන් මේ සඳහා යොදාගෙන ඇත. Tesla Model X පවුලේ නවතම සාමාජිකයා ලෙස 2020 Tesla Model X මෝටර් රථය හඳුන්වා දිය හැක.

නවතම 2020 Tesla Model X

2020 Tesla Model X මෝටර් රථය සඳහා වඩාත් කාර්යක්ෂම මෝටර් භාවිත කර ඇත. එමෙන්ම පෙරට වඩා වැඩි වේගයෙන් මෝටර් රථයේ බැටරිය ආරෝපණය කල හැක. Long Range සහ Performance ලෙස මෙහි වර්ග දෙකකි. 

  • Long Range: $86,190
  • Performance: $106,190

Performance මෝටර් රථයේ ජවය තරමක් වැඩි අතර සැතපුම් 305 ක් ධාවනය කල හැකි බැටරි ධාරිතාවක් ඇත. Long Range මෝටර් රථයේ ජවය සාපේක්ෂව අඩු වුවද සැතපුම් 325 ක් ධාවනය කල හැකි බැටරි ධාරිතාවක් පවතී.

2020 Tesla Model X image 2

2020 Tesla Model X හි හැකියාවන්

සියළුම Model X මෝටර් රථ වල විදුලි මෝටර් දෙකක් පවතින අතර එමගින් සියළු රෝද වලින් ධාවනය කිරීමේ හැකියාව ලැබී ඇත. Long Range මෝටර් රථයට තත්පර 4.4 කදී පැයට කිලෝමීටර 100 ක වේගයක් ලබාගත හැකි අතර Performance මෝටර් රථයට ඒ සඳහා ගත වන්නේ තත්පර 2.7කි.

එමෙන්ම Fast Charging හෙවත් අධි වේගයෙන් බැටරිය ආරෝපණය කල හැක. අනෙකුත් ඉලෙක්ට්‍රික් මෝටර් රථ වලට සාපේක්ෂව වඩාත් කාර්යක්ෂම මෝටර් රථය ලෙස මෙය හැඳින්විය හැක.

ඇතුලත සැප පහසුව

නවීන තාක්ෂණයෙන් පිරුණු 2020 Tesla Model X හි ඇතුලත අනාගත ලෝකයට ගැලපෙන ආකාරයෙන් නිර්මාණය කර ඇත. ඉදිරිපස වීදුරුව වහලය තෙක් යොදා ඇති නිසා ගමන් කරන්නන් හට ඉදිරිය සහ ඉහල එකවර දර්ශනය වේ. තවද Dashboard ස්පර්ශ සංවේදී තිර මගින් මෝටර් රථයේ සියළුම ක්‍රියාවන් සිදු කල හැක.

තවද රියදුරන් රහිත ධාවනය නිසා පදවන්නාට කිසිදු මහන්සියකින් තොරව ගමන් කල හැක.

2020 Tesla Model X image 3

අනාගතයෙන් පැමිණි Tesla Cybertruck

Cybertruck Featured image

මේ දින වල හැමෝගෙම කතා බහට ලක්වන මාතෘකාවක් බවට, Tesla ආයතනය විසින් හඳුන්වා දුන් Cybertruck මෝටර් රථය පත්ව ඇත. මෙය Pickup Truck කාණ්ඩයට අයත් වන මෝටර් රථයක් වන අතර, මෙතෙක් ලොව බිහි වූ ඉතා ජවසම්පන්න ඉන්ධන දහනයෙන් ක්‍රියා කරන Pickup Truck වලට පවා අභියෝග කරන පුර්ණ වශයෙන් විදුලියෙන් ක්‍රියා කරන Pickup Truck රථයකි. Tesla නම ඇසු පමණින් අපට මතක් වන්නේ, Tesla ආයතනයේ නිර්මාතෘ Elon Musk ය. Elon Musk ගේ SpaceX හා අනෙකුත් හඳුන්වා දීම් මෙන්ම, මෙම Cybertruck එකද ඉදිරි දින වලදී මහත් පෙරලියක් ඇති කරන බව නොඅනුමානයකි.

Tesla Cybertruck හි විශේෂතා විශාල ප්‍රමාණයක් ඇත. පෙර සඳහන් කල පරිදි මෙහි ප්‍රධානම විශේෂත්වය වන්නේ, මෙය සම්පුර්ණයෙන්ම විදුලියෙන් ක්‍රියාකිරීමයි. අධි බලැති විදුලි මෝටර් එකක් හෝ දෙකක් හෝ තුනක් ආධාරයෙන් බල ගැන්වෙන ලෙස නිපදවා ඇති Cybertruck වර්ග තුනකින් මිලදී ගැනීමට හැකියාව ඇත. නිෂ්පාදකයන් පවසන ආකාරයට ඉන්ධන දහන එන්ජින් වලට වඩා වැඩි ජවයක් මෙම මෝටර් සතුව ඇත.

විශේෂාංග

Single Motor RWD යනු තනි විදුලි මෝටරක් සහිතව එන Cybertruck රථයයි. මෙය පසුපස රෝද වලින් ධාවනය කෙරෙන අතර කිලෝග්‍රෑම් 3400 කට අධික ඇදගෙන යාමේ ධාරිතාවක් ඇත. එමෙන්ම තත්පර 6.5 ට අඩු කාලයකදී, පැයට කිලෝමීටර 100 ක වේගයක් ලබා ගත හැක. තවද එක බැටරි ආරෝපණයකින් කිලෝමීටර 400 කට අධික දුරක් ධාවනය කල හැක. Single Motor RWD Cybertruck පිලිබඳ වැඩි විස්තර පහත දැක්වේ.

Dual Motor AWD යනු මෝටර් දෙකක් සහිතව එන Cybertruck රථයයි. මෙය සියලු රෝද වලින් ධාවනය කෙරෙන අතර කිලෝග්‍රෑම් 4500 කට අධික ඇදගෙන යාමේ ධාරිතාවක් ඇති අතර තත්පර 4.5 ට අඩු කාලයකදී, පැයට කිලෝමීටර 100 ක වේගයක් ලබා ගත හැක. එමෙන්ම එක බැටරි ආරෝපණයකින් කිලෝමීටර 480 කට අධික දුරක් ධාවනය කල හැක. Dual Motor AWD Cybertruck පිලිබඳ වැඩි විස්තර පහත දැක්වේ.

Tri Motor AWD යනු මෝටර් තුනක් සහිතව එන Cybertruck රථයයි. මෙයද සියලු රෝද වලින් ධාවනය කෙරෙන අතර කිලෝග්‍රෑම් 6300 කට අධික ඇදගෙන යාමේ ධාරිතාවක් ඇති අතර තත්පර 2.9 ට අඩු කාලයකදී, පැයට කිලෝමීටර 100 ක වේගයක් ලබා ගත හැක. එමෙන්ම එක බැටරි ආරෝපණයකින් කිලෝමීටර 800 කට අධික දුරක් ධාවනය කල හැක. Tri Motor AWD Cybertruck පිලිබඳ වැඩි විස්තර පහත දැක්වේ.

අසාමාන්‍ය පෙනුම

ඉතාමත් වෙනස් අකාරයේ හැඩයක් සහිතව නිර්මාණය කර තිබීම Cybertruck හි තවත් සුවිශේෂී තාවකි. මිනිසුන් හය දෙනෙකුට ඉතා සැප පහසුවට ගමන් කිරීමට ඉඩකඩ සපුරා තිබෙන මෙම රථයේ බඳ සකස්කොට තිබෙන්නේ SpaceX හි Starship නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා ඉතාමත් ශක්තිමත් අපාරගම්‍ය ලෝහයකිනි. මේ ලෝහය නිසා රථයේ බඳ කඩතොළු වීම, ගෙවී යෑම, මළකඩකෑම හා හදිසි අනතුරකදී රථයේ ඇතුලත සිටින මගීන්ට වන හානිය අවම වේ. මෙහි බඳ මෙන්ම ජනෙල් වීදුරුද උණ්ඩ ප්‍රතිරෝධී වේ. මෙහි පවතින අසාමාන්‍ය හැඩය ශක්තිමත් බව ආරක්ෂා කිරීමටත් වායු ප්‍රතිරෝධය අවම කිරීමටත් ඇතුලත ඉඩ ප්‍රමාණය මනාව කළමනාකරණය කිරීමටත් උපකාරී වේ.

තවද Tesla ආයතයේ අනෙකුත් මෝටර් රථ මෙන්ම මෙහිද Self-Driving නැත්නම් රියදුරන් රහිතව ධාවනය කිරීමේ හැකියාවද අමතර විශේෂාංගයක් ලෙස ලබාගත හැක. කෙසේ වෙතත්, අනෙකුත් Pickup Truck වලට සාපේක්ෂව වඩා වැඩි විශේෂාංග ප්‍රමාණයක් Cybertruck හි පැවතියද, මිල ඇදහිය නොහැකි තරම් අඩුය. මිල ගණන් පහත දැක්වේ

2021 වර්ෂයේ සිට මෙම විශිෂ්ට නිර්මාණය වෙළඳපලට නිකුත් කරන බව නිෂ්පාදකයන් පවසා ඇත. මේ වනවිට Tesla සමාගම වෙත Cybertruck ඇනවුම් 146,000ක් පමණ ලැබී ඇති අතර එහි මුළු වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 8ක් පමණ වේ.

GoPro Hero 8 Black

GoPro Hero 8 Black [Featured Image]
GoPro Hero 8 Black [image 1]

GoPro යනු ලොව වඩාත්ම ප්‍රචලිත Action කැමරා, එසේත් නැත්නම් රළු භාවිතය සඳහා විශේෂිත වූ කැමරා වර්ගයකි. ජලයට, දුහුවිල්ලට, අධික පීඩනයන්ට මෙන්ම ගැටීම් වලට ඔරොත්තු දියහැකි ආකාරයට මෙම GoPro  කැමරා නිෂ්පාදනය කර ඇත. පසුගිය දිනක GoPro Hero පවුලේ නවතම සාමාජිකයා වන GoPro Hero 8 Black කැමරාව එළිදක්වන ලදි.

මෙහි විශේෂත්වය

GoPro Hero 8 Black කැමරාවෙහි විශේෂත්වයක් වන්නේ, මේ සඳහා බාහිර ආරක්ෂක ආවරණයක් අවශ්‍ය නොවීමයි. මෙහි උස, පළල සහ ඝනකම පිලිවෙලින් මිලිමීටර 48.6, 66.3, 28.4 ක් තරම් කුඩා වන අතර බර ග්‍රෑම් 126 ක් පමණ වේ. තවද කැමරාවෙහිම අඩංගු වන දිගහැරීමට සහ හැකිලීමට හැකි ආධාරක සම්බන්ධක දෙක මගින් ඉතා ශක්තිමත්ව වෙනත්  ආධාරකයකට සවි කිරීමේ හැකියාව ඇත. මෙය මුදලින් ඇමෙරිකානු ඩොලර් 399.99 ක් වේ.

GoPro Hero 8 Black [image 2]

මෙමගින් 4K/60FPS, 2.7K/120FPS, 1080P/240FPS වීඩියෝ පහසුකම් ඇති අතර මෙහි කැමරාව මෙගා පික්සල් 12 ක් වේ. තවද Time Lapse, Slo-Motion, Night Lapse පහසුකම් වලින්ද සමන්විත වේ. GoPro Hero 8 Black හි ඩිජිටල් කාචයේ SuperView, Wide, Liner, Narrow ලෙස පරාස හතරක් ඇති අතර මේවයින් වඩාත් පුළුල් පරාසයක් කැමරා ගත කිරීමට හැකි වේ. HyperSmooth 2.0 විශේෂාංගය මගින් වීඩියෝ ගත කිරීමේදී ඇතිවන චලනයන් වඩාත් සුමට කරයි.

Bluetooth සහ Wi-Fi මගින් smart ජංගම දුරකථනය හෝ tablet පරිගණකය සමග සම්බන්ධ කිරීමටත්, GoPro යෙදුම මගින් කැමරාවේ විවිධ කාර්යයන් සිදුකිරීමටත් හැකියාව ඇත. තවද GPS පහසුකම්, කටහඬින් පාලනය කිරීමේ හැකියාව වැනි විශේෂාංග ද මෙහි අඩංගු වේ. එමෙන්ම අඟල් 2 ක ස්පර්ශ සංවේදී තිරය සහ ගලවා ඉවත් කල හැකි 1220mAh ලිතියම් අයන බැටරියක් පැවතීමද නව GoPro Hero 8 Black හි විශේෂත්වයකි.

GoPro Mods

GoPro Hero 8 Black සඳහා විශේෂිත වූ උපාංග කිහිපයක්ද ඇත. මේවා GoPro Mods ලෙස හඳුන්වයි. Media Mod යනු ඉන් එකක් වන අතර මෙය GoPro Hero 8 Black කැමරාවට පිටතින් සවි කල හැකි මයික්‍රොෆෝන් උපාංගයක් වේ. මෙමගින් වඩාත් සුපැහැදිලි ශබ්ද සහිතව වීඩියෝ ලබාගැනීමට හැකි වේ. මෙය මුදලින් ඇමෙරිකානු ඩොලර් 79.99 ක් වේ.

Display Mod යනු GoPro Hero 8 Black සඳහා පිටතින් සවි කල හැකි අමතර තීරයකි. මෙය ඉදිරිපසට සහ පිටුපසට හැරවීමට හැකියාව ඇති අතර රූපගත කිරීම් වඩාත් පැහැදිලිව නිරීක්ෂණය කල හැක. මෙයද මුදලින් ඇමෙරිකානු ඩොලර් 79.99 ක් වේ.

Light Mod යනු තවත් GoPro Hero 8 Black සඳහා විශේෂිත වූ උපාංගයකි. මෙය කැමරාවට බාහිරින් සවි කල හැකි ආලෝක කරන උපාංගයක් වන අතර මෙමගින් ඡායාරූප සහ වීඩියෝ සඳහා අවශ්‍ය ආලෝකය සැපයීමට හැකි වේ. මෙය මුදලින් ඇමෙරිකානු ඩොලර් 49.99 ක් වේ.

GoPro Hero 8 Black [image 3]

GoPro Hero 8 Black හි නව විශේෂාංග බොහෝ අවස්ථාවල වාසිදායක මෙන්ම අවාසි දායක ද විය හැක. මෙහි ඇති අවාසි ලෙස, මිල තරමක් වැඩි වීම, කටහඬින් පාලනය කිරීමට යම් අවස්ථාවල අපහසු වීම වැනි දේ පෙන්වා දිය හැක. GoPro Hero 8 Black ඇත්තටම හොඳද? නරකද? යන්න ඔබම තීරණය කරන්න. තවත් මෙවැනි රසවත් ලිපියකින් නැවත හමුවෙමු.


iPhone 11, iPhone 11 Pro සහ Pro Max

iPhone 11 Featured image

2019 සැප්තැම්බර් 20 වන දින Apple සමාගම විසින් ඔවුන්ගේ නවතම iPhone 11, smart phones මාලාව ලෙස iPhone 11, iPhone 11 Pro සහ iPhone 11 Pro Max ලෙස smart phones තුනක් හඳුන්වා දෙන ලදී. iPhone XR හි ඊළඟ අනුවාදය ලෙස iPhone 11 මෙන්ම iPhone XS සහ XS Max හි ඊළඟ අනුවාද ලෙස iPhone 11 Pro සහ Pro Max ද හදුන්වා දී ඇත. iPad සහ Mac සඳහා තිබූ Pro නාමය මෙවර iPhone 11 සඳහා ද භාවිත කර තිබීම විශේෂත්වයකි. iPhone 11 හි මිල $699 සිට ඉහලට මෙන්ම iPhone 11 Pro සහ Pro Max හි මිල පිලිවෙලින් $999 සහ $1099 සිට ඉහලට වේ.

iPhone 11 Image 1

නිමාව

iPhone 11 හි පිටුපස දිලිසෙන සුළු වීදුරු මුහුණතක් සහ වටේ දාරය ඇලුමිනියම් ලෝහයෙන් නිපදවා ඇත. මෙය කළු, කහ, සුදු, රතු, දම් සහ කොල ලෙස වර්ණ හයකින් හදුන්වාදී ඇත. iPhone 11 Pro සහ Pro Max දෙකෙහිම පිටුපස නොදිලිසෙන (matte) වීදුරු මුහුණතක් සහ වටේ දාරය ශක්තිමත් වානේ වලින් නිපදවා ඇත. මෙය Midnight Green, Space Gray, Silver and Gold ලෙස වර්ණ හතරකින් හඳුන්වා දී ඇත.

iPhone 11, iPhone 11 Pro සහ iPhone 11 Pro Max තුනෙහිම Camera ප්‍රදේශය තරමක් ඉදිරියට නෙරා ආ ස්වභාවයකින් යුක්තවේ. පෙර පරිදිම ඉදිරිපස පුර්ණ තිරයක් සහ ඉහල කොටසේ Notch එක පිහිටා ඇති අතර Headphones port එකක් නැත. එමෙන්ම දුහුවිලි සහ ජල ප්‍රතිරෝධී වේ.

තිරය

iPhone 11 හි අඟල් 6.1 ක Liquid Retina HD LCD තිරයකින් සමන්විත වන අතර 1792 x 828 ක පික්සල් විභේදනයක් ඇත. iPhone 11 Pro හි අඟල් 5.8 ක Super Retina XDR OLED, 2436 x 1125 ක් පික්සල් විභේදනයක් සහිත තිරයකින් සමන්විත වේ. iPhone 11 Pro Max හි අඟල් 6.5 ක Super Retina XDR OLED තිරයක් අඩංගු වන අතර 2688 x 1242 ක පික්සල් විභේදනයකින් යුක්ත වේ.

සාපේක්ෂව iPhone 11 හි තිරයට වඩා අතිශය සුපැහැදිලි සහ ආලෝකමත් තිරයක් iPhone 11 Pro සහ iPhone 11 Pro Max සඳහා ඇත. තවද පෙර පැවති 3D Touch නොහොත් ස්පර්ශ පීඩනයට සංවේදී තිරයක් වෙනුවට Haptic Touch නොහොත් තිරය ස්පර්ශ කරගෙන සිටින කාලය අනුව ක්‍රියාකිරීමට තිරය නිර්මාණය කර ඇත.

කැමරා

කැමරාවෙහි පැහැදිලි වෙනසක් දැක ගැනීමට හැක. iPhone 11 හි කැමරා දෙකක් ඇත. ඉන් එකක් මෙගා පික්සල් 12ක wide angle lense කැමරාව වන අතර අනෙක මෙගා පික්සල් 12 ක ultra wide angle lense කැමරාව වේ. මෙමගින් අංශක 120ක ද්‍රශ්‍ය පරාසයක් ලබා දෙන අතර එමගින් පෙරට වඩා පුළුල් ප්‍රදේශයක් කැමරා කාචයට ග්‍රහණය කරගැනීමට හැකිවේ. මෙම ද්විත්ව කැමරා පද්ධතිය මගින් 2x optical zoom හැකියාවද ලැබී ඇත.

එමෙන්ම  iPhone 11 Pro සහ iPhone 11 Pro Max සඳහා ඉහත සඳහන් කල කැමරා දෙකට අමතරව තෙවන කැමරාවක් ලෙස මෙගා පික්සල් 12 ක telephoto lense එකක්ද අඩංගු වේ. මෙය වඩාත් ආලෝකයට සංවේදී වන අතර පෙරට වඩා වඩාත් කාර්යක්ෂමව ක්‍රියා කරයි. මෙම තෙවන කැමරාව portrait ජායාරුප ගැනීමට උපකාරී වේ.

තවද අලුතෙන් හදුන්වා දෙන Night Mode විශේෂාංගය මගින් අඩු ආලෝකයේ වඩාත් පැහැදිලි ජායාරුප ලබාගැනීමට හැකියාව ඇත. Quick Take විශේෂාංගය මගින් රූපගතකිරීමක් අතර තුර ජායාරුප ලබාගැනීමට හැකියාව ඇත. 4K රුගත කිරීම් කිරීමේ හැකියාවද මෙම කැමරා පද්ධති මගින් ලැබී ඇත.

එමෙන්ම iPhone 11, iPhone 11 Pro සහ Pro Max තුනෙහිම මෙගා පික්සල් 12ක ඉදිරිපස කැමරාවක් අඩංගුවේ. මෙහි විශේෂත්වය නම්, තත්පරයට රාමු 60ක සංඛ්‍යාතයෙන් 4K රුගත කිරීම් කිරීමේ හැකියාව ඉදිරිපස කැමරා වලටද ඇත. එමෙන්ම slow-motion රුගත කිරීමේ හැකියාවද මෙයට අඩංගු වේ. එය Slofie ලෙස නම්කොට ඇත.

iPhone 11 Image 4

Performance

Apple සමාගම විසින් හදුන්වාදුන් නවතම A13 Bionic processor, iPhone 11, iPhone 11 Pro සහ Pro Max තුනෙහිම අන්තර්ගත කොට ඇත. මෙමගින් පෙරට වඩා 20%ක කාර්යක්ෂමතාවක් ලැබෙන අතර ශක්ති පරිභෝජනය 40% කින් අවම වන බව සඳහන් වේ. මෙම තුනම 64GB, 256GB සහ 512GB ලෙස මතක ධාරිතා ප්‍රමාණ තුනකින් මිලදී ගත හැක.

එමෙන්ම බැටරි ආයු කාලය පෙරට වඩා වැඩි දියුණු කර ඇත. ආසන්න වශයෙන් පැය 11 පමණ ක්‍රියා කරවීමට හැකියාව ඇත. iPhone 11, iPhone 11 Pro සහ Pro Max තුනෙහිම fast charging විශේෂාංගය ඇති අතර iPhone 11 Pro සහ Pro Max සඳහා වොට් 18 ක fast charger එකක් ලැබෙන අතර iPhone 11 සඳහා fast charger එක වෙනම මිලදී ගැනීමට සිදුවේ.

iPhone XR, iPhone XS සහ XS Max තුනට සාපේක්ෂව iPhone 11, iPhone 11 Pro සහ Pro Max හි යම් දියුණුවක් දක්නට හැක. මෙහි වාසි මෙන්ම අවාසිද නැතුවාම නොවේ. කෙසේ නමුත් මුදලට සරිලන වටිනාකමක් තිබේද නැද්ද යන තීරණය ඔබ සතුය. නැවතත් මෙවැනි තාක්ෂණික පුවතකින් හමුවෙමු.

Amazon Echo Dot

Amazon Echo Dot Featured Image

ඔබ දැනටමත් දන්නවා ඇති Apple Home Pod සහ Google Home උපාංග පිළිබඳව. මේවා smart speakers උපාංග වන අතර මේවායේ අඩංගු වන digital personal assistant මෘදුකාංග මගින් පරිශීලකයාට අවශ්‍ය විවිධ කාර්යන්, පහසුවෙන් කරගැනීමට හැකි වේ. මෙම ලිපියෙන් අප කතා කරන්න බලාපොරොත්තු වන්නේ තවත් මෙවැනිම smart speaker උපාංගයක් ගැනයි.

Amazon Echo Dot Image 1

Amazon Echo Dot යනු?

Amazon Echo යනු Amazon ආයතනය නිෂ්පාදනය කරන ලද smart speaker උපාංගයයි. Amazon Echo Dot යනු තරමක් උසින් අඩු කොට නිෂ්පාදනය කරන ලද  Amazon Echo වැනිම smart speaker උපාංගයකි. මෙහි Amazon Alexa නමැති කෘතීම බුද්ධිය virtual assistant කෙනෙක් ලෙස අඩංගු වේ. මෙයින් පරිශීලකයාගේ කටහඬ හදුනාගෙන, වාචිකව ලබා දෙන විවිධ විධාන වලට අනුව ක්‍රියා කරයි. නවතම Amazon Echo Dot උපාංගය Amazon Echo Dot 3 නම් වේ.

ඒක මොන වගේද?

Amazon Echo Dot අනෙකුත් smart speaker උපාංග වලට සාපේක්ෂව ප්‍රමාණයෙන් කුඩා වේ. සිලින්ඩරාකාර හැඩයක් සහිත මෙහි කළු, අළු සහ සුදු ලෙස වර්ණ තුනකින් අපට ලබාගත හැක. මෙහි උඩ මුහුණතේ ශබ්දය අඩු වැඩි කිරීමට, mic on/off කිරීමට සහ action සඳහා බොත්තම් හතරක් ඇත. වක්‍ර මුහුණතේ speaker එක සහ විදුලිය සැපයීමට port එකක් සහ 3.5 audio out එකකින් සමන්විත වේ.  වක්‍ර මුහුණතේ උඩ කොටසේ වළල්ලක් ආකාරයට LED තීරුවක් ඇත. යට මුහුණත රබර් වන අතර එමගින් ඕනෑම මතුපිටක ලිස්ස නොයන අකාරයෙන් තැබිය හැක.

Amazon Echo Dot Image 2

මොනවද මේකෙන් කරන්නේ?

Amazon Echo Dot උපාංගය Wifi ජාලයකට සම්බන්ධ කල හැක. එමගින් පරිශීලකයා අසන ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට අන්තර්ජාලයෙන් තොරතුරු ලබාගනී. එමෙන්ම ජංගම දුරකතනයට එන Alexa App එක මගින් Amazon Echo Dot හි පිහිටුවීමේ ක්‍රියාවලිය කරගත හැක. අපට අවශ්‍ය සංගීත ශ්‍රවනය කිරීමට, කාලගුණය ඇසීමට, Uber වැනි සේවාවක් ඉල්ලීමට සහ තවත් බොහෝ දේ කරගැනීමට Amazon Echo Dot භාවිත කල හැක. මෙම සේවාවන් වලට, Amazon Echo Dot හි Skills යයි කියනු ලැබේ. එමෙන්ම මෙවැනි Skills තව තවත් Amazon Echo Dot උපාංගයට අන්තර්ජාලය හරහා ලබාගත හැක.

Amazon Echo Dot Image 3

තවද Amazon Echo Dot උපාංගය පරිශීලකයා සතුව ඇති අනෙකුත් ඉලෙක්ට්‍රොනික උපාංග හා සම්බන්ධ වේ. මේ මගින් ජංගම දුරකතනයේ Alarm, Reminder වැනි සේවාවන් පාලනය කිරීමටත්, දුරකථන ඇමතුම්, ඊමේල් සහ කෙටි පණිවිඩ සඳහා නිසි පියවර ගැනීමටත්, smart light වැනි smart home උපකරණ පාලනය කිරීමටත් හැකියාව ඇත. එමෙන්ම වාචික විධාන මගින් තවත් බොහෝ සේවාවන් ඉටු කරගැනීමට හැකියාව ඇත.

Amazon Echo Dot 3rd Generation උපාංගයක් $49.99 ක් වැනි මුදලකට දැන් මිලදී ගත හැක. මෙවැනි Amazon Echo Dot උපාංගයක් ඔබගේ නිවසෙත් තිබේ නම්, එදිනෙදා වැඩ කටයුතු බොහෝමයක් පහසු කර ගැනීමට හැකි වේ.

Intel 10th Gen සමග නවතම Acer නිෂ්පාදන රැසක්

Acer - Intel 10th Gen Launch Featured Image

2019 ඔක්තෝම්බර් 02 වන දින Acer ආයතනය මගින් Intel 10th Gen Processor සමග පැමිණෙන ඔවුන්ගේ නවතම නිෂ්පාදන හදුන්වා දීමේ උත්සවය, Mövenpick හෝටලයේදී හිදී පැවැත්විය. මෙහිදි Colombo Sri Lanka: Acer සමාගමේ, ඉදිරියේදී වෙළඳපොලට පැමිණීමට නියමිත නවතම 10th Gen Intel Core processors සහිත laptop සහ notebook පරිගණක මාදිලි කිහිපයක් හඳුන්වා දුන් අතර Intel සමාගමේ නවතම 10th Gen Processors සහ තවත් නව තාක්ෂණයන් හඳුන්වා දීම සිදු කරන ලදී.

නව Acer නිෂ්පාදන හඳුන්වාදීම

ප්‍රථමයෙන් මෙම උත්සවයේ අරමුණ සම්බන්ධව සිංගප්පූරුවේ පිහිටි Acer සමාගමේ ප්‍රධාන කළමනාකරු වන සුනිල් නායර් මහතා විසින් හැඳින්වීමක් සිදු කරන ලදී. තවද Intel 10th Gen තාක්ෂණය යොදාගනිමින් නිපදවන ලද Acer නිෂ්පාදන සම්බන්ධව වැඩි දුරටත් අදහස් දැක්වීය. ප්‍රධාන වශයෙන් හඳුන්වා දුන් නව Acer notebook මාදිලි නම්, Acer Aspire 5, Aspire 3 සහා Acer Swift 5, Swift 3 මාදිලි වේ.

Acer - Intel 10th Gen Launch Image 1

Acer Aspire Standard Series

Acer Aspire 5 මිලි මීටර 17.95 ක් ඝනකමින් යුක්ත වන අතර එහි අඟල් 15.6 ක තිරය, Full HD වේ. මෙහි අඩංගු 10th Gen Intel Core i processor, NVIDIA GeForce MX250 graphics, Intel Wi-Fi 6 (802.11ax) මගින් වඩාත් සුමටව හා කාර්යක්ෂමව ක්‍රියා කිරීමට හැකියාව ඇත. තවද වැඩි දියුණු කරන ලද තිරයේ වැඩි වර්ණ පරාසයක් සහ වඩාත් සුපැහැදිලිව ශබ්ද විකාශනය කල හැක.

Acer Aspire 3 ද පෙරට වඩා සිහින් ස්වභාවයක් ගන්නා අතර, රැගෙන යාමට වඩාත් පහසු වේ. මෙයද 10th Gen Intel Core i processor, NVIDIA GeForce MX230 graphics මගින් බලගැන්වෙන අතර පෙර පැවතී Acer BluelightShield, 802.11ac wireless antennae යනාදිය අඩංගු වේ.

Acer Swift LightWeight Series

Acer Swift 5 ලොව බරින් අඩුම අඟල් 14 තිරයක් සහිත notebook පරිගණකය ලෙස හැඳින්වේ. මෙහි බඳ කොටස මැග්නීසියම්, ලිතියම්, ඇලුමිනියම් මිශ්‍ර ලෝහයකින් නිපදවා ඇති අතර මෙය ග්‍රෑම් 990 තරම් සැහැල්ලු වේ. තවද Acer Swift 5 notebook පරිගණකය මිලි මීටර 14.95 ක් තරම් සිහින්ය. මෙහි  NVIDIA GeForce MX250 graphics සහ Intel Iris Pro graphics අඩුංගු වන අතර 10th Gen Intel Core i processor, ටෙරා බයිට් 1ක උපරිම ධාරිතාවෙන් යුත් SSD පහසුකම්, සුපැහැදිලි අඟල් 14 ක ස්පර්ශ සංවේදී තිරය, dual-band Intel Wi-Fi 6 (802.11ax) සහ ප්‍රබල Thunderbolt 3 පහසුකම් සහිත USB 3.1 Type C සම්බන්ධකයක් අඩංගු වේ. Acer Swift 5 ප්‍රමාණයෙන් කුඩා සහ බරින් අඩු වුවද, වෘත්තීයමය කාර්යන් යන එන ගමන් සිදු කිරීමට හැකියාව ඇති අතර, පැය 12.5 ක බැටරි ආයු කාලයක් සහ fast charging පහසුකම් මෙන්ම ඇඟිලි සලකුණු හදුනා ගැනීමේ උපාංගයක් ද අඩංගු වේ.

Acer Swift 3 බොහෝ දුරට Acer Swift 5 හා සමාන වන අතර බර කිලෝග්‍රෑම් 1.19 ක් හා ඝනකම ,මිලි මීටර 15.95 වේ. තවද බැටරි ආයු කාලය තරමක් අඩුය.

මීට අමතරව Acer Spin notebook පරිගණක සම්බන්ධව කෙටි හැඳින්වීමක් කල අතර මෙයද Intel 10th Gen Processor මගින් බලගැන්වෙන බව පැවසීය. තවද Acer Nitro සහ Predator Gaming laptop පරිගණක පිළිබඳව ද සඳහන් කල අතර මේවායේ Intel 10th Gen Processor නොව 9th Gen Processor අඩංගු වන බව පැවසීය.

Intel 10th Gen හඳුන්වාදීම

ඉන්පසු Acer-Global Accounts Team හි වාණිජ ප්‍රධානී සුමිත්‍ර කේ. රායි මහතා විසින් Intel 10th Gen තාක්ෂණය පිලිබඳ හැඳින්වීමක් සහ Intel හි නව තාක්ෂණයන් පිළිබඳව තවදුරටත් හඳුන්වා දෙන ලදී.

10th Gen Intel Core Processors

Intel සමාගමේ නිෂ්පාදිත නවතම 10th Gen Intel Core Processors හි, වැඩි දියුණු කරන ලද විශේෂාංග මෙන්ම, අලුතෙන්ම එක් කරන ලද විශේෂාංග කිහිපයක්ද ඇත. මෙමගින් කාර්යක්ෂම තාව දෙගුණයකින් ද, 2.5 ගුණයකින් වේගවත් photo rendering, තුන් ගුණයකින් වේගවත් Wi-Fi පහසුකම් සහ අට ගුණයකින් වේගවත් Thunderbolt දත්ත හුවමාරු පහසුකම් ලැබෙන බව පැවසීය. තවද 10th Gen Intel Core Processors, “Ice Lake” සහ “Comet Lake” ලෙස වර්ගීකරණය කර ඇති අතර ඒවායේ වෙනස්කම් පහත දැක්වේ.

Intel Adaptix

මෙහිදී හඳුන්වා දුන් තවත් තාක්ෂණයක් වන්නේ Intel Adaptix. මෙමගින් පරිගණකයේ processor ක්‍රියාකාරීත්වය සහ graphics card හි ක්‍රියාකාරීත්වය ගතිකව වෙනස් කිරීම සිදු කරයි. පරිශීලකයා කරන කාර්යය අනුව කාර්යක්ෂමතාව උපරිම කිරීමටත්, graphics ගුණාත්මක භාවය උපරිම කිරීමටත්, ශක්ති පරිභෝජනය උපරිම ඵලදායී තාවකින් සිදු කිරීමටත් මෙමගින් හැකිවේ. මේ සඳහා Machine Learning තාක්ෂණය උපයෝගී කරගෙන ඇත. Intel Adaptix ගැන වැඩි දුර තොරතුරු දන ගැනීමට පිවිසෙන්න, https://www.intel.com/content/www/us/en/architecture-and-technology/adaptix.html

Wi-Fi 6

Intel 10th Gen සමග එන තවත් තාක්ෂණයක් වන්නේ Wi-Fi 6 තාක්ෂණයයි. පෙරට වඩා තුන්ගුණයක් වේගවත් සහ හතර ගුණයකින් වැඩි ධාරිතාවයකින් Wi-Fi 6 සමන්විත වේ. දශකයේ දියුණුම Wi-Fi තාක්ෂණය මෙය බවද පැවසීය. වැඩි දුර තොරතුරු, https://www.intel.com/content/www/us/en/products/docs/wireless/overview.html

Thunderbolt 3

Thunderbolt 3 තාක්ෂණය මගින් වඩාත් වේගවත් සහ පහසුවෙන් දත්ත හුවමාරු කර ගැනීමට හැකි වේ. මෙය USB Type C හි වැඩි දියුණු කරන ලද තාක්ෂණයකි. තනි Thunderbolt 3 port එකක් ආධාරයෙන්, 4K තිරයන් කිහිපයක් සම්බන්ධ කිරීම, ජාලගත කිරීම, USB මගින් දත්ත හුවමාරු කිරීම, බැටරි ආරෝපණය ඇතුලු සියළු සම්බන්ධක කාර්යන් සිදුකල හැකි අතර USB 3.0 වලට වඩා 8 ගුණයකින් වේගවත් බව පැවසීය. වැඩි විස්තර, https://www.intel.com/content/www/us/en/products/docs/io/thunderbolt/thunderbolt-technology-general.html

Intel Optane Memory H10 With Solid State Storage

Intel Optane Memory තාක්ෂණය, පරිගණකයක කාර්යක්ෂමතාව වැඩි කරන තාක්ෂණයකි. මෙහිදී Machine Learning තාක්ෂණය උපයෝගී කරගනිමින්, පරිශීලකයා විසින් නිරන්තරයෙන් භාවිතා කරන පරිගණක වැඩසටහන්, මෘදුකාංග සහ දත්ත හඳුනාගෙන, ඒවා වඩාත් වේගවත් SSD මතකයක ගබඩා කොට තබා ගන්නා අතර, මෙම ක්‍රියාවලිය සෑමවිටම යාවත්කාලීන කරයි. මේ මගින් පරිගණකයේ කාර්යක්ෂමතාව මෙන්ම ඵලදයීතවද වැඩි කරයි. වැඩි විස්තර, https://www.intel.com/content/www/us/en/architecture-and-technology/optane-memory.html

වැඩසටහන් නිමාව

අවසානයේ, හොඳම Acer අලෙවි නියෝජිතයන් හට තෑගි ප්‍රධානය කිරීම හා රාත්‍රී භෝජන සංග්‍රහයෙන් අනතුරුව වැඩසටහන නිමාවට පත් විය. වැඩසටහනේ ඡායාරූප පෙළක් පහත දැක්වේ.

අභ්‍යවකාශ ගමනය වෙනත් අතකට යොමු කළ SpaceX

SpaceX Featued Image

අතීතයේ සිටීම මිනිසුන් අහස නිරීක්ෂණය කරමින්, ඉන් එපිට තිබෙන්නේ මොනවාද යන්න පිලිබද කුතුහලයෙන් පසු විය. කාලයත් සමග තාක්ෂණය අතිශය දියුණු තත්වයට පත්ව තිබුනද, අභ්‍යවකාශ ගමනය සාපේක්ෂව නොදියුණු තත්ත්වයක පසුවිය. 21 වන ශතවර්ෂය ආරම්භය වන විටත් අභ්‍යවකාශ ගමනය ඉතා සංකීර්ණ, මිල අධික කටයුත්තක් විය. එමෙන්ම එය සම්පුර්ණයෙන්ම පාලනය වුනේ විවිධ රටවල් වල රජයන් යටතේ ය. මේ තත්වය මග හැරීමට අලුත්ම සංකල්පයක් ලොවට අවශ්‍ය විය. එක් මිනිසෙකුට මේ සියල්ල වෙනස් කිරීමට සිහිනයක් තිබුණි. ඒ මිනිසා නමින් ඊලෝන් මස්ක් (Elon Musk) වන අතර ඔහුගේ හීනය SpaceX නම් විය.

SpaceX Image 1

SpaceX ආයතනයේ ආරම්භය

SpaceX නැතහොත් Space Exploration Technology Corporation යන ආයතනය Elon Musk විසින් 2002 වර්ෂයේදී ආරම්භ කරනුයේ, අභ්‍යවකාශයේ ගමන් කිරීමට යන වියදම අවම කිරීමට අවශ්‍ය තාක්ෂණය නිර්මාණය කිරීම සහ අඟහරු ග්‍රහයාගේ ජනාවාස ඇති කිරීම යන පරමාර්ථ ඇතුවය. Elon Musk ගේ දැක්ම වුයේ, සාපේක්ෂව වියදම අඩු රොකට් යානා නිර්මාණය කර අභ්‍යවකාශ ගමනාගමනය දැනට පවතින ගුවන් සේවාවක් මෙන් පහසු කිරීමය. එනම් භාණ්ඩ හෝ මගීන් අභ්‍යවකාශයේ ප්‍රවාහනය කර එම යානා නැවත පෘථිවියේ ගොඩ බස්වා, නැවතත් භාවිතයට ගැනීමට හැකි තාක්ෂණයක් ඇති කිරීමය.

2000 වර්ෂයේ මුල් භාගයේ දී Elon Musk රුසියාවේ අභ්‍යවකාශ වැඩසටහනකට සම්බන්ධ වී, ඔහුගේ හීනය ජය ගැනීමට කටයුතු කළේය. අවාසනාවන්ත ලෙස, එය අසාර්ථක විය. පසුව ඔහුගේ හීනය ජය ගැනීමට රුසියානුවන්ගේ හෝ අන් කිසිවෙකුගේ උදවු අවශ්‍ය නැති බවත් රොකට් නිෂ්පාදනය නවතම ආකාරයකට සිදුකල යුතු බවත් Elon Musk විශ්වාස කළේය. පෞද්ගලික අභ්‍යවකාශ ගමනාගමනය පිලිබඳ කිසිවෙක් උනන්දුවක් නොදැක් වූ හෙයින්, Elon Musk හට සියළු කාර්යයන් තනිවම සිදුකිරීමටත්, වියදම් තම පෞද්ගලික ධනයෙන් සිදු කිරීමටත් සිදු විය. අවසානයේ රොකට් යානයක් ඉතා අඩු වියදමකින් නිපදවීමට Elon Musk සමත් විය.

SpaceX Image 2

SpaceX හි විශේෂත්වය කුමක්ද?

Elon Musk භාවිත කලේ අවම වියදමක් සහිත ක්‍රම වේ. උදාහරණ වශයෙන් NASA හි නිපදවන එක් වතාවක් පමණක් ගුවන් ගත කල හැකි රොකට් යානයක වියදම ඇමරිකානු ඩොලර් මිලියන 100ත් 260ත් අතර අගයක් වේ. නමුත් SpaceX හි Falcon 9 නැවත භාවිතයට ගත හැකි රොකට් යානයක වියදම වුයේ ඇමරිකානු ඩොලර් මිලියන 57ක් වැනි අගයකි. එමෙන්ම NASA හි රොකට් යානයක් ගුවන් ගත කිරීමට ඇමරිකානු ඩොලර් මිලියන 200ක ඉන්ධන දහනය කරන අතර SpaceX හි එක් ගුවන්ගත කිරීමක් සඳහා වියදම් වන්නේ ඇමරිකානු ඩොලර් 200,000 කි. SpaceX ආරම්භ කරන විට Elon Musk මෘදුකාංග ඉංජිනේරු සහ ව්‍යාපාර වැනි රොකට් විද්‍යාවට හාත්පසින්ම වෙනස් අංශයන් වලට සම්බන්ධව කටයුතු කරමින් සිටි නමුත් පොත් පත් පරිශීලනය කර  ඔහු රොකට් විද්‍යාව හදාරා ඇත.

SpaceX හි ඉදිරි ඉලක්ක මොනවාද?

Elon Musk ගේ ප්‍රධාන ඉලක්කය, අභ්‍යවකාශගමනය අතිශය පහසු කිරීම හා වියදම අවම කිරීමය. 2015 වර්ෂයේ SpaceX විසින් චන්ද්‍රිකා 4000ක් දියත් කර මුළු ලොවටම අන්තර්ජාල පහසුකම් ලබා දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළේය. Elon Musk ගේ දිගු කාලීන දැක්ම, අඟහරු මත ජනාවාස ඇති කිරීමය. ඔහු 2030 වන විට අඟහරු මතට මිනිසුන් ප්‍රවාහනය කිරීමට බලාපොරොත්තු වන බව පැවසේ.

මේ තමයි SpaceX වල කතාව. එක් මිනිසෙකු සහ ඔහුගේ අදහසක් ලොව සංකීර්ණම කර්මාන්තයේ විශාල වෙනසක් ඇති කිරීමට සමත් වීම පුදුම සහගත කරුණකි. අවසාන වශයෙන් මතක් කිරීමක් කල යුතුය. SpaceX සාර්ථක වීමට හේතුව Elon Musk අසාමාන්‍ය බුද්ධිමතෙකු වීම හෝ ඔහුගේ දැඩි කැපවීමම නොවේ. ප්‍රධානම දේ Elon Musk සතු පරාජය භාරගැනීමට ඇති අකමැත්ත සහ ඔහුගේ නොපසුබස්නා උත්සාහයයි.

නවතම විශේෂාංග රැසක් ලොවට හදුන්වා දෙන WWDC 2019

WWDC 2019 Featured Image

Apple සමාගම මගින් සංවිධානය කරනු ලබන Worldwide Developers Conference නැතහොත් WWDC 2019 සම්මේලනය, 2019 ජූනි 3 සිට ජූනි 7 දක්වා San Francisco හිදී පැවැත්වීය. මෙහිදී Apple සමාගම විසින් ඔවුන්ගේ නවතම මෘදුකාංග, මෙහෙයුම් පද්ධති, උපාංග ඇතුළු නිෂ්පාදන කිහිපයක් හඳුන්වා දෙන ලදි. එහිදී වඩාත් අවධානය යොමු වූ නිෂ්පාදන කිහිපයක් මෙහි දැක්වේ.

iOS 13

iOS යනු Apple iPhone, iPad or iPod touch සඳහා එන මෙහෙයුම් පද්ධතියයි. මෙහි නවතම අනුවාදය iOS 13 වේ. iOS 12 සහ ඊට පෙර අනුවාදයන්හි නොතිබුණු විශේෂාංග කිහිපයක් මෙන්ම ගුණාංග ද iOS 13 හි වැඩි දියුණු කර ඇත.

බලාපොරොත්තු වූ ආකාරයටම iOS 13 සඳහා Dark Mode හඳුන්වා දෙන ලදි. එසේම QuickPath Keyboard මගින් යතුරු පුවරුවේ අකුරු යාකර වචන ලිවීමේ හැකියාවත්, Find My Friend සහ Find My iPhone එක් කොට සෑදු Find My යෙදුමත්, Sign in with Apple ඇතුළු නව විශේෂාංග රැසක් iOS 13 හි අපට දැක ගැනීමට හැක. එමෙන්ම Photos App, Memoji, Siri, Maps සහ තවත් පෙර පැවති විශේෂාංග වල වෙනස්කම් කිහිපයක්ද සිදු වී ඇත.

තවද iOS යෙදුම් විවෘත වීමේ වේගය දෙගුණයකින් වැඩි කිරීමටත්, Face ID භාවිත වේගය 30% කින් වැඩි කිරීමටත් සමත්ව ඇත. එමෙන්ම යෙදුම් භාගත කරගැනීමේදී එහි ප්‍රමාණය 60% කින් කුඩා කිරීමටත් හැකිව තිබේ.

iPad OS

මෙතෙක් කල් iPad සඳහා පැවතියේ iOS මෙහෙයුම් පද්ධතියම වේ. නමුත් WWDC 2019 දී iPad සඳහා iPad OS ලෙස නව මෙහෙයුම් පද්ධතියක් හඳුන්වා දෙන ලදි. මෙය iOS 13 මත පදනම් වී නිර්මාණය කර ඇති අතර iPad සඳහාම විශේෂිත වූ විශේෂාංග කිහිපයක් එක් කොට ඇත.

iOS 13 හි එන Dark Mode ඇතුළු අනෙකුත් විශේෂාංග සියල්ල iPad OS හි අඩංගු වේ. ඊට අමතරව swipe gestures මගින් කාර්යයන් පහසු කරගැනීමේ හැකියාව, Split-Screen මගින් එකම යෙදුම, එක් වර කිහිප වතාවක් විවෘත කරගනිමින් ක්‍රියා කිරීමේ හැකියාව, Download Manager වැනි විශේෂාංග ද iPad OS හි අඩංගු වේ. iPad OS හි Multi-tasking හැකියාව වඩා ප්‍රශස්ථ මට්ටමක පවතින නිසා, සාමාන්‍ය පරිගණකයකින් කරන බොහෝමයක් කාර්යයන් iPad මගින් සිදු කරගැනීමට හැකි වේ.

macOS Catalina

macOS යනු Mac සහ MackBook සඳහා ලබාදෙන මෙහෙයුම් පද්ධති මෘදුකාංගයයි. මෙහි නවතම අනුවාදය macOS Catalina වේ.

macOS Catalina හි iTunes ඉවත්කර Apple Music, Apple Podcasts, Apple TV ලෙස යෙදුම් තුනක් ලබාදී ඇත. macOS Catalina හි Sidecar බොහෝ දෙනාගේ ආකර්ෂණය දිනාගත් විශේෂාංගයක් විය. මෙමගින් iPad tablet පරිගණකයක්, Mac හෝ MackBook හි දෙවන තිරයක් ලෙස භාවිතා කල හැක.

Mac යෙදුම් නිර්මාණකරුවන්ට වඩාත් සතුටුදායක පුවත වුයේ, Project Catalyst මගින් iOS, iPad OS සහ macOS සඳහා එකම යෙදුම, එක වර නිර්මාණය කිරීමට පහසුවීමයි.

watchOS 6

watchOS යනු Apple Watch සඳහා Apple සමාගම විසින් නිර්මාණය කරන ලද මෙහෙයුම් පද්ධතියයි. WWDC 2019 දී හදුන්වාදුන් watchOS 6 එහි නවතම අනුවාදයයි.

watchOS 6 හි ආන්දෝලනාත්මක නව විශේෂාංගය වුයේ on-watch App Store වේ. මෙමගින් Apple Watch සඳහා අවශ්‍ය යෙදුම්, පහසුවෙන් භාගත කර ගැනීමට හැක. මේ නිසා iPhone එකක් නොමැතිව Apple Watch එකකට තනිව ක්‍රියා කිරීමට හැකිවේ. තවද නව Noice යෙදුම මගින් අවට ඇති ඝෝෂා ශබ්ද පිලිබඳ ඇඟවීම් සිදු කරයි. එමෙන්ම watchOS 6 නව මුහුණුවරකින් සමන්විත වේ.

tvOS 13

tvOS යනු Apple TV සඳහා නිර්මාණය කර ඇති මෙහෙයුම් පද්ධතිය වේ. නව tvOS 13 හි ද නව විශේෂාංග කිහිපයක් හඳුන්වාදෙන ලදී.

පළමුවෙන් home screen හි නව මුහුණුවරක් දැක ගැනීමට හැක. තවද පෙර tvOS සහිත Apple TV සඳහා ක්‍රියා කරේ MFi පාලකයන් පමණි. නමුත් නව tvOS 13 නිසා PS4 සහ Xbox One පාලකයන්ද ක්‍රියා කරයි. එමෙන්ම iOS 13 සහ tvOS 13 දෙකෙහිම Music app මගින් ගීතයක රචනය ලබාගත හැක.

Mac Pro සහ Pro Display XDR

Mac Pro යනු Apple සමාගම විසින් හඳුන්වාදෙනු ලැබූ නවතම Desktop පරිගණකයයි. නව මුහුණුවරකින් එන Mac Pro ඉතා ප්‍රභල මෙන්ම අනාගතයට ගැලපෙන ආකාරයෙන් නිර්මාණය කරන ලද පරිගණකයකි.

මෙහි 28-core දක්වා වර්ධනය කල හැකි Intel Xeon processor, 1.5 TB දක්වා වර්ධනය කල හැකි RAM ධාරිතාවයක් ඇත. තවද 4 TB දක්වා SSD ධාරිතාවක් සහ ලොව ප්‍රබලම graphics card අඩංගු වේ. PCI විවර 8 ලබා දී ඇති නිසා Mac Pro හි ගුණාංග පුළුල් කිරීමට ඇති නිදහස, වැඩි කර ඇත. මේ සියල්ලට බලය සැපයීමට 1.4 kilowatts ජව සැපයුමක් ඇත.

Apple Pro Display XDR යනු Mac Pro සඳහා එන තිරයයි. මෙය 6K resolution සහිත අඟල් 32 ක තිරයකි. මෙය $4999 යේ සිට මිලදී ගැනීමට හැක. තවද මේ සඳහා එන ආධාරකය මගින් තිරය තිරස්ව මෙන්ම සිරස්ව රැඳවිය හැක. හාස්‍යයට කරුණ නම් මෙම ආධාරකය සඳහා වෙනම $999 ක මුදලක් අය කිරීමයි.

WWDC 2019 පිළිබඳ වැඩිදුර තොරතුර කෙටියෙන් දැනගන්න පහත වීඩියෝව නරඹන්න.