TechWire

Tag - Gboard

Gboard හි Android ආගමනය

Gboard හි මෙම Android ආගමනය සිදුවන්නේ සිය iOS නිකුතුවෙන් මාස හයකට පසුවය. Gboard යනු Google සමාගම විසින් හඳුන්වාදෙන, සිය යතුරුපුවරුවේ සහ සෙවුම් යන්ත්‍රයේ මුහුම් කිරීමකි. Android මෙහෙයුම් පද්ධතියකදී නම් මෙම අයදුම විසින් “Google Keyboard” ලෙස පෙර හැඳින්වුණු දුරකථනයේ සාමාන්‍ය යතුරුපුවරුව ප්‍රතිස්ථාපනය වනු ඇත. එනම් මෙම නව පිම්ම Google Keyboard 5.2 හි සිට Gboard 6.0 දක්වා වෙයි.

iOS වෙත Gboard හඳුන්වාදුන් මූලික විශේෂාංග මෙහිදී ද වෙනස් වී නොමැත. දැන් ඔබේ යතුරු පුවරුවට ඉහළින් කුඩාවට Google ලාංඡනය දිස්වේ. එමගින් ඔබ හට ඕනෑම අයදුමක් භාවිත කරමින් සිටියදීම ක්ෂණික ගූගල් සෙවුමක් කිරීමට පහසුකම සැලසේ. සෙවුම කළ පසු එතැනම ලැබෙන ප්‍රතිඵලයක් සඳහා වන Share බොත්තම මත ටැප් කළ සැණින්, එය ලිවීමේ ප්‍රදේශයට පිටපත් වේ. අයදුමෙන් අයදුමට මාරු වෙමින්, අකුරු පෙළ copy-paste කරමින් විඳීමට සිදුවන දුක් ගැහැට ගැන දන්නා පරිශීලකයින් හට මෙය සුබ ආරංචියක් වනු නොඅනුමානයි. මෙය Google Allo හි සිටිනා Google Assistant ගේ ක්‍රියාවලියට මදක් සමාන වුවද ඕනෑම අයදුමකදී භාවිතා කළහැකි බැවින් මෙය ඊට වඩා නම්‍යශීලී ය.

දැන් Android වෙත ද iOS හි මෙන් emoji සෙවුමක් ඇතුළත්ය. Emoji තේරීමේ බොත්තම ටැප් කිරීමෙන් පසුව එන සුපුරුදු emoji ලැයිස්තුවට ඉහළින් ඔබට දැන් සෙවුම් ප්‍රදේශයක් පවතී. ඔබට අවශ්‍ය අයිකනයට ආශ්‍රිත නමක් එහි ඉංග්‍රීසි අකුරින් ටයිප් කළ පසු අදාළ emoji එක දර්ශනය වනු ඇත. තවදුරටත් ඔබට අවශ්‍ය emoji එක සෙවීමට ටැබ් ගණන් පෙරළීමට වුවනාවක් දැන් නැත.

නව Gboard යතුරුපුවරුවේ GIF සෙවුමක් ද ඇතුළත් වන අතර, චංචල රූපයක් ක්ෂණිකවම ඔබේ ලිවීමේ ප්‍රදේශයට එමගින් පිටපත් කරගත හැක.

බොහෝ කලක පටන් තිබූ ඉල්ලීම් වල ප්‍රතිඵලයක් ලෙස දැන් ඉලක්කම් පේළිය ස්ථාවරව පෙන්වීමේ විකල්පයක් හඳුන්වා දී ඇත. අංකයක් ඇතුල් කිරීමට අවශ්‍ය නම් තවදුරටත් අකුරක් ටැප් කරගෙන සිටීමට හෝ වෙන මෙනුවකට යාමට වුවමනා නැත.

මේවාට අමතරව දැන් එකම යතුරුපුවරුවකින් බහු භාෂා auto-correct පහසුකම අත්විඳීමට ඔබට හැකිය. එනම් ඔබ සාමාන්‍ය English (US) යතුරුපුවරුවට අමතරව සිංහල යතුරුපුවරුව ද Gboard වෙත ඇතුළත් කර ඇත්නම්, ඔබ සිංහලෙන් ටයිප් කරන විට සිදුවන සුළු අතපසුවීම් ස්වයංක්‍රීයවම නිවැරදි විය යුතුය. ඒ කෙසේ වෙතත් සිංහල භාෂාව සම්බන්ධයෙන් මෙම පහසුකම තවමත් මූලික අවධියේ පවතී.

සිංහල යුනිකෝඩ් මගින් ටයිප් කිරීම සඳහා අතිශය බහුතරයකගේ තවමත් තේරීම හෙළකුරු අයදුමයි. එය සැබැවින්ම ඉතාමත් පහසුදායක අත්දැකීමක් වී ඇත්තේ එහි ඇති විජේසේකර යතුරුපුවරුවේ අක්ෂර පිළිවෙල නිසායි. නිතර භාවිතා වන අකුරු පහසු ස්ථානගත කිරීමකට ලක්කර ඇති නිසා වේගයෙන් ලිවීමට විජේසේකර අක්ෂර පිළිවෙල ඉතා වැදගත්ය. නමුත් අවාසනාවකට මෙන් නවතම Gboard හි සිංහල අකුරු පිළිවෙල සකස්වී ඇත්තේ හෝඩියේ අකුරු එන පිළිවෙලට ය. මෙයට හේතුව සිංහල සඳහා නිවැරදි Input Style එකක් Google සතුව තවමත් නොමැති වීමයි. එවන් පුවරුවකින් අකුරු තේරීමට යාම මහා හිසරදයක් වනු ඇත. එනිසා තවමත් ඔබේ සුපුරුදු හෙළකුරු අයදුමට කුඩම්මගේ සැළකිලි දැක්වීමට යාමෙන් වළකින්න, මන්ද තවමත් ඔබේ ගැලවුම්කරු ඔහුයි.

 

කෙසේ වෙතත් ඉංග්‍රීසි අක්ෂර පමණක් බොහෝවිට භාවිත කරන පරිශීලකයින් හට Gboard ඉතාමත් සතුටුදායක අත්දැකීමක් වනු ඇත. වචන සඳහා ලැබෙන යෝජනා පෙරදී ට වඩා සන්දර්භය සමග ගැලපෙන ඒවා වන අතර, Google සමාගම විසින් මෙම යතුරුපුවරුවට ද ස්වයං-ඉගෙනුම් තාක්ෂණය හැඩගස්වා ඇත. Android පරිශීලකයින්ගේ එදිනෙදා ජීවිතය පහසු කරලීමේ තවත් උපාංගයක් මෙසේ ඔබ වෙත ඉදිරිපත් වන අතර එහි අඩු ලුහුඬුකම් වාර්තා කිරීමට ඔබට Google Play Store හි Reviews පහසුකම ඔබට භාවිත කළ හැක.