TechWire

තමන්ගේ කුණු ගැන මුලින්ම බලා ගමු

මෑතකදී ලංකාවේ මීතොටමුල්ලේ සිදුවූ ව්‍යසනයෙන් පසු බොහෝ දෙනා කසල ප්‍රතිචක්‍රීකරණය ගැන කතා බහ වන කරුණකි. මෙවැනි විපත් හිදී අන් අයට ඇඟිලි දිගු කරනවා වෙනුවට, ඒවා මින් මතු සිදු නොවීමට වග බලා ගත යුතුය.

කසල යනු කොතරම් දියුණු රටකට වුවද මඟ හැරිය නොහැකි ගැටළුවකි.  ඉතිරි වන ආහාර, කැඩුණු බිඳුණු උපකරණ වැනි දේ බැහැර කලයුතු බව සැබෑවකි. අපට කලහැක්කේ ඒවා අවම කිරීම පමණකි.

කසල වල වැඩිම තර්ජනයක් ඇති කරන්නේ පොලිතීන් මගිනි. ශ්‍රී ලංකාවට වාර්ෂිකව පොලිතින් මෙට්‍රික් ටොන් 500,000 ක් ආනයනය කරන අතර ඉන් 30% පමණ නැවත අපනයන සඳහා භාවිතා වී 70% ක්ම රට තුල ඉතිරි වේ. එය මෙට්‍රික් ටොන් 350,000 ක් පමණ අධික ප්‍රමාණයකි. ඒවායින් 40% පමණ ප්‍රතිචක්‍රීකරණයට ලක් කරණ අතර ඉතිරි 60% ම කසල වශයෙන් බැහැර වේ. එනම් සියළුම ශ්‍රී ලාංකිකයන්ගේ ඇවෑමෙන් මෙට්‍රික් ටොන් 200,000 ක ප්‍රමාණයක් වාර්ෂිකව පරිසරයට මුදා හරින බවයි. මෙහි සැලකිය යුතු ප්‍රමාණක් බත් කොල (lunch sheets) සහ පොලිතීන් උර (shopping bags) වන අතර සමීක්ෂණ වලට අනුව ශ්‍රි ලාංකිකයන් දෛනිකව බත් කොල මිලියන 15ක් ද පොලිතීන් කවර මිලියන 20ක් ද පරිබෝජනය කරන බව පසක් වී ඇත.

ඔබ ඉවතට විසි කරන එක් පොලිතීන් උරයක් දිරි පත් වීමට වසර 500 ත් 1000 ත් අතර කාලයක් වැය වන බව ඔබ දැන සිටියාද? පහතින් දක්වා ඇත්තේ එසේ විවිධ ද්‍රව්‍යයන් දිරාපත් වීමට ගතවන කාලයන්ය.

මේ අනුව ඔබ කොතරම් පරිසරයට දිරාපත් නොවන දේ එක් කරනවාද?

එසේ නම්, කසල බැහැර කිරීම වරදක්ද?

නැත. අප කල යුත්තේ ඒවා නිසි අයුරින් බැහැර කිරීමයි.

පොලිතීන් වලින් සිදුවන හානියට සමානම හානියක් දිරායන කසල මගින් ද සිදු විය හැක.

source : http://www.energy.gov.lk/renewables/research-development/waste-analysis

ඉහත ප්‍රස්තාරයට අනුව ලංකාවේ වැඩිම කසල ප්‍රතීශතයක් ඇත්තේ කාබනික ද්‍රව්‍ය වේ. ඊට වැඩිම දායකත්වයක් දක්වන්නේ ඉවතලන ආහාර ද්‍රව්‍ය වන අතර එය 54% කට වඩා වැඩිය. මැසි-මදුරු උවදුරු හ වසංගත රෝග වලට අතරව  මෙහි ඇති භයානකම ප්‍රතිඵලය වන්නේ මේවා දිරිපත් වීමේදී නිකුත් වන ජීව වායුව නිසා ගෝලීය උණුසුම වැඩි වීමයි. එමගින් ධ්‍රැවාසන්න හිම කඳු දිය වීම, විවිධ සත්ව කොට්ධාශයන් වඳ වී යාම, ඕසෝන් ස්ථරය පළුදු වී පිළිකා ඇති වීම ආදී භයානක ප්‍රතිඵල ගෙන දිය හැක.

මේ සඳහා අපට කලහැක්කේ කුමක්ද?

ශ්‍රී ලාංකිකයන් බොහෝමයක් විදේශ සංස්කෘතීන් උකහා ගැනීමෙහි දක්ෂයන්ය. ඒ අනුව විවිධ සංවර්ධිත රටවල් කසල කළමනාකරණය සඳහා භාවිතා කරන උපක්‍රම අපද අනුකරණය කිරීම වරදක් නොවේ.

දැනට කසල කළමනාකරණයේ හොඳම ක්‍රියාවලිය පවත්වාගෙන යන්නේ ජර්මනියයි. ඔවුන් 65% කට අධික ප්‍රමාණයක් ප්‍රතිචක්‍රීකරණය කරන අතර, භූමිගත කරන්නේ නොගිනිය හැකි තරම් කුඩා ප්‍රමාණයකි.

අපට කලහැක්කේ මොනවාද?

සියලු දේ තනි පුද්ගලයාගේ සිට වෙනස් විය යුතුය. ඔබ පාරේ හෝ තැන තැන කසල දමා යනවා නම්, ඔබ වැනි මිනිසුන් නිසා ජීවිත රැසක් නැති වුණු බව සිහියේ තබා ගන්න.

ඔබට යමක් ඉවතලෑමට අවශ්‍ය නම්, එය තැන තැන විසි නොකර කසල බඳුනකට දමන්න. කසල බඳුනක් නොමැති වීම ඒවා පාරේ විසිකිරීමට නිදහසට කාරණාවක් වන්නේ නැති බව මතක තබා ගන්න. කලයුත්තේ කසල බඳුනක් හමුවන තෙක් ඒවා ලඟ තබා ගැනීමයි. කිසිවක් තැන තැන දමා යන්න එපා. මිනිසුන් ඊට වඩා බුද්ධිමත් ජිවීන් කොට්ඨාශයකි!

නිවසේදී කසල කළමණාකරණය

නිවසේ කසල බැහැර කිරීමේදී කසල වර්ගීකරණය කිරීමට පුරුදු වන්න.

විශේෂයෙන් පොලිතීන් වෙන් කිරීමට තරම් කාරුණික වන්න. ඉවත ලන ආහාර සහ පොලිතීන් ගැනීමට වෙන් වෙන් දිනවල ප්‍රාදේශීය සභාවේ කසල එකතු කරන වාහන සතියට දෙවතාවක් පැමිණෙන බව මතක තබා ගන්න. එසේ නොමැති නම් කාගෙන් හෝ අසා දැන ගන්න. ඒසේත් නැතිනම් ප්‍රාදේශය සභාවේ දුරකථන අංකයට ඇමතුමක් ලබා ගෙන ඒ බව පැමිණිලි කරන්න. නමුත් පාරේ කුණු නොදමන්න.

වීදුරු සහ කඩදාසි මෙන්ම ලෝහමය අපද්‍රව්‍ය ද ලබා ගැනීමට නිතර නිතර පැමිණෙන පිරිස් අප අනන්තවත් දැක ඇති බවට සැකයක් නැත. එසේ නැති වුවද, එවැන්නෙකුගේ දුරකථන අංකයක් සොයා ගැනීම අපහසු කාර්ය්‍යයක් නොවේ.

හැකි තාක් පොලිතීන්/ප්ලාස්ටික් භාවිතය අවම කරන්න.

  • ඒ වෙනුවට රෙදි හෝ පං මල්ලක් භාවිතා කරන්න. එසේත් නැතිනම් බොහෝ කල් භාවිතා කලහැකි ප්ලාස්ටික් මල්ලක් භාවිතා කරන්න.
  • ප්ලාස්ටික් බෝතල් භාවිතය හැකිතාක් අඩු කරන්න. හැකි නම් වීදුරු බෝතල් භාවිතා කරන්න.
  • භාවිතා නොකරන පොලිතීන්/ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණයට ලබා දෙන්න.

අන් අය දැනුවත් කරන්න

කසල කළමනාකරණය ගැන ඔබේ මිතුරන් දැනුවත් කරන්න. යමෙක් වරදක් කරන්නේ නම්, මිත්‍රශීලීව එය පෙන්වා දෙන්න. නිහඬව සිටීමෙන් ඔබ කරන්නේ මුළු මහත් ලෝකයම අනතුරේ දැමීමකි.

ඔබ කසල කළමනාකරණය ගැන උද්යෝගීමත් නම්, වැඩි විස්තර සඳහා http://ewaste.lk/ වෙත හෝ මෙම පිටුවට පිවිසෙන්න.

ශ්‍රී ලංකාව කඳු නිසා සුන්දර වේ. නමුත් කුණු කන්දක් නිසා සිදු වන්නේ හානියක් පමණි. නැවත මෙවන් සිදුවීම් වැලකීමේ හැකියාව ඇත්තේ ඔබටම පමණකි. දේශපාලකයන් ට ඇඟිලි දිගු කරනවා වෙනුවට, අපිම එකතු වී මේ රට නැවතත් ඉන්දියන් සාගරයේ මුතු ඇටය බවට පත් කරමු.

References

About author View all posts Author website

Praneeth Peiris

1 CommentLeave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.