TechWire

Author - Avishka Meddegoda

OPPO Watch

චීන දුරකථන නිෂ්පාදන සමාගමක් වන OPPO ආයතනය මගින් මෑතකදී ඔවුන්ගේ ප්‍රථම  Smartwatch උපාංගය නිකුත් කරනු ලැබුවා. OPPO watch ලෙස නම් කර ඇති මෙය Android මෙහෙයුම් පද්ධතියෙන් සමන්විත වනවා.

OPPO watch – Black

පෙනුමෙන් Apple Watch මෙන් සමානකම් දක්වන මෙය මාර්තු මස වෙළදපලට නිකුත් කර තිබෙනවා. OLED තිරයකින් යුක්ත මෙය ප්‍රමාණයෙන් Apple Watch වඩා 2mm විශාල වනවා. තවද මෙහි තිරයේ දාරවල් වක්‍ර කර ඇත. Pixcel ඝනත්වය Apple watch 326ppi ට සමාන වේ. වර්ණ විචිත්‍රවත් වන අතර පිටතදී සුර්යාලෝකය යටතේ වුවද බැලීම පහසුය. OPPO දුරකථන නිශ්පාදනයේදී භාවිතා වන සැකසුම් මේ සදහා භාවිතා කර ඇත. මෙහි crown-style පාලනයක් නොමැති අතර, දකුණු දාරයේ බොත්තම් දෙකක් සහිත වේ. අනෙක් සියල්ල හසුරුවනු ලබන්නේ ස්පර්ශක තිරයෙනි.

ඇලුමිනියම් භාවිතයෙන් නිශ්පාදනය කර ඇති මෙහි  ඔප දැමූ නිල්-කළු නිමාවකට සාදා ඇත. පෙනුමෙන් Apple Watch හා සමාන වීමට එයද හේතුවකි.ඇතුළත් කර ඇති ඔරලෝසු පටිය කළු සහ සුදු පැහැති රබර් වන අතර සුවපහසු ලෙස භාවිතා කල හැකි බව සදහන් වේ

OPPO Watch හි භාවිතා වන තාක්ෂණය

OPPO Watch android 8.1 හි අනුවාදයක් ලෙස සකස් කරන ලද ColorOS Watch නම් මෙහෙයුම් පද්ධතිය සමන්විත වේ. අනෙකුත් ඔරලෝසු මෙහෙයුම් පද්ධති මෙන් නොව මෙය ඉතා සරල මෙහෙයුම් පද්ධතියකි. ඉහළ බොත්තම scrolling app drawer  ගෙන එයි හෝ නැවත ඔරලෝසු මුහුණට ගෙන යයි. පහළ බොත්තම සැකසුම් මෙනුවට ගෙන යයි. මුහුණු වෙනස් කිරීමට ඔබට වමට සහ දකුණට swipe කළ හැකිය. පහළට swipe කිරීමෙන් ක්ෂණිකව සැකසුම් තිරයට යා හැකිය. ඉහළට Swipe කිරීම දැනුම්දීම් වෙත ගෙන යයි. මෙම සෑම දෙයක්ම සුමට හා ප්‍රතිචාරාත්මක ලෙස ක්‍රියාත්මක වන බව පරිශීලක අදහස් වල සදහන් වේ. දැනුම් දීම මඟින් සම්පූර්ණ Facebook messenger පණිවිඩ වැනි බොහෝ අන්තර්ගතයන් පෙන්විය හැකිය.

OPPO Watch-White

Oppo Watch මෘදුකාංගයේ වඩාත්ම සිත්ගන්නා කරුණ වන්නේ එහි අන්තර්ගත යෙදුම් සමූහයයි. දුරකථන ඇමතුම්, යෝග්‍යතා ලුහුබැඳීම, ටයිමරයන් සහ කාලගුණය සඳහා සුපුරුදු යෙදුම් මෙන්ම, ඔරලෝසු යෙදුම් වෙළඳසැලක් සහ Alipay වැනි චීනයට විශේෂිත සේවාවන්ද අන්තර්ගත වේ. මෙහි ඇති මිනිත්තු පහක පූර්ණ ශරීර ව්‍යායාම යෙදුම, වීඩියෝ නිරූපණයන් ඇතුළත් වන අතර ඔබට ව්‍යායාම කිරීමට එය විධාන ලබා දීම සිදු කරයි.

OPPO Watch – Magnetic Charging

430mAh ධාරිතාවයකින් යුතු මෙහි බැටරි ආයුකාලය ආරෝපණයෙන් පසු පැය 40 භාවිතා කල හැකි බව ඔවුන් සදහන් කර තිබුණත් පරිශීලක අදහස් වලින් පෙනී යන්නේ උපරිම දවසක් පමණ භාවිතා කල හැකි බවයි. කාන්දම් ආරෝපණයෙන් සමන්විත මෙය සම්පූර්ණයෙන් ආරෝපණය වීමට විනාඩි 75 ගතවේ. නමුත් විනාඩි 15 වැනි කෙටි කාලයකින් 50% ආරෝපණය කර ගත හැකිය. බලය ඉතිරි කිරීමේ මාදිලියේදී යෙදුම් භාවිතා කිරීම සිදුකල නොහැකි වුවත් තවමත් පියවර නිරීක්ෂණය, දැනුම්දීම් ලබා දීම සහ ඔබේ අත ඔසවන විට තිරය ක්‍රියාත්මක කිරීම වැනි දේ කල හැකි බවට සදහන්‍ වේ. $215 වැනි මිලකට දැන් මෙය මිලදී ගැනීමේ හැකියාව ඇත.

ඔබේ නිවසට එන අමුත්තන් හදුනා ගැනීමට Google Nest Hello

Google සමාගම මගින් 2017 වර්ෂයේදී නිවේදනය කල නමුත් මෑතකදී නිකුත් කරන ලද smart doorbell උපාංගය Google Nest Hello ලෙස හදුන්වයි. මෙම නිෂ්පාදනය Nest Guard සහ Nest Thermostat වැනි නිෂ්පාදන ඇතුළත් විශාල උපාංග පවුලක කොටසක් වන අතර ඒවා Nest Smart Home Platformහි අංගයන් වේ. Nest Hello භාවිතා කිරීමේ වාසිය නම්, එය දැනටමත් පවතින ශක්තිමත් උපාංග පද්ධතියක කොටසක් වීමයි. මෙම උපාංග එකට සම්බන්ධ වූ පසු, ඔබට ඒවා සියල්ලම එකම යෙදුමකින් පාලනය කළ හැකි අතර ස්වයංක්‍රීය යෝජනා ක්‍රම පවා සැකසිය හැකිය.

Google Nest Hello
Google Nest Hello

මේ වනවිට Nest Hello; Yale Lock, Nest Secure සහ Nest Protect සමඟ ක්‍රියා කරයි, එනිසා ඔබට නිවසේ සබැඳි අනෙකුත් සම්බන්ධිත උපාංග සමඟ දොර සීනුව කැමරාව සම්බන්ධ කිරීමට හැකිය.

මෙහි ඇති ප්‍රධානතම අවාසිය නම් මෙය බැටරි බලයෙන් ක්‍රියා නොකිරීමයි. මෙය භාවිතා කිරීමට රැහැන් වලින් විදුලිය ලබා දිය යුතු වනවා. මෙය දොරට සවිකරගත් පසු සරලව යෙදුම භාවිතයෙන් එහි සියලු සැකසුම් සහ පාලනයන් සිදු කල හැකියි.

GOOGLE Nest Hello ක්‍රියාත්මක වන්නේ කෙසේද?

Nest Hello ඔබේ දොර ඉදිරියේ චලිතයක් ඇති විට ඔබේ smart ජංගම දුරකථනයට දැනුම් දීමක් හෝ යම්කිසි තෝරාගත් ශබ්දයක් නිකුත් කිරීම සිදුකරයි. එවිට ඔබට යෙදුම භාවිතයෙන් එයට අවශ්‍ය ප්‍රතිචාර ලබා දිය හැකියි. එයට සම්බන්ධව ඇති උපාංග මගින් කතාකිරීම, පෙර පටිගත කරන ලද හඩපටයක් ක්‍රියාත්මක කිරීම හෝ ජංගම දුරකථනයෙන් අදාල දර්ශණ නැරඹීම වැනි දෑ එයට ඇතුලත් වේ.

Google Nest Hello Preview
Google Nest Hello Preview

නමුත් මෙහි ඇති අවාසියට කරුණනම් මෙය ගසක කොළයක් වැටීම වැනි චලනයන් සදහාද සංවේදී වීමයි. මෙය අවම කර ගැනීමට  යෙදුම මගින් හඳුනාගැනීමේ කලාපයක් සැකසිය හැකිය. තවද කැමරාවට මුහුණු දකින විට පමණක් දැනුම් දීමට විකල්පයක් ඇත. Google Nest hello හි විශේෂත්වයක් ලෙස මෙහි Machine Learning අන්තර්ගත වීම දැක්විය හැකිය. එමනිසා හුරුපුරුදු මුහුණු හඳුනා ගැනීමට මෙයට හැකියාව ඇත. එවිට ඔබට ඔබ ගැන, ඔබේ පවුලේ සාමාජිකයින්ගේ සහ යන්ත්‍රය දැන ගැනීම සඳහා අදාළ පුද්ගලයින්ගේ රූපයක් ගබඩා කළ හැකිය.

මෙහි විශේෂත්වයන්

Nest Hello හි තවත් විශේෂත්වයක් ලෙස උසස් තත්ත්වයේ වීඩියෝ මාදිලිය දැක්විය හැක. තත්පරයට frames 15 බැගින් 1600 x 1200 resolution යුක්තව ලබා දේ. එයට පිටත වර්ණ නිවැරදිවම ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී. නමුත් අවශ්‍ය පරිදි මෙම වීඩියෝ මාදිලියන් වෙනස් කර ගැනීමටද හැකියාව පවතී. රාත්‍රී දර්ශනය අළු පාට වේ.

Google Nest Hello with App

$299වැනි මුදලකට මිලකර ඇති මෙය සතුව High-resolution වීඩියෝ ගුණාත්මකභාවයක් පවතී. එමෙන්ම Google සහායක සමඟ  ඒකාබද්ධ වීමේ හැකියාවෙන්ද යුක්ත වෙයි. තවද පෙර පටිගත කල හැකි හඩ විමසීම් අන්තර්ගත නිසා මෙය භාවිතා කරන විට ඔබට කතා කිරීමට අවශ්‍ය වන්නේද නැත.

Nest Helloහි Cloud storage සඳහා වාර්ෂික ගාස්තුවක් ගෙවීමට සිදුවේ. කෙසේවෙතත් Nest Hello පැය තුනක වීඩියෝ දර්ශන සහ අසීමිත දැනුම්දීම් ලබා දේ. මේ සදහා මසකට  $10 මුදලක් හෝ වසරකට $100 ලෙස ගෙවීම් සිදුකල හැකිය. අමතර විශේෂාංග එකතු කරගැනීමේදී තවත් මිල ඉහල යා හැක.

නව DJI Mavic Air 2 ඩ්‍රෝන කැමරාව නිකුත් වේ

ප්‍රමුඛ පෙළේ කැමරා උපාංග නිෂ්පාදනය කරන ආයතනයක් වන DJIහි නවතම නිෂ්පාදනය වන DJI Mavic Air 2 මේ මස මුලදී වෙළදපලට නිකුත් විය. පෙර මාදිලියට වඩා සෑම ආකාරයකින්ම වැඩිදියුණු කරන ලද මෙයට වඩාත් මිල අධික මාදිලියන් වන DJI Mavic Pro මාදිලියන් මෙන්ම දර්ශන ලබාගැනීමේ හැකියාවක් පවතිනවා. පළමු Mavic Air මාදිලියට වඩා ප්‍රමාණයෙන් තරමක් විශාල වන නමුත් තවමත් ඔබගේ කැමරා බෑගයේ පහසුවෙන් රැගෙන යා හැකියි. DJI Mavic Air පිළිබද සදහන් කරනවානම්, එය තරමක් කුඩා කෙටි පියාපත් සහිත වර්ණ තුනකින් නිකුත් වූ මාදිලියක්.

DJI Mavic Air 2හි ඡායාරූපකරණය

නව Mavic Air හි අඟල් 1/2 විශාල සංවේදකයක් ඇති අතර 4K 60fps වීඩියෝ සහ 12- සහ 48 මෙගාපික්සල් රූප රූගත කළ හැකිය. අනෙකුත් සම්මත රූප සංවේදක ප්‍රමාණයන් හා සසඳන විට එය තවමත් කුඩා නමුත් එය මුල් Mavic Airහි අඟල් 1 / 2.3 සංවේදකයට වඩා විශාලය. එයින් අදහස් වන්නේ එය පළමු Mavic Air වඩා හොඳ රූප සහ වීඩියෝ නිපදවිය යුතු වුවත්, එය ඡායාරූපයේ ගුණාත්මක භාවයෙහි විශාල පිම්මක් නොවන බවයි. කෙසේවෙතත් සංවේදකය උපරිම කිරීම සඳහා Mavic Air 2 සතුව වෙනත් උපක්‍රම තිබේ. 48MP ඡායාරූප ගැනීමට ඇති හැකියාව එයින් එකකි.

DJI Mavic Air 2
DJI Mavic Air 2

Mavic Air 2හි SmartPhoto නමින් අලුත් විශේෂාංගයක් හදුන්වා දී ඇති අතර එය මූලික වශයෙන් ස්වයංක්‍රීය දර්ශන හඳුනා ගැනීමට උපකාර වේ. එමගින් ඩ්‍රෝන යානය යොමු කරන ගස්, හිම, හිරු බැස යෑම හෝ නිල් අහස වැනි දේ මත පදනම්ව සැකසුම් සකස් කිරීමේ හැකියාව පවතී. ජංගම දුරකථනයන්හිද මෙයට සමාන විශේෂාංග දැකගත හැකියි. අවාසනාවට, SmartPhoto කරන්නේ කුමක්ද යන්න හෝ ඒ කිසිවක් කරන විට DJI හි යෙදුම ඔබට කිසිදු විස්තරයක් ලබා නොදේ.

ශබ්දය හැසිරවීම ISO 800 පමණ දක්වා අගයක පවතී. ඔබට එය විටින් විට 1600 දක්වා වැඩි කිරීමේ හැකියාවද පවතී. එය මුල් Mavic Air වඩා බෙහෙවින් හොඳ බව විචාරකයන්ගේ අදහසයි. SmartPhoto මාදිලිය ඩ්‍රෝන යානයට ISOහි වැඩි පාලනයක් ලබා දෙයි, ISO 540 දක්වා ආවරණය කරයි, shutter වේගය වැඩි කරයි, පිරිසිදු ශබ්දයක් ලබාදෙයි සහ එමගින් වඩාත් හොද ප්‍රතිපල ලබා දීමද සිදු කරයි. මෙමගින් වන වෙනස්කම් සියුම් නමුත් මෙම මාදිලිය මගින් DJI Mavic Air 2 සදහා වැඩි වටිනාකමක් ලබා දේ.

DJI Mavic Air 2හි වීඩියෝකරණය

වීඩියෝකරණය සැලකීමේදී ද මෙය එහි පෙර මාදිලියට වඩා උසස් වැඩිදියුණු කිරීම් වලින් සමන්විත වේ. එයට 120 Mbps සමඟ 4K 60fps වීඩියෝ ගත කළ හැකිය. එය ප්‍රමුඛතම Mavic 2 Pro පවා අභිබවා යෑමකි. තවද 1080p විභේදනයකදී 240fps දක්වා මන්දගාමී දර්ශන පටිගත කළ හැකි සේම වර්ණ ආකාර තුනකින් චිත්‍රපට ගත කළ හැකිය: standard, Cinelike, සහ HDR.

DJI Mavic Air 2
DJI Mavic Air 2

බොහෝ  ඩ්‍රෝන යානා අඩු ISO අගයකදී පවා රූප ශබ්දය පාලනය කිරීමට වෙහෙසෙන නමුත් Air 2 හි තරමක් විශාල සංවේදකය මෙම කාර්යයේදී සැලකිය යුතු දියුණුවක් ලබා දී ඇත. Dark tone සකස් කිරීමෙන් සංස්කරණය නොකල වීඩියෝ පටවල තිබෙන ශබ්දය පහසුවෙන් ඉවත් කළ හැකිය. තවද Hyperlaps මාදිලියට  8K renderings සිදු කළ හැකි නමුත් Hyperlaps ග්‍රහණයන් සමඟ තවමත් ගැටළු තිබෙන බව අන්තර්ජාලයේ සදහන් වේ.

නව ඩ්‍රෝන කැමරාවේ තාක්ෂණය

Mavic Air 2 බාධක හඳුනා ගැනීම සඳහා ඉදිරිපස, පසුපස සහ පහළ සංවේදක වලින් සමන්විත වේ. තවද බාධක හඳුනා ගැනීමට  improved Advanced Pilot Assistance System (APAS) මෙහි අන්තර්ගත වේ. Mavic Air 2හි බැටරි ආයු කාලය විනාඩි 34 ගුවනේ තබාගැනීමට ප්‍රමාණවත් වේ. එය ආරෝපණය කිරීම සදහා පැය 2 කාලයක් ගතවේ. ඩ්‍රෝන යානය රැහැන් රහිතව පාලනය කිරීම සඳහා. Wi-Fi වෙනුවට DJIහි OccuSync 2.0 තාක්ෂණය භාවිතා කරයි. FollowMe වැනි විශේෂාංගයන්ද මෙහි ඉතා හොදින් ක්‍රියාත්මක වන බවට සදහන්‍ වේ.

DJI Mavic Air 2  Controller
DJI Mavic Air 2 Controller

DJI Mavic Air 2 හි නව පාලකය අනෙකුත් DJI පාලකයන් මෙන් ප්‍රමාණයෙන් දෙගුණයක් පමණ වේ. මෙහි තිරයක් අන්තර්ගත නොවන අතර දෘශ්‍යමාන ඇන්ටනාද නොමැත. දුරකථන රදවනය ඉහළට රැගෙන විත් ඇති අතර එම නිසා එය අතෙහි දරා සිටීමද පහසු වේ.

$799 වැනි සාපේක්ෂව අඩු මිලකට නිකුත්වන මෙම Mavic Air 2 දැන් ඔබට පෙර ඇනවුම් සිදුකල හැක.

විශේෂ සංස්කරණයක් ලෙස එන නවතම iPhone SE 2020

Apple සමාගම 2020 වසර සදහා නිකුත් කරන ලද නවතම නිර්මාණය වන්නේ iPhone SE 2020 ජංගම දුරකථනයයි. මෙම දුරකථන SE(Special Edition) එසේත් නොමැති නම් විශේෂ සංස්කරණය ලෙස හැදින්වීමට හේතුව මේවා මිලෙන් තරමක් අඩු වීම සහ නවතම iPhone දුරකථනයන්හි අඩංගු විශේෂාංග වලින් සමන්විත වන නිසාය. iPhone SEහි දෙවන පරම්පරාව ලෙස හදුන්වන මෙම නවතම ජංගම දුරකථනය බාහිර පෙනුමෙන් iPhone 8 ජංගම දුරකථනයට සමානකම් දක්වන අතර මෙය කලු, සුදු සහ රතු වර්ණයන්ගෙන් වෙළදපළට නිකුත් වනවා. හැඩයෙන් iPhone 8 මෙන් අඟල් 4.7 ක තිරයක්, ඉහළ සහ පහළ විශාල බෙල්ස් සහ ස්පර්ශක සංවේදක සහිත Home Button යන අංග අඩංගු වනවා. එය iPhone 6 සිට ස්ථාවරව පවතින මෝස්තරයක් වන අතර එමඟින් iPhone SE එකම පෙනුමෙන් පස්වන පරම්පරාව බවට පත් කරයි. මේ වන විට මතක ධාරිතාවය 64GB, 128GB සහ 256GB සහිතව පාරිභෝගිකයින්ට මිලදී ගත හැකියි.

iPhone SE

විශේෂිත කැමරා පද්ධතිය

මෙහි iPhone 8 මෙන් වඩා හොඳ කැමරාවක් සහ ප්‍රොසෙසරයක් සහිත වන අතර එය සාපේක්ෂව පැරණි මෝස්තරයක් වුවද, මෙම iPhone SE සතුව Apple හි A13 Bionic චිපයක් ඇත. නවතම iPhone 11 සහ 11 Pro මාදිලිවලද සමන්විත වන්නේ එම චිපයයි. එම නිසාම මෙම iPhone SE නිසා iPhone 8 අලෙවිය අවධානමකට ලක්විය හැකියි. මෙම ප්‍රොසෙසරය මඟින් නව iPhone SEහි නව කැමරා විශේෂාංග ලබා ගැනීමට ඉඩ ලබා දේ. පිටුපස මෙගාපික්සල් 12 ක කැමරාචක් ඇත. Apple සමාගම පවසන්නේ එය Smart HDR ඡායාරූපකරණය වැඩිදියුණු කිරීම සඳහා A13  Bionic චිප්ස් භාවිතා කරන බවයි. එමඟින් ඡායාරූපයෙහි lighting සහ details වැඩි දියුණු කිරීම සඳහා තනි ඡායාරූපයකට Multiple shots ඒකාබද්ධ කරනු ලබයි.

iPhone SE

Apple සමාගම විසින් “monocular depth sensing” ලෙස හඳුන්වන තාක්‍ෂණය සහිත Portrait මාදිලියක් ද එහි අඩංගු වේ. මුහුණු හඳුනා ගැනීමට එය Machine Learning භාවිතා කරන බව ඔවුන් ප්‍රකාශ කර තිබුණා. නමුත් අවාසනාවකට මෙය සතුන්ගේ ඡායාරූප සදහා භාවිතා කල නොහැක. එයට දෘශ්‍ය රූප ස්ථායීකරණයක් ඇතුළත් වන අතර Apple සමාගම පවසන්නේ වීඩියෝව මත “සිනමාත්මක” ස්ථායීකරණයක් කළ හැකි අතර 4K 60fps වීඩියෝ ලබා ගැනීමට හැකියාව පවතන බවයි. ඉදිරිපස කැමරාව මෙගාපික්සල් 7 ක් වන අතර එයටද Portrait මාදිලියේ ඡායාරූප ලබාගත හැකියි.

iPhone SE 2 සහ iPhone 8 අතර සමානතාවයක්?

නව දෙවන පරම්පරාවේ iPhone SE කොටස් බොහොමයක් iPhone 8 ට සමාන වේ. එයට iPhone 8 හා සමාන බැටරි ආයු කාලයක් තිබිය යුතුය. iPhone 8 සදහා නිර්මාණය කර ඇති බාහිර ආවරණ නව  iPhone SE සදහාද භාවිතා කිරීමේ හැකියාව පවතිනවා. එහි අඟල් 4.7 ක IPS LCD Retina තිරය True Tone වර්ණයෙන් යුක්ත වන අතර එයද iPhone 8 හි සමන්විත තිරය හා සමාන වනවා. මෙය 18W වේගවත් ආරෝපණයෙන් සමන්විත වන නමුත් මිලදී ගැනීමේදී ඔබට ලැබෙන්නේ 5W ආරෝපකයකි. අනෙක් දුරකථන මෙන් Lightning සම්බන්ධකයක් මගින් මෙය ආරෝපණය කල හැකියි. එලෙසම රැහැන් රහිත ආරෝපණයෙන්ද මෙය සමන්විත වනවා. තවද මෙය Lightning Headphone සහිතව පාරිභෝගිකයාට ලබාගත හැකියි.

මෙම විශේෂාංගයන්ට අමතරව Wi-Fi 6, Gigabit LTE සහ dual-SIM යන අංගයන්ද අන්තර්ගත වනවා.කෙසේ වෙතත් මෙම දෙවැනි සිම්පත eSIM විය යුතුයි. තවද මෙය Haptic Touch සදහාද සහය වේ. Haptic touch යනු Apple සමාගම 3D touch සදහා අලුතින්ම පැමිණෙන ආදර්ශකයයි.

කෙසේ නමුත් මෙම ගෝලීය වසංගතය මධ්‍යයේ නිකුත් වූ මෙම නව iPhone SE 64GB- $399, 128GB- $449, 256GB- $549 මිලක් සහිතව Apple වෙබ් අඩවියෙන් මිලදී ගැනීම දැන් සිදුකල හැකියි. iPhone SE සමස්ථයක් ලෙස ඉතා හොඳ ගනුදෙනුවක් සේ පෙනේ. එනම් අද මිලදී ගත් දුරකථනයකට ඉදිරි වසර ගණනාවක් සඳහා මෘදුකාංග යාවත්කාලීන කිරීම් ලබාගැනීමේ හැකියාව පවතී.

Model 3 තාක්‍ෂණයෙන් බල ගැන්වෙන Tesla Ventilators

TESLA යනු විදුලි බලයෙන් ක්‍රියාකරන මෝටර් රථ නිපදවීම සදහා විශේෂ වුණු සමාගමක්. ඔවුන්ගේ අලුත්ම නිමැවුමක් ගැන මෑතකදී ප්‍රකාශයට පත් කර තිබුණා.  ඔවුන්ගේ Model 3 තාක්ෂණයෙන් බලගැන්වෙන ventilators තමා මේ විදියට පෙරදසුන් කර තිබුණේ. COVID-19 වසංගතය නිසා ඇති වී ඇති අධික හිඟය හේතුවෙන් තමා ඔවුන් මෙලෙස ventilators නිපදවීමට යොමුවී තිබෙන්නේ. සමාගමේ YouTube නාලිකාවේ පළ කරන ලද නව වීඩියෝවක, Teslaහි ඉංජිනේරුවන් Ventilatorsහි අනුවාද දෙකක් පළකර තිබෙනවා. නිව් යෝර්ක් නගරයේ නගරාධිපතිගේ ඉල්ලීමකට අනුව Teslaහි හිමිකරු Elon Musk විසින් මෙලෙස ventilators නිපදවා දීමට කැමැත්ත ලබා දී තිබෙනවා.


TESLA Ventilator හි භාවිතා වන තාක්ෂණය

නමුත් පවත්නා සැලසුමක් භාවිතා කරනවාට වඩා නව Ventilators නිපදවීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් Tesla විවේචනයට ලක්වී තිබෙනවා. මේ පිළිබද අදහස් දක්වමින් ඔවුන්ගේ ඉංජිනේරුවරුන් ප්‍රකාශ කර තිබෙන්නේ ඔවුන් හොදින්ම දන්නා, විශ්වාසවන්ත කොටස් මෙහිදී ඔවුන් භාවිතයට ගන්නා බවයි. එමෙන්ම අවශ්‍ය ප්‍රමාණයට ඔවුන් සතුව එම කොටස් ඇති බවද ප්‍රකාශ කර තිබුණා.සමාගමේ Ventilatorහි සැලසුමෙහි එහි මෝටර් රථ වලින් Model 3 හි තොරතුරු තිරය සහ පරිගණකය මෙන්ම Model Sහි අත්හිටුවීමේ පද්ධතියේ කොටසක් ද ඇතුළත් කර තිබෙනවා. මෙලෙස මෙම කොටස් භාවිතා කිරීම යන්ත්‍රවල සංවර්ධන හා නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් කිරීමට උපකාරී වන බවට සදහන් වේ.

කෙසේවෙතත් මෙලෙස ventilators නිපදවීමට ආරම්භ කල  සමාගම Tesla පමණක් නොවේ. තවත් බ්‍රිතාන්‍ය සමාගම් තමන්ගේම Ventilators නිර්මාණය කරමින් සිටින බැවින් සම්පත් රැස්කර ගන්නා බවටද තොරතුරු වාර්ථා වී තිබුණා. Dyson සමාගම ඔවුන්ට බ්‍රිතාන්‍ය රජයෙන් Ventilators 10,000 ක් සඳහා ඇණවුමක් ලැබුණු බවට The Guardian වෙබ් අඩවියට සදහන් කර තිබුණා. එලෙසම එක්සත් ජනපදයේ සෙසු මෝටර් රථ නිෂ්පාදකයින් වන Ford සහ General Motors වෛද්‍ය ප්‍රජාව සඳහා Ventilators සහ වෙනත් අත්‍යවශ්‍ය උපකරණ නිපදවීමට සැලසුම් කර තිබේ. Ford සමාගම වඩාත් සරල Ventilator අනුවාදයක් නිපදවීමට GE Healthcare සමාගම සමග කටයුතු කරන අතරතුර General Motors, Ventec Life Systems සමාගමට එහි යන්ත්‍ර නිෂ්පාදනය වැඩි කිරීමට උපකාරී වන බවට වාර්ථා වනවා.

තමන්ගේම Ventilators නිර්මාණය කිරීම මෙන්ම Elon Musk පවසන්නේ ඔහු FDA විසින් අනුමත කරන ලද Ventilators මිලදී ගෙන ඒවා අවශ්‍ය සංවිධාන වෙත නැව්ගත කරන බවයි. කෙසේවෙතත් කොරෝනා වයිරස් වසංගතය පිළිබඳ ඔහු දැක්වූ ප්‍රතිචාරයන් නිසා ඔහු විවේචන රැල්ලකට මුහුණ දී ඇති අතර, එහි බරපතලකම අවතක්සේරු කිරීම, ළමයින්ට වෛරසයෙන් ප්‍රතිශක්තීකරණයක් ඇති බව Twitter පණිවුඩයක් මගින් යෝජනා කිරීම සහ Teslaහි කැලිෆෝනියා කර්මාන්ත ශාලාව විවෘතව තැබීමට උත්සාහ කිරීම එලෙස විවේචනය වීමට හේතු වී තිබෙනවා. මෙලෙස ඔහු විවේචනයට ලක්වී තිබුනත් Teslaහි නවතම වීඩියෝවෙන් පෙන්නුම් කරන්නේ සමාගමේ Ventilators පිළිබඳ වැඩ කටයුතු ප්‍රගතියක් ලබන බවයි.

බ්‍රිතාන්‍ය 5G කුළුණු ගිනි තැබීමට හේතුව COVID-19ද?

අද ලිපියෙන් ඉදිරිපත් කරන්නේ COVID-19  නිසා බ්‍රිතාන්‍ය 5G කුළුණු වලට සිදු වූ විනාශකාරී සිදුවීමක් ගැන. පසුගිය සතියේ BBC මාධ්‍යජාලය මගින් වාර්ථා කර තිබුණා බ්‍රිතාන්‍ය 5G කුළුණු 3 ගිනිතැබීමේ සිදුවීමක් ගැන. Vodafone හි බ්‍රිතාන්‍ය මාධ්‍ය ප්‍රකාශක අන්තර්ජාලයට අදහස් දැක්වීමක් සිදුකර තිබුනා පසුගිය පැය 24 තුල ඔවුන්ගේ 5G කුළුණු 4 ගිනි තැබීමකට ලක්ව ඇති බව. මෙම ගිනිතැබීමට ලක්ව තිබෙන සමහර කුළුණු භාවිතා කිරීම ආරම්භ නොකල කුළුණු බවද ඔහු ප්‍රකාශ කර තිබුණා. එරට පොලීසියද මේ වනවිට මේ පිළිබදව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

5G කුළුණු වලට ගිනි තැබුවේ ඇයි?

මෙයට හේතුව වෙලා තිබෙන්නේ 5G තාක්ෂණය සහ වෛරසය පැතිරීම අතර සම්බන්ධයක් පවතින බවට සමාජ මාධ්‍ය හරහා පැතිරුණු කටකතාවක්. Facebook සහ Nextdoor සමාජ මාධ්‍ය ජාලයන්හි සාමාජික සමූහයන් තුල 5G හානිකර යැයි පවසන අසත්‍ය සහ නොමඟ යවන ප්‍රකාශ නිසා මෙම ගිනිතැබීම් සිදුව තිබෙනවා. එයින් එක් අසත්‍ය ප්‍රකාශයක කියැවෙන්නේ නව කොරෝනා වෛරසය වුහාන්හි ආරම්භ වූයේ චීන නගරය මෑතකදී 5G නිපදවන නිසා යනුවෙනි. එය දැන් 5G භාවිතා කරන වෙනත් නගර කරා ව්‍යාප්ත වී ඇතැයි කියනු ලබනවා. මෙම අසත්‍ය ප්‍රකාශයක පවසන්නේ 5G වලට ප්‍රවේශය ඇති ජනාකීර්ණ නගරවල සාමාන්‍ය වශයෙන් රෝගය බෝවීමේ වේගයට වඩා අධික වේගයෙන් බෝවීම සිදුවන බවයි. නමුත් 5G තාක්ෂණය තවමත් භාවිතා නොකරන ඉරානය, ජපානය වැනි රටවලද වෛරසය පැතිරීම මගින් මෙය අසත්‍යක් බවට නිතැතින්ම පත්වෙනවා.

5G තාක්ෂණය හා වෛරසය පැතිරීම අතර සම්බන්ධයක්?

දැනට මෙම වෛරස ව්‍යාප්තියට 5G තාක්ෂණයේ කිසිදු ආකාරයක බලපෑමක් ඇතිබවට විද්‍යාත්මක තහවුරු කිරීමක් හෝ 5G භාවිතයෙන් කිසිදු ආකාරයක සෞබ්‍ය බලපෑම් සිදුවන බවට සාක්ෂි ඉදිරිපත් වී නොමැති පසුබිමක තමා මෙවැනි අසත්‍ය ප්‍රකාශ අන්තර්ජාලය තුල සැරිසරන්නේ. 5G මගින් 4G හෝ 3G ට වඩා වැඩි රේඩියෝ තරංග සංඛ්‍යාතයක්  භාවිතා කරයි, නමුත් එක්සත් රාජධානියේ නියාමකයින් පවසන ආකාරයට 5G විද්‍යුත් චුම්භක විකිරණ මට්ටම් ජාත්‍යන්තර නිර්දේශයන්ටත් වඩා පහළින් ඇති බවට වාර්ථා කර තිබෙනවා.

නමුත් මෙම අසත්‍ය කුමන්ත්‍රණකාරී ප්‍රකාශයන් පැතිරීම මෙයින් නවත්වා නැත. 5G ස්ථාපනය සඳහා Fiber Optics කේබල් ස්ථාපනය කරන කම්කරුවන්ට, 5G සක්‍රිය කළ විට එය “සියල්ලන්ම මරා දමනු ඇත” යැයි පවසමින් සමහරුන් හිරිහැර කරන බවටද වාර්ථා වෙනවා. මේ හේතුව නිසාවෙන් එක්සත් රාජධානියේ ඩිජිටල්, සංස්කෘතික, මාධ්‍ය සහ ක්‍රීඩා දෙපාර්තමේන්තුව මෙම කුමන්ත්‍රණකාරී ප්‍රකාශයන් “ක්‍රැක්පොට්” ලෙස නම්කිරීමක් සිදුකරනු ලැබුවේ දුරකථන ආවරණ වලට සාපරාධී හානියක් සහ සන්නිවේදන ක්ෂේත්‍රයේ ඉංජිනේරුවන් අපයෝජනය කිරීම පිළිබඳ වාර්තා ලැබී ඇති බව සඳහන් කරමිනි. සාවද්‍ය තොරතුරු පැතිරීම පාලනය කිරීම සඳහා සමාජ මාධ්‍ය ජාලයන්ගෙන්ද සහය ඉල්ලා තිබෙන බවද වාර්ථා වනවා.

මේ සියල්ල සිදුවන්නේ එක්සත් රාජධානිය සහ ලොව බොහෝ රටවල් කොරෝනා වෛරස් වසංගතයට එරෙහිව සටන් වදින අතරතුරයි. කණගාටුවට කරුණ නම් වෛද්‍ය වෘත්තිකයන්, ආරක්ෂක අංශ අධික ලෙස බෝවන වෛරසයක් සමඟ පොරබදමින් සිටින අතරතුර, සන්නිවේදන ක්ෂේත්‍රයේ වෘතිකයන්ට සහ සමාජ මාධ්‍ය ජාලවලට අන්තර්ජාලය හරහා පැතිරීම සිදුකරන මෙවැනි අසත්‍ය විනාශකාරී කටයුතු වලට එරෙහිවද සටන් කිරීමට සිදු වී තිබීමයි.

COVID-19 නිසා ඉහළ ගිය ZOOM භාවිතය

අද ලිපියෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ COVID-19 නිසා තාක්ෂණික ලොව තුල ඇතිවෙලා තිබෙන අර්බුධකාරී සිදුවීමක් පිළිබදව. මේ වනකොට ලෝකයේ සමස්ථ ජනගහනයෙන් ⅓ ක් නිවෙස් තුලට වෙලා ජීවිතය ගත කරන බවට වාර්ථා නිකුත් වෙලා තිබෙනවා. ඒ වගේම තමා මේ වෙනකොට බොහෝ දෙනෙක් තමන්ගේ රාජකාරී කටයුතු සිදුකරන්නෙත් තමන්ගේ නිවෙස්වලම සිටිමිනුයි. වීඩියෝ ඇමතුම් සහ වීඩියෝ සම්මන්ත්‍රණ වැනි තාක්ෂණයන් තමා මේ සදහා භාවිතා වන්නේ. එලෙස බහුලව මේ දිනවල භාවිතා වන මෘදුකාංගයක් ලෙස ZOOM හදුන්වන්න පුලුවන්.

COVID_19 වසංගතය නිසා මේ වනවිට යෝගා පන්ති, පාසල් ඉගැන්වීම් කටයුතු, පරිපාලන කටයුතු වැනි බොහෝ කටයුතු සදහා ZOOM භාවිතා කිරීම හේතුවෙන් Apple AppStore සහ Android PlayStore හි මේ දිනවල වඩාත් බාගත වූ යෙදුම බවට මෙය පත්වෙලා තිබෙනවා. එක්සත් රාජධානි රජයේ කැබිනට් මණඩල රැස්වීම් සදහාද ZOOM භාවිතා කරන බවට තොරතුරු අන්ර්ජාලයේ සදහන් වෙනවා. අප රටේද විශ්ව විද්‍යාල ඉගැන්වීම් සදහා මෙය භාවිතා කිරීමට යන බව මෑතකදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබුනා.

මෙලෙස අධික ලෙස භාවිතා වීම නිසා ZOOM ආයතනය අවධානමකට ලක්ව තිබෙනවා. මෙම මෘදුකාංගය භාවිතය නිසා පෞද්ගලිකත්වයට බලපෑමක් සහ ආරක්ෂක පසුබෑමකට මුහුණ දීමට සිදුවන බවට ආරක්ෂක විශේෂඥයින්, පෞද්ගලිකත්ව උපදේශකයින් සහ නීති සම්පාදකයින් පවසනවා. ZOOMහි පෙරනිමි සැකසුම් ආරක්ෂාව සැලකියයුතු මට්ටමක නොමැති බවට FBI ආයතනය පවා ඔවුන්ට මේ වනවිට අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා. මේ හේතුව නිසා ZOOM දැන් තමන්ගේම සාර්ථකත්වයේ ගොදුරක් බවට පත්වීමේ අවදානමකට ලක්ව සිටිනවා.

ZOOM හි ආරක්ෂක දුර්වලතා

ZOOM මීට පෙරද ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය සම්බන්ධව සටන් කර තිබෙනවා. පසුගිය අවුරුද්දේ Apple ආයතනයෙන් ඔවුන්ගේ Mac පරිඝණක වලින් ZOOM ඉවත්කීරීමක්ද සිදු කර තිබුනා බරපතල ආරක්ෂක අවධානම නිසා. මේ හේතුව නිසාම මෑත සතිවලදී, ZOOM හි ආරක්‍ෂිත භාවිතයන් පිළිබඳ සෝදිසි කිරීම් තීව්‍ර වී ඇති අතර, එහි පෙරනිමි සැකසුම් සහ යෙදුම භාවිතයට පහසු වන යාන්ත්‍රණයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමක් ඔවුන් සිදු කර තිබුනා.

සෑම වීඩියෝ ඇමතුමකටම අහඹු ලෙස ජනනය කරන ලද හැඳුනුම් අංක 9 ත් 11 ත් අතර දිගක් ඇති අතර එය රැස්වීමකට ප්‍රවේශය ලබා ගැනීමට සහභාගිවන්නන් භාවිතා කරයි. පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ මෙම රැස්වීම් හැඳුනුම්පත් අනුමාන කිරීමට පහසු වන අතර බලහත්කාරයෙන් පවා ඕනෑම කෙනෙකුට රැස්වීම්වලට යාමට ඉඩ සලසන බවයි. මෙනිසා අනවසර පුද්ගලයින් විශාලන ඇමතුම් වලට සම්බන්ධ වී අසභ්‍ය හෝ කම්පන වීඩියෝ විකාශනය කරයි. රැස්වීම් සඳහා මුරපදයක් සැකසීමට ධෛර්යමත් නොකරන ZOOM හි වැරදි පෙරනිමි සැකසුම් නිසා මෙය සිදුවේ. එලෙසම සහභාගිවන්නන්ට ඔවුන්ගේ තිරය බෙදා ගැනීමට ඉඩ ලබාදීමට ගැටළුවක් බවට පත්ව තිබේ. ZOOM මගින් අධ්‍යාපන ගිණුම් සඳහා මෙම පෙරනිමි සැකසුම් යාවත්කාලීන කිරීමක් පසුගිය සතියේ සකස් කරන ලද නමුත් තවමත් අවදානම් තිබෙන බවට සදහන් වනවා.

කෙසේනමුත්  මෑත කාලීන සිදුවීම් සදහා ZOOM විස්තරාත්මකව ප්‍රතිචාර දක්වා නැත, නමුත් පසුගිය සතියේ ZOOM හි ප්‍රධාන විධායක නිලධාරී එරික් එස් යුවාන් පැවසුවේ මෙම ගැටළු සම්බන්ධයෙන් සමාගම සිය භාවිතයන් සමාලෝචනය කරමින් සිටින බවයි. “මෙය ඇතිවූ කනස්සල්ලට අපි අවංකවම සමාව අයදින අතර අපගේ පරිශීලකයින්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට දැඩි ලෙස කැපවී සිටිමු. “මෙය නැවත සිදු නොවීමට වග බලා ගැනීම සඳහා අනාගතයේදී මෙම අංග ක්‍රියාත්මක කිරීම සඳහා අපගේ ක්‍රියාවලිය සහ ප්‍රොටෝකෝල සමාලෝචනය කරමින් සිටිමු.” ලෙස ඔහු ප්‍රකාශ කර තිබුණා.

Microsoft Project xCloud

Microsoft  සමාගමේ නිර්මාණයක් ගැන තමා අද ලිපියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ.ඒ තමා මේ අවුරුද්දේදී නිකුත් වීමට නියමිත ඔවුන්ගේ ක්‍රීඩා ප්‍රවාහ සේවාව වන xCloud සේවාව පිළිබදව.Microsoft  විසින් ලබන වසරේදී Xbox Game Pass සමඟ  xCloud ඒකාබද්ධ කිරීමට සැලසුම් කර ඇති බවට තොරතුරු මේ වනවිට අන්තර්ජාලයේ සදහන් වෙනවා. එමගින් ක්‍රීඩකයන්ට සෘජුවම cloud තාක්ෂණය හරහා ක්‍රීඩා කිරීමට ඉඩ ප්‍රස්තාව සලසා දෙනු ලබනවා. එමගින් වඩාත් සුපැහැදිලි ආකාරයෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දෙනවා. ලබන වසර වනවිට පැමිණෙන windows 10 පරිගණක සදහාද මෙම සේවාව ලබාදීම සදහා අවශ්‍ය ආකාරයෙන් කටයුතු සිදුකරන බව ඔවුන් තවදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

මේ වනවිට android  දුරකථන හා ටැබ්ලට් පරිඝණක සදහා මෙම සේවාව ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා.මෙම ලිපිය ලියන අවස්ථාව වනවිට ඔබට මෙම project xCloudහි පෙරදසුන් ලබාගැනීමේ හැකියාව ලබා දී තිබෙනවා. මෙම ලින්ක් එක හරහා ඔබට ඔවුන්ගේ වෙබ් අඩවියට පිවිස ඒ සදහා ලියාපදිංචි වීම සිදු කල හැකියි. කෙසේ නමුත් iOS දුරකථනසදහා මෙම සේවාව තවමත් ලබාගත නොහැකියි.

xCloud භාවිතා කරන ආකාරය

මෙම සේවාව සමගින් එක්වීමට ඔබට පහත සදහන් මූලික අවශ්‍යතාවයන් සපුරා ගැනීමට සිදුවනවා.

  1. මෙහෙයුම් පද්ධතිය Android 6.0+ සහ Bluetooth version 4.0+ සහිත දුරකථනයක්.
  2. Bluetooth සමඟ අනුකූල Xbox රැහැන් රහිත පාලකයක්.
  3. 5GHz Wi-Fi හෝ ජංගම දත්ත සම්බන්ධතාවය බාගත කිරීමේ වේගය 10Mbps සහිතව.
  4. Xbox Game Streaming යෙදුම. (preview)

මෙම දේවල් සපුරා ගැනීමෙන් පසු ඔබට සිදුවනවා මේ සදහා ලියාපදිංචි වීමට, ඒ සදහා Microsoft ගිනුමක් ඔබ සතු විය යුතුයි. එලෙස ලියාපදිංචි වීමෙන් අනතුරුව ඔවුන් ඊලග පියවරයන්ට අදාල විස්තර සහිත විද්‍යුත් තැපෑලක් ඔබ වෙත යොමු කරනු ලබනවා. ඉන් අනතුරුව ඔබට කිරීමට තියෙන්නේ ඔබගේ දුරකථනය Xbox පාලකය සමග සම්බන්ධ කොට ක්‍රීඩා කිරීම පමණයි. ඉහත සදහන් කර ඇති ලින්ක් එක මගින් තවදුරටත් ඔබට විස්තර ලබාගැනීමක් අවශ්‍යනම් එය සිදුකරගත හැකියි.

මේ වන විට පෙරදසුන් සදහා 50කට අධික ක්‍රීඩා ප්‍රමාණයක් ඔවුන් ලබාදී තිබෙනවා. ලබන අවුරුද්දේ සිට මෙම දුරකථන සදහා ලබාදුන් සේවාව පරිගණක සදහාද ඔවුන් ලබාදෙනු ඇති. නමුත් මේ වනවිට අප රටටනම් මෙම සේවාව ඔවුන් ලබාදීලා නැහැ. Canada, India, Japan සහ දකුණුදිග යුරෝපියානු රටවල් සදහා පෙරදසුන් ලබාදෙන බවට තමා තොරතුරු සදහන් වෙන්නේ.

මොවුන්ට දැනට පවතින විශාලතම අභියෝගය වන්නේ ඊලග සතිය තුල නිකුත් වීමට නියමිත Googleහි Stadia නමින් හැදින්වෙන මෙයට සමානකම් දක්වන සේවාවයි. නමුත් ක්‍රීඩකයින්ට තමන්ට කැමති සේවාවක් සදහා යොමුවිය හැකියි.

Apple සමාගම හදුන්වා දෙන නවතම location tracking Tags

Appletags

අද ලිපියෙන් ඉදිරිපත් කරන්නේ Apple සමාගම මගින් අලුතින්ම එළිදැක්වීමට නියමිත උපාංගයක් වන ස්ථාන ලුහුබැඳීමේ ටැගය පිළිබදව. දීර්ඝ කාලයක් තිස්සේ කථාබහට ලක් වෙලා තිබුනු නමුත් එළිනොදැක්වුනු මෙම නවතම උපාංගය මේ වසරේ අවසාන කාර්තුවේදී පාරිභෝගිකයන්ට ලබාදීමට ඔවුන් සැලසුම් සකස් කර තිබෙනවා. ultra-wideband tracker කාණ්ඩයට අයත් වන මෙම උපාංගය AirTags හෝ AppleTags ලෙස නම් කෙරෙනු ඇතැයි කියා අන්තර්ජාලයේ සදහන් වන්නේ.

මෙම tags පාවිච්චි කරන පරිශීලකයින්ට ඔවුන්ගේ යතුරු, ගමන් මලු, මෝටර් බයිසිකල් කියන ඕනෑම දෙයක් සදහා මෙම tag භාවිතා කිරීමේ හැකියාව තිබෙනවා. එමගින් පහසුවෙන්ම එය තිබෙන ස්ථානය පිළිබදව තොරතුරු තමන්ගේ ජංගම දුරකථනයෙන් බලාගැනීමේ හැකියාව ලැබෙනවා. සොර සතුරන්ගෙන් වන හානි අවම කිරීමට හා අමතකවීම් නිසා සිදුවන අස්ථානගතවීම් වැළැක්වීම සහ ඒවාට පිළියමක් ලබාදීම තමා මෙහි මූලික අරමුණ.

නවතම Apple  දුරකථන වන iPhone 11 මාදිලියේ දුරකථනයන්හි සමන්විත වන ලුහුබැදීමේ තාක්ෂණය මේ සදහා භාවිතා විය හැකියි. එමගින් FindMy යෙදුම හරහා තොරතුරු ලබාදෙන බව තමා දැනට අනාවරණය වන තොරතුරු පවසන්නේ.

Apple’s location tracking තාක්ෂණය

අන්තර්ජාලයේ දැනට සදහන් වන තොරතුරු වලට අනුව මෙම උපාංගය රවුම් තැටි වලට සමාන ආකාරයක් ගත හැකියි. එමෙන්ම මෙම උපාංගයට නවතම Apple U1 Locator චිපය ඇතුලත් වනවා, iPhone 11 දුරකථන සදහාද භාවිතා වන්නේ මෙම වර්ගයේම චිපයන්. Ultra-wide band තාක්ෂණයෙන් සමන්විත වන මෙම චිපයන් මගින් පරිශීලකයන්ට නැතිවූ ටැගයේ නිවැරදිම ස්ථානය සොයාගැනීම පහසුවෙන්ම කල හැකියි. ත්‍රිමාණ බැලූන් මඟින් නැතිවූ අයිතමවල පිහිටීම හඳුනා ගැනීමට දෘශ්‍ය සහය ලබා දෙනු ලබනවා.

එමෙන්ම AirPods මෙන්, Apple Tags ද යථා තත්ත්වයට පත් කිරීම සඳහා චයිම් එකක් විමෝචනය කිරීමට බල කිරීමේ හැකියාවක්ද පවතිනවා. එපමණක් නොව AirPods මෙන් iPhone එකකට ආසන්නව ටැග්ස් පරිශීලකයාගේ iCloud ගිණුමට යුගලනය කිරීමේ හැකියාවෙන්ද මෙය සමන්විත වෙනවා.

මෙම උපාංගය මගින් ටැග් කරන ලද වස්තුවකින් එය බොහෝ දුරක් ගියහොත් එය අමතක වීම වළක්වා ගැනීම සඳහා අයිතිකරුවන්ට අනතුරු ඇඟවිය හැකියි. නිවස හෝ කාර්යාලය වැනි “ආරක්ෂිත” ස්ථානවල මෙම අංගය අභිබවා යා හැකිය. යම්කිසි ආකාරයකට මෙය අස්ථානගත උවහොත් එම ටැගයේ හිමිකරු විසින් එම ටැගය නැතිවී ඇති බව සදහන් කර ඇත්නම්, ටැග් කළ අයිතමය සන්තකයේ ඇති බව පෙනෙන ඕනෑම iPhone පරිශීලකයෙකුට එය නියම හිමිකරු වෙත ආපසු ලබා දෙන ලෙස දැනුම් දීමක් ලැබෙන ආකාරයේ  විශේෂාංගයක්ද මෙය සතුව පවතිනවා.

කෙසේවෙතත් මෙම නවතම උපාංගය ඉදිරිපත් වන නියමිත දිනයක් තවමත් ප්‍රකාශයට පත් කර නැහැ, නමුත් මෙම වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත iPhone උළෙලේදී මෙය බොහෝදුරට එළිදැක්වේවි.

5G තාක්ෂණය සමග හදුන්වා දීමට නියමිත OnePlus 8

අද ලිපියෙන් ඉදිරිපත් කරන්නේ OnePlus හි අලුත්ම  දුරකථනය වන OnePlus 8 ගැන. 2020 වර්ෂයට ගොඩක් දෙනෙක් බලාපොරොත්තුවෙන් පසුවන දුරකථනයක් තමා OnePlus 8 කියන්නේ. පසුගිය වර්ෂය OnePlus ආයතනයට ඉතාම වැදගත් වසරක් බවට පත්වුනා. මක්නිසාද යත් OnePlus 7 හා OnePlus 7 Pro දුරකථනයන් නිකුත්වීම සිදුවුණ නිසා. ප්‍රමුඛතම කාණ්ඩයේ දුරකථනයක් වන OnePlus මෙවර නිකුත් වන්නේ OnePlus 8 Pro හා OnePlus 8 Lite නමින් තවත් මාදිලි දෙකක්ද සමගින් කියලා තමා කටකතා පැතිරෙන්නේ.

OnePlus 8 Camera Design

නව දුරකථනයේ සැකැස්ම

පසුගිය වර්ෂයේදී නිකුත්වුණ OnePlus 7 Pro දුරකථනය pop-up selfie camera එකක් සහිතව තමා නිකුත් වුනේ. නමුත් OnePlus 7හි මෙම විශේෂාංගය අඩංගු උනේ නෑ. නව දුරකථනයේ ඉදිරිපස කැමරාව වම්පස උඩු කෙලවරෙහි punch-hole වැනි ආකාරයට පැමිණීමට ඉඩ ඇති බව තමා අන්තර්ජාලයේ සදහන් වන්නේ. ඔවුන්ගේ Pro දුරකථනය සදහාද මෙම කැමරාවම අඩංගු වීමේ හැකියාවක් පවතිනවා. මක්නිසාදයත් pop-up කැමරාවෙහි පවතින සමහර ගැටළු නිසා සහ අනෙකුත් විශේෂාංග සදහා ඉඩ ලබාදීම වෙනුවෙන්.

OnePlus 8 structural
view

එමෙන්ම ජලය සහ දුහුවිලි ඇතුල් වීමේ වැඩි හැකියාවක් පවතිනවා මෙම ක්‍රමවේදය නිසා. අපි හැමෝම වගේ දන්න කරුණක් තමා OnePlus දුරකථන සදහා ජල සහ දූවිලි ප්‍රතිරෝධය වෙනුවෙන් ලබාදෙන ශ්‍රේණිගත කිරීම් සතුටුවිය හැකි මට්ටමක නෙවෙයි තිබෙන්නේ. එම නිසා pop-up කැමරාව වෙනුවට ඉදිරිපස සදහා තනි සහ යුගල වශයෙන් කැමරා  අඩංගු වීමක් සිදුවිය හැකියි. බොහෝදුරට OnePlus 8 Pro හි ඉදිරිපස කැමරා යුගලයක් සමන්විත විය හැකියි.  තවදුරටත් සදහන් වන තොරතුරු වලට අනුව OnePlus 8 Pro හි අගල් 6.7 තිරයකින් හා 120Hz refresh rate සමගිනුත්, OnePlus 8 සහ 8 Lite අගල් 6.44 තිරයකින් හා 90Hz refresh rate වලින් සමන්විත වෙනවා.

OnePlus 8 හි විශේෂතා

අන්තර්ජාලයේ සදහන් වන ආකරයට OnePlus 8 හා OmePlus 8 Pro සදහා  දැනට පවතින සුපිරිම ප්‍රොසෙසරයන් වන Snapdragon 865 chipset භාවිතා කිරීමට නියමිතයි. එමෙන්ම OnePlus 8 lite සදහා Snapdragon මෙන්ම වේගවත් MediaTek 1000 ප්‍රොසෙසරය භාවිතා කිරීමට නියමිතයි. තවදුරටත් අන්තර්ජාලයේ සදහන් වන ආකාරයට මෙම OnePlus 8 සහ Pro දුරකථන දෙකෙහිම 5G තාක්ෂණය සදහන් විය හැකියි. එමෙන්ම මෙම දුරකථන සදහා 12GB RAM සමන්විත වීමේ හැකියාවක්ද පවතිනවා. ඊට අමතරව Wireless charging, Face unlock පහසුකම්ද මේ සමගින් ඉදිරිපත් වේවි.

OnePlus 8

බැටරි ආයුකාලය

අන්තර්ජාලයේ සදහන් වන තොරතුරු වලට අනුව OnePlus 8 Pro හි 4,500mAh බැටරියක් සහ අනෙක් දුරකථන දෙකෙහිම බැටරි ධාරිතාවය 4,000mAh විය හැකියි. දවස පුරාවටම භාවිතා කල හැකි ආකාරයට මෙම දුරකථනයන්හි බැටරි සමන්විත වීමේ බලාපොරොත්තුවක් තබා ගත හැකියි. ආරෝපණ වේගය ගැන මේ වනවිට වැඩිදුර තොරතුරු නොමැති වුවත් එයත් සතුටුදායක මට්ටමක නිසැකයෙන්ම පවතීවි. එමෙන්ම රැහැන් රහිත ආරෝපණ තාක්ෂණය මෙම දුරකථනයන්හි සමන්විත විය හැකියි.

OnePlus 8 and 8 Pro නිකුත්වන දිනය හා මිල

OnePlus 8 සහ OnePlus 8 Pro දුරකථන මෙම වර්ෂයේ මැයි මස පමණ වෙළදපළට නිකුත් වීමට නියමිතයි. එමෙන්ම OnePlus 8 දුරකථනය $599 පමණ මිල විය හැකියි. OnePlus 8 Pro දුරකථනය $699 පමණ මිලකට නිකුත් විය හැකියි. මෙම දුරකථන දෙකට අමතරව නිකුත් වන OnePlus 8 Lite දුරකථනය අනෙක් දුරකථන මෙන් මිලෙන් ඉහළ නොවන බවට තමා තොරතුරු සදහන් වන්නේ.

Samsung Galaxy XCover Pro

අද ලිපියෙන් ඉදිරිපත් කරන්න යන්නෙ smartphone පරිශීලකයින්ට සාමාන්‍යයෙන් අසන්නට නොලැබෙන දෙයක් ගැන. සාමාන්‍යයෙන් smartphone ගැන සලකන කොට දැන් නිකුත්වන සියලුම දුරකථන battery-sealed විදියට තමා නිකුත්වෙන්නේ. Samsung Galaxy XCover Pro කියන්නෙ ඒ විදියට සාමාන්‍ය ක්‍රමයෙන් පිටතට ඇවිත් වෙළදපලට එන smartphone එකක්. සරලවම කියනව නම් මේ Samsung Galaxy XCover Pro දුරකථනයේ බැටරිය ගලවා ඉවත් කිරීමේ හැකියාව තිබෙනවා. ඒ කියන්නේ බැටරිය බැස ගියාට පසුව අමතර බැටරියක් යොදා පාවිච්චි කිරීමේ හැකියාව ලැබෙනවා, අනෙක් බැටරිය නැවත ආරෝපණය කරගන්නා තෙක්.

Samsung Galaxy XCover Pro

4,050mAh බැටරි ධාරිතාවයක් සහිතව පැමිනෙන මෙම දුරකථනය පසුගිය සතියේ ෆින්ලන්තයේදී එළිදක්වනු ලැබුවා. එනමුත් Samsung ආයතනය වැඩි ප්‍රසිද්ධියක් නොමැතිව තමා මේ එළිදැක්වීම සිදු කරනු ලැබුවේ.අන්තර්ජාලයේ සදහන් ආකරයට මෙම දුරකථනය rugged smartphone ලෙස තමා එළිදැක්වීම සිදු කර තිබෙන්නේ. එනම් රළු භාවිතය සදහා වඩාත් සුදුසු බවයි. මෙම දුරකථනය ව්‍යාපාරික වෘත්තිකයන් සහ ක්ෂේත්‍ර සේවකයින් මූලික වශයෙන් ඉලක්ක කරගෙන තමා නිකුත් වෙන්නේ. මක්නිසාදයත් ඔවුන්ට තමා දිගු බැටරි ආයු කාලයක අවශ්‍යතාව වැඩිපුරම තිබෙන්නේ.

Samsung Point of Sale සමග ගෙවීම් පහසුකම්

Samsung ආයතනය පවසන ආකාරයට මෙම දුරකථනය EMV Level 1 සහතික කරන ලද්දක්. එනම් පරීශීලකයන්ට හැකිවෙනවා මෙම දුරකථනය NFC සහිත credit card මගින් tapping ක්‍රමයට ගෙවීම් සිදුකරන ව්‍යාපාර සදහා භාවිතා කරන්නට. එපමණක් නොව මෙම දුරකථනය Samsung’s point-of-sale  මෘදුකාංගයෙන්ද සමන්විත වෙනවා. එමගින් mobile-based විකුනුම් කටයුතු සදහා මෙම දුරකථනය භාවිතා කිරීමේ හැකියාව ලබා දෙනවා. ඊට අමතරව, බඩු ලැයිස්තු නිරීක්ෂණය කිරීමට සහ තීරු කේත පරිලෝකනය කිරීමට ඉඩ සලසන විශේෂාංගද මේ සමග පැමිණෙනවා.

Samsung Galaxy XCover Pro

මෙම Samsung Galaxy XCover Pro දුරකථනය වැඩසටහන්ගත කළ හැකි Button දෙකකින් සමන්විත වෙනවා. Samsung ආයතනය පවසන ආකාරයට මෙම buttons කැමරාව විවෘත කිරීමට,push-to-talk සහ Microsoft Walkie Talkie විශේෂාංගයට පිවිසීම වැනි ඕනෑම ආකාරයකට වැඩසටහන්ගත කල හැකියි. තවද මෙම දුරකථනය IP68 සහතිකයද ලැබී තිබෙනවා, IP68 යනු දුහුවිලි සහ වතුර ප්‍රතිරෝධය සදහා ලබාදෙන තත්ව සහතිකයක්. තවද මෙම දුරකථනය මීටර් 1.5 උපරිම උසක සිට බිම පතිත උවහොත් කිසිම හානියක් සිදු නොවන බවත් Samsung ආයතනය ප්‍රකාශ කර සිටිනවා. එමෙන්ම මෙය උෂ්ණත්වය, ආර්ද්‍රතාවය සහ වෙනත් දුෂ්කර තත්වයන් වලදී සිද්ධාන්තමය වශයෙන් ඔරොත්තු දීමේ හැකියාවෙන් සමන්විත වෙනවා. ඊට සම්බන්ධ MIL-STD 810G සහතිකයද මෙය සතු වෙනවා.

Samsung Galaxy XCover Pro හි  විශේෂතා

මධ්‍ය ප්‍රමාණ දුරකථනයක් වන Samsung Galaxy XCore Pro අගල් 6.3 2220 x 1080 තිරයකින් සමන්විත වෙනවා. Samsung ආයතනය පවසන ආකාරයට අත්වැසුම් පළදාගෙන උවද මෙම දුරකථනය භාවිතා කල හැකියි. ඊට අමතරව 2GHz octa-core Exynos 9611 ප්‍රොසෙසරයක්, 4GB RAM සහ 64GB අභ්‍යන්තර මතක ධාරිතාවයකින් මෙය සමන්විත වෙනවා. microSD chip මගින් 512GB දක්වා මෙය වැඩිකරගැනීම සිදු කල හැකියි. පසුපස 25MP සහ 8MP කැමරා දෙකකින් සමන්විත වන මෙහි 13MP ඉදිරිපස කැමරාවකින් සමන්විත වනවා. එමෙන්ම මෙය නවතම Android 10 සහ Samsung’s One UI 2.0 සමගින් තමා නිකුත් වෙන්නේ. තවද මෙය පැත්තෙන් සවි කරඇති ඇඟිලි සලකුණු කියවනයකින් සහ 15W fast charging 4050 mAh ඉවත්කලහැකි බැටරියකින්ද බලගැන්වී තිබෙනවා.

Samsung Galaxy XCover Pro

$499 මිලකර ඇති මෙම දුරකතය මේ වසරේ මුල් මාස කිහිපය තුලදී මිලදීගැනීමට වෙළදපලට නිකුත් කරන බව Samsung ආයතනය ප්‍රාකශ කර තිබෙනවා. දුරකථනය ප්‍රවේශමෙන් භාවිතා කිරීමට නොහැකි අයටනම් මෙය ඉතාම වටිනා දුරකතනයක් වේවි. ඉතින් මේ වගේ අලුත්ම තොරතුරක් සහිත ලිපියකින් නැවතත් ඉදිරියේදී හමුවෙමු.

වැඩි වේගයක් සමග අලුතින් පැමිණෙන Wi-Fi 6

Wi-Fi හි ඉතිහාසය

අද ලිපියෙන් ඉදිරිපත් කරන්නේ හැමෝම වගේ දන්න Wi-Fi පිළිබද අලුත්ම තොරතුරක්. ඒකට කලින් Wi-Fi වල ඉතිහාසය ගැන පොඩ්ඩක් සදහන් කරනවනම්, 1997 දී තමයි Wi-Fi පළමුවෙන්ම පරිශීලකයන්ට හදුන්වා දෙනු ලැබුවේ. මුල් කාලයේදී තත්පරයට මෙගාබයිට් 2 (2MB) වේගයක් සහිතව උපාංග අතර රැහැන් රහිතව දත්ත හුවමාරු කිරීමේ හැකියාවක් Wi-FI මගින් ලබාදුන්නා. 1999දී තමා එදිනෙදා භාවිතය සදහා WI-F i හදුන්වා දෙනු ලැබුවේ. වරින් වර විවිධ වෙනස්කම් සහ වර්ධනයන් සමගින් ඉදිරියට පැමිණුනු W-Fi හි අලුත්ම වැඩි දියුණු කිරීම තමා Wi-Fi 6 කියන්නේ. තාක්ෂණයේ දියුණුවත් සමගම පසුගිය දශකයකට ආසන්න කාලය පුරාවටම Wi-Fi භාවිතා කරන උපාංග පරිහරණය වැඩිවුනා. ඒකත් එක්කම ආපු ප්‍රශ්ණයක් තමා උපාංග වැඩිවෙන තරමට වේගය අඩුවීමක් සිදු වීම. මෙන්න මේ ප්‍රශ්ණයට විසදුමක් ලබාදීම තමා මෙම නව Wi-Fi තාක්ෂණයේ මූලික අරමුණ ලෙස සදහන් කරන්නේ. වේගවත් දත්ත හුවමාරුවක් මගින් දත්ත කාර්යක්ෂමතාව ඉහල නැංවීම තමා මෙමගින් මූලිකවම බලාපොරොත්තු වෙන්නේ.

WiFi 6

නව Wi-Fi තාක්ෂණය කොපමණ වේගවත්ද?

කෙටිම උත්තරය තමා 3.5 Gbps වේගයක් සහිතව පැවතුනු Wi-Fi 5, 9.6 Gbps වේගයක් ලබාගැනීමට සමත් වෙලා තිබෙනවා Wi-Fi 6 ඉදිරිපත් වන විටදී. කෙසේ නමුත් සිද්ධාන්තමය වශයෙන් මෙවැනි වේගයක් ඇති බවට පැවසුවත් ප්‍රායෝගිකව මේ වගේ වේගයක් ලබාගැනීමට නොහැකි බව අපි හැමෝම දන්න කරුණක්. එසේ ලබාගැනීමට හැකියාවක් තිබුනත් සාමාන්‍ය පරිහරණයේදී එවැනි වේගයක අවශ්‍යතාවක් තිබෙනවාද කියන එකත් අපැහැදිලි කාරණයක්. සාමාන්‍ය බාගත කිරීමේ වේගය 72 Mbps පමණ ප්‍රමාණවත් කියලා තමා අන්තර්ජාලයේ සදහන් වන්නේ.

නමුත් මෙම නව Wi-Fi තාක්ෂණයේදී මෙම වේගය ඉතාම ප්‍රයෝජනවත් වනවා මොකද මෙම සම්පූර්ණ වේගයම තනි උපාංගයක් සදහා උවමනා නැති වුවත් උපාංග කිහිපයක් සම්බන්ධ වූ විට සෑම උපාංගයක් සදහාම විභව වේගයක් ලබා ගැනීමට හැකියාවක් මෙමගින් සැලසෙනවා.

Wi-Fi 6 හි තාක්ෂණය

Wi-Fi 6හි ප්‍රධාන තාක්ෂණයන් දෙකක් සමන්විත වෙනවා වේගවත් බව ලබාගැනීම සදහා. MU-MIMO සහ OFDMA කියන තාක්ෂණයන් තමා මේ විදියට පාවිච්චි වන්නේ.

MU-MIMO මගින් “multi-user, multiple input, multiple output” තමා නියෝජනය වන්නේ. මෙම තාක්ෂණයන් දැනටමත් routers සහ උපාංගයන් සදහා භාවිතා වෙනවා. එනමුත් Wi-Fi 6 මගින් එය වැඩි දියුණු කර තිබෙනවා. මෙම තාක්ෂණය මගින් රවුටරයකට උපාංග කිහිපයකට එකවර සම්බන්ධ වීමේ හැකියාව ලබා දී තිබෙනවා. මෙමගින් දැනට උපාංග හතරකට එකවර රවුටරය සමග සන්නිවේදනය කිරීමේ හැකියාවක් පවතිනවා, නව Wi-Fi තාක්ෂණය මගින් එය 8 දක්වා ඉහල දැමීමට හැකියාව තිබෙනවා. අනෙක් තාක්ෂණය වන OFDMA මගින් “Orthogonal Frequency Division Multiple Access” යන්න තමා නියෝජනය කරන්නේ. මෙමගින් එක් සම්ප්‍රේෂණයක් තුලින් උපාංග කිහිපයකට එකවර දත්ත ලබාදීමේ හැකියාව ලැබෙනවා.

මෙහි ඇති ආරක්ෂක උපක්‍රමයන්

පහුගිය වසරේදී Wi-Fi එහි විශාලතම ආරක්ෂක වැඩිදියුණු කිරීම සිදු කරනු ලැබුවා. ඒ නවතම WPA3 protocol භාවිතා කිරීම මගින්. WPA3 ආරක්ෂණය සහිත ජාල hack කිරීමේ හැකියාව අවම මට්ටමකට ගෙන එනවා. යම් hacker කෙනෙකුට hack කිරීමට හැකි වුනත් ප්‍රයෝජනවත් දත්ත ප්‍රමාණයක් ලබා ගැනීමට නොහැකියි. දැනට පවතින උපාංග වලත් WPA3 තිබුණත් එය අනිවාර්‍ය් නැහැ. නමුත් Wi-Fi 6 උපාංග සදහා Wi-Fi Alliance මගින් WPA3 ඇති බවට සහතිකයක් ලබාගැනීම අනිවාර්‍ය් වනවා.

WiFi 6

නව Wi-Fi 6 සේවාව ලබාගන්නේ කෙසේද?

Wi-Fi 6 හි අත්දැකීම ලබාගැනීමට නම් අනිවාර්යයෙන්ම අලුත් උපාංග මිලදී ගැනීමට සිදුවනවා. ඒ වගේම තමා Wi-Fi 6 රවුටරයක් මිලදී ගැනීමටද සිදු වනවා. මේ වනවිට වෙළදපලට මෙම රවුටර සහ උපාංග නිකුත් වෙලා තියෙනවා. Deco Mesh, AX1500 Mesh, Archer AX90 මෙවැනි රවුටර සදහා උදාහරණ ලෙස දක්වන්න පුලුවන්.

wifi 6 system

මේ වසරේ CES හිදී  Wi-Fi 6 Routers සහ උපාංග ඉතාමත් කැපී පෙනෙන අංග බවට පත්වී තිබුනා. මෙවර CES සමුළුවේදී Wi-Fi හි මෙම නව ප්‍රමිතිය අවසානයේදී යථාර්තයක් බවට පත්වුණා කිව්වොත් නිවැරදියි, මොකද මේක වසර ගණනක් තිස්සේ සිද්ධාන්තයක් විදියට තමා පැවතුනේ.

Wi-Fi 6 කරලියට පැමීණීමත් සමගම කතාබහට ලක්වුණු දෙයක් තමා Wi-Fi 6E කියන්නේ. Wi-Fi 6 වලට වඩා වේගවත් බවින් හා ධාරිතාවෙන් වැඩි බව පමණයි දැනට සදහන් වෙන්නේ. ඒ ගැන තව විස්තර ඉදිරිපත් වීමෙන් පසු ගෙන එන බලාපොරොත්තුවෙන් මේ ලිපිය අවසන් කරනවා. ඉතින් මේ වගේ වැදගත් ලිපියකින් ඉදිරියේදී  නැවතත් හමුවෙමු.