TechWire

ශ්‍රී ලාංකික PC Gamers වෙනුවෙන් නොමිලේම ලබා දෙන “කූඹියෝ – The Game” එළිදකියි

ශ්‍රී ලාංක‌ේය ටෙලි නාට්‍ය සම්ප්‍රදාය උඩු යටිකුරු කළ සුවිශේෂී නිර්මාණයක් ලෙස ලක්මාල් ධර්මරත්න විසින් අධ්‍යක්ෂණය කළ කූඹියෝ කථා මාලාව හදුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම මේ ටෙලිනාට්‍ය නිර්මාණය වූ වෙනස්ම ශෛලිය නිසා තරුණ පරපුරේ බොහෝ රසික පිරිසකගේ ගෞරවාදරයටද නිතැතින්ම පත් වුණා. මේ කාරණා කෙසේ වෙතත් ඒ ටෙලිනාට්‍ය අවසන් වුණ‌ේ කුඹියෝ දෙවන කථා මාලාවක් පිළිබද ලොකු අවිනිශ්චිත බවක් එක්කයි. රසික පිරිස කෙතරම් කුඹියෝ දෙකක් වෙනුවෙන් ඇගිලි ගැන්නත් “ඕනෑම දෙයක් ඕනෑවටත් වඩා ඕනෑම නැත” කියා හිතමින් දෝ අදටත් අධ්‍යක්ෂකවරයා ගෙන් නම් ඒ ගැන හාන්කවිසියක්වත් පිටවී නැත.

එය එසේ තිබියදී කුඹියෝ ටෙලි කතා මාලාව අවසන් වෙන්න ඔන්න මෙන්න තිබියදී කුඹි ගුල (කුඹියෝ ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකාගාරයට පට බැදි අනුවර්ථ නාමය) ඇවිස්සෙන ප්‍රවෘත්තියක් නම් ආරංචි වුණා. ඒ තමයි කුඹියෝ ටෙලි නාට්‍ය ඇසුරෙන් නිර්මාණය වුණු පරිගණක ක්‍රීඩාවක් නිකුත් කිරීමට නියමිත බව. ඒ ගැන ලොකු නිහැඩියාවකට පස්සෙ ඔන්න “කූඹියෝ – The Game” පරිගණක ක්‍රිඩාව පසුගිය 19 වනදා ලාංක‌ේය Gamers ලා වෙනුවෙන් නිකුත් කරනු ලැබුවා. මෙය 100% ක්ම නොමිලේ නිකුත්වීම වගේම මෙම පරිගණක ක්‍රීඩාව ලාංක‌ේය නිර්මාණකරුවන් අතින් නිර්මාණය වී තිබීම ඉතාම සුවිශේෂී කාරණාවක් වුණා. එපමණක්ම නොවෙයි, ශ්‍රී ලාංකික ටෙලි නාට්‍යයක් මුල් කර ගනිමින් මෙලෙස පරිගණක ක්‍රීඩාවක් නිර්මාණය වූවේද පළමු වතාවටයි.

‌”කූඹියෝ – The Game” එළි දැක්වීම.

මෙම පරිගණක ක්‍රීඩාව එළි දැක්වීම සිදුකෙරුණේ ඉකුත් 19 වනදා කොළඹ පිහිටි Dialog ආයතනයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී. මෙම අවස්ථාව සදහා පරිගණක ක්‍රීඩාව නිර්මාණය කළ Kodex ආයතනයේ ශිල්පීන්ට අමතරව කුඹියෝ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂණ කටයුතු සිදුකළ ලක්මාල් ධර්මරත්න, ‌ජෙහාන්ගේ චරිතයට පණ පොවන තුමිදු දොඩන්තැන්න ඇතුළු නාට්‍යයේ රංගන ශිල්පීන් පිරිසක්ද සහභාගි වුණා.

තවද ශ්‍රී ලංකාවේ ප්‍රධාන සමාජ මාධ්‍ය තුළ නිර්මාණකරණයේ යෙදෙන ශිල්පීන් රැසක්ද මෙම අවස්ථාව සදහා සම්බන්ධ වුණා. පරිගණක තාක්ෂණ ක්‍ෂේත්‍රයේ උසස් අධ්‍යාපන කටයුතු හදාරන තරුණයන් පිරිසකගේ එකමුතුවෙන් Kodex ආයතනය නිර්මාණය වී ඇති අතර එ මගින් විවිධ ව්‍යාපාර සදහා තාක්ෂණික සේවා සැපයීමක් මූලික වශයෙන් සිදු කෙරෙනවා. ඒ අතරින් වෙබ් අඩවි නිර්මාණය, AR, VR ආශ්‍රිත සේවාවන්, IOT Solutions සහ ජංගම දුරකථන ක්‍රීඩා නිර්මාණය සුවිශේෂියි. මීට මාස කිහිපයකට ඉහතදී කූඹියෝ පරිගණක ක්‍රීඩාව නිර්මාණය කර අවසන් වූවත් එය එළි දැක්වීම සිදුකිරීමට අවස්ථාවක් ලැබී නැහැ.

කුඹියෝ පරිගණක ක්‍රිඩාව එළි දැක්වීමට අමතරව Kodex ආයතනය මගින් ඉදිරියේ දී එළි දැක්වීමට නියමිත සහ මෑතකදී එළි දැක්වූ පරිගණක ක්‍රීඩා පිළිබදවද මෙහිදී දැනුවත් කිරීම් සිදු කෙරුණා. ඒ අතරින් ශ්‍රී ලංකාවේ නිර්මාණය වන Racing Game ගණයට අයත් වන ඔවුන්ගේ මීළග පරිගණක ක්‍රීඩාව ලෙස Dilango Speedup හදුන්වා දීම සහ එහි පූර්ව ප්‍රචාරක පටයද ඉදිරිපත් කෙරුණා.

Kodex ආයතනයේ තවත් සංකල්පයකට අනූව ක්‍රීඩකයන්ට මුදල් දිනාගත හැකි නව පරිගණක ක්‍රීඩාවක් ලෙස “පන්දම” පරිගණක ක්‍රීඩාවද නිකුත් කිරීමට නියමිත බව මෙහිදී සදහන් කෙරුණා. Dialog ආයතනය හා එක්ව ඉදිරිපත් කිරීමට නියමිත එම පරිගණක ක්‍රීඩාව හරහා සතියකට රුපියල් 10,000 බැගින් මසකට රුපියල් 40,000ක මුදලක් ජයග්‍රාහකයන්ට ලබා දීමට නියමිත බවයි ඔවුන් සදහන් කලේ . Kodex ආයතනයෙන් මෑතකදී නිකුත් කෙරුනු තවත් ජංගම දුරකථන ක්‍රිඩාවක් වන්නේ Knight Rider : The KITT ක්‍රීඩාවයි. එය මේ වනවිටත් Google play store හරහා නොමිලේ Download කරගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

කොහොම නමුත් කුඹියෝ පරිගණක ක්‍රිඩාවේ ඇති ඉතාමත් සුවිශේෂීතම කාරණාව වන්නේ එය Windows, Linux, සහ Mac Os යන ඕනෑම පරිගණක පද්ධතියක් මත ක්‍රියා කළ හැකි වීමයි. මීට අමතරව ශ්‍රී ලංකාවේ නිර්මාණය වන බොහෝ පරිගණක ක්‍රීඩාවල පවතින ගැටළුවක් වන ඉහළ පරිගණක ධාරිතාවක් (system requirements) අපේක්ෂා කිරීම මෙහිදී බොහෝ දුරට සාර්ථකව විසදා ඇති අතර සාමාන්‍ය ධාරිතාවයකින් යුතු පරිගණකය වූවත් කූඹියෝ පරිගණක ක්‍රිඩාව ක්‍රියාකරවිය හැකි බව නිර්මාණකරුවන් සදහන් කරනවා.

‌කූඹියෝ – The Game ගැන යමක්…

‌මෙම පරිගණක ක්‍රීඩාව ලංකාවේ නිර්මාණය කෙරුණු පළමු Open-World පරිගණක ක්‍රීඩාවයි. එනම් අප කවුරුත් ආසාවෙන් ක්‍රීඩාකළ GTA (Grand Theft Auto) පරිගණක ක්‍රීඩාවේ ශෛල්‍යයට නිර්මාණය වී තිබෙනවා. කුඹියෝ ටෙලි කතා මාලාවේ සිදුවන ඇතැම් සිදුවීම් මෙම පරිගණක ක්‍රීඩාව සදහාද ඇතුළත් කර තිබෙනවා. ඒ වගේම මෙම පරිගණක ක්‍රීඩාවේ තවත් Update එකක් ඉතාම නුදුරේදීම නිකුත් කිරීමට නියමිත බවද සදහන් වුණා. ඒ හරහා මෙහි ඇති Graphics ] තවත් වැඩිදියුණු කෙ‌රෙන බව Kodex ආයතනය සදහන් කළා. මෙහි 3D modeling සිදුකිරීම සදහා බොහෝ දුරට Adobe මෘදුකාංග යොද‌ාගෙන තිබෙනවා. ඒ Maya මෘදුකාංග සදහා ඉහළ ධාරිතාවයෙන් යුතු පරිගණක ලබා ගැනීමට තිබූ ගැටළු අවම කිරීමේ අරමුණින්.

කෙසේ නමුත් මෙම පරිගණක ක්‍රීඩාවේදී විවිධ චරිත සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව පරිශීලකයන්ට ලබා දී තිබෙනවා. මෙම පරිගණක ක්‍රීඩාව ශ්‍රී ලාංකික පරිගණක ක්‍රීඩකයින් වෙනුවෙන් නොමිලේ කිසිදු ලාභ ඉපයීමේ පදනමකින් තොරව නිකුත් කර ඇති අතර එය www.koombiyogame.com වෙතින් නොමිලේම බාගත කරගැනීමේ හැකියාව පවතිනවා.

ඉතිං හැමදාමත් වෙනත් රටවල පරිගණක ක්‍රීඩා මිලදීගෙන ඒ වායේ ගුණ වරුණ කිය කිය ඉන්නවාටත් වඩා අපේ රටේ නිර්මාණය වුණු ටෙලිකතා මාලාවක, අපේ රටේ ක‌ොල්‌ලෝ ටිකක් මහන්සිවෙලා හදපු පරිගණක ක්‍රීඩා නිර්මාණයක අත්දැකීම විදගන්න ගමන් ඒ අත්දැකීම අනිත් අය එක්ක බෙදාගෙන නිර්මාණකරුවන් වෙනුවෙන් කුමක්‌ හෝ දායකත්වයක් අද දවසේ ලබා දුන්න‌ොත් හෙට දවසේදී ජාත්‍යන්තරයට අභියෝගයක් විය හැකි සුපිරි පරිගණක ක්‍රීඩා ලංකාවෙන්ම බිහිවන දවස වැඩි ඈතක නොවනු ඇති.

About author View all posts

Dhanushka Sanjaya

1 CommentLeave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.