පරිගණක තාක්ෂණය ආශ්‍රයේදී අපට හමුවන වදනකි ‘ජාත්‍යන්තරකරණය’. මෙයින් සරලවම හැඳින්වෙන්නේ යම්කිසි මෘදුකාංගයක් (software) හෝ අන්තර්ජාල අයදුමක් (internet application) ලෝකයේ විවිධ භාෂාවන් සහ විවිධ අවශ්‍යතාවන්ට අනුකූල වන පරිදි නිර්මාණය කිරීමයි. මෙය ඉංග්‍රීසි බසින් internationalization ලෙස හඳුන්වන අතර එයම කෙටි කර i18n ලෙසද හඳුන්වයි. මෙය Apple, Google, Microsoft, WordPress, Linux, Wikipedia වැනි ලොව සුපතළ මෘදුකාංග ආයතන/ වෙබ්අඩවි සියල්ලම පාහේ ලබාදෙන පහසුකමකි.

WordPress මෘදුකාංගයේ ප්‍රාදේශීයකරණ අතුරුමුහුණත
ප්‍රාදේශීයකරණය යනු ඒහා ම ඈඳුනු තවත් යෙදුමකි. ඉංග්‍රීසි බසින් එය localization හෙවත් l10n වේ. එහි අරුත නම් දැනටමත් ජාත්‍යන්තරකරණය වී ඇති මෘදුකාංගයක් හෝ අයදුමක් (app), යම්කිසි ප්‍රදේශයකට (හෝ රටකට) උචිත වන පරිදි එහි භාෂාව පරිවර්තනය කිරීම සහ එයට විවිධ අංගෝපාංග එක්කිරීමයි. එම ක්‍රියාවලිය ඇතැම් විට සමාගම් විසින්ම සිදුකර පාරිභෝගිකයාට ලබාදෙන අතර, බොහෝ නිදහස් සහ විවෘත-ප්‍රභව මෘදුකාංග (free and open-source software) වල ප්‍රාදේශීයකරණ ක්‍රියාවලිය සිදුවන්නේ එම මෘදුකාංග භාවිතා කරන ඔබ මම වැනි අයවලුන් විසිනි. මෙය වඩාත් සාර්ථක ක්‍රමයක් ලෙස පිළිගැනෙන්නේ, යම් භාෂාවකට හෝ සංස්කෘතියකට අදාළ වන කරුණු හොඳින්ම දන්නේ එම මෘදුකාංගය අදාළ භාෂාවෙන් භාවිතා කරන අයම වීමයි. මෙහි සාර්ථකත්වයට සාක්ෂි ලෙස Wikipedia, WordPress, Mozilla Firefox, Google Translate, Ubuntu යනාදී අන්තර්ජාල ව්‍යාපෘතීන් දැක්විය හැක.

Googleහි සිංහල මුල් පිටුව
මෙම ලිපි මාලාවෙන් මා අවධානය යොමුකිරීමට බලාපොරොත්තු වන්නේ මෙම අන්තර්ජාල ප්‍රාදේශීයකරණ ක්‍රියාවලිය, එයට දායක විය හැකි ආකාරය සහ එලෙස දායකවීමේ වැදගත්කම වෙතයි.
මෙම ප්රාදේශීයකරණයට හේතු වන මූලික කරුණ නම් අනන්‍යතා තරඟයයි. එනම් ඔබ Wikipedia පිටුවකට පිවිසුණු පසු, අදාල පිටුව සිංහල බසිනුත් පළවී ඇති බව දැකීමට ඇති කැමැත්තයි. මෙය සාමාන්‍ය සහ සාධාරණ තත්ත්වයකි. සමානාත්මතාවය උපරිම ලෙස ක්‍රියාත්මක වන අන්තර්ජාලය තුළ කිසිවෙකුත් මඟහැරී යායුතු නොවේ. බොහෝ පිරිස් ප්‍රාදේශීයකරණය වටා රොක්වන්නේ මෙම හේතුව මුල් කරගෙනය.
එසේ ඇරඹෙන මෙම ක්‍රියාවලිය අන් අයට කිසිදු ප්‍රයෝජනයක් නැති නම් එය ද නිෂ්ඵල කාර්යයකි. උදාහරණයක් ලෙස ඔබ Mozilla Firefoxහි සිංහල අනුවාදය බාගත (download) කළේ යැයි සිතන්න. එවිට ඔබ ඉදිරිපස දිගහැරෙන අතුරුමුහුණත (interface) සිංහලෙන් තිබුණද, එහි කිසිදු යෙදුමක් ඔබට තේරුම්ගත නොහැකි නම් එය ප්‍රාදේශීයකරණ ක්‍රියාවලියේ දුබලතාවයකි. මෙය බොහෝ පරිශීලකයින් (users) අත්දැක ඇති සිදුවීමක් වන අතර බොහෝ දෙනා සිංහලට පරිවර්තනය කරන ලද මෘදුකාංග භාවිතයට මැලි වීමටද මෙය හේතුවක් වී ඇත. මෙය ඉතා කණගාටුදායක තත්ත්වයකි. එබැවින් ඔබ යම්කිසි ප්‍රාදේශීයකරණ ව්‍යාපෘතියකට දායක වන්නේ නම්, (විශේෂ අවස්ථාවලදී හැර) හැකිතරම් පොදු ව්‍යවහාරය භාවිත කිරීමට පෙළඹෙන්න. වචනයෙන් – වචනය පරිවර්තනය කිරීම වෙනුවට යම් වැකියක ඇති සමස්ත අරුතම පරිවර්තනයට උත්සාහ කරන්න. පරිශීලකයින් හට මෘදුකාංගය භාවිතා කිරීම වඩා පහසු අත්දැකීමක් බවට පත්කරන්න. නැතහොත් ඔබේ මහන්සිය ගඟට ඉනි කැපීම මෙන් නිෂ්ඵල කාර්යයක් වනු ඇත.
අන්තර්ජාල ප්‍රාදේශීයකරණ ක්‍රියාවලිය ගැන දළ අවබෝධයක් ඔබ හට ලැබුණේ යැයි මම සිතමි. මීළඟ ලිපි වලින් එවන් ව්‍යාපෘතියකට දායක වියහැකි ආකාරය සහ එයට අදාළ තාක්ෂණික පසුබිම ගැන පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වන්න. පහතින් ඇති ප්‍රතිචාර දැක්වීමේ පෝරමය ඔබේ සියළු අදහස්/ ගැටලු සඳහා විවෘතයි.
simple, nice and informative! Keep it up…