TechWire

වතුර යට සෙල්ෆි ගැහුවට කවදාවත් මේ දේවල් ගැන හිතුවද ?

කට්ටියත් එක්ක කොහේ හරි නාන්න ගියාම වතුර යට සෙල්ෆියක් ගැහුවේ නැත්තම් හරියට නෑවේ නෑ වගේ නේද? ඔව්, GoPro කැමරා ලෝකේ වටේම තොග පිටින් විකිණෙන්න ගත්තේ මේ සෙල්ලම හින්දම තමයි. මේ විදිහට වතුර යට සෙල්ෆි ගහලා social media වල upload කරන එක සෙල්ලමක් වුණා. ඇයි මේ වැඩේ මෙච්චර ජනප‍්‍රිය වුණේ? ඇත්තෙන්ම ගත්තොත් අපි මේ වතුර යට සෙල්ෆි ගහන්න මෙච්චර ආස එ් දර්ශන අපිට දකින්න අමාරු නිසයි. හරියටම කියනවා නම් දකින්න අමාරුයි නෙවෙයි දකින්න බැහැ. එ් ඇයි කියනවා නම් අපිට වතුර යටදි පැහැදිලිව රූප පේන්නේ නැහැ. බොහෝ දෙනෙක් එ්ක දන්නෙත් නැහැ. සමහර අය හිතං ඉන්නේ වතුර යටදී හොඳට පේනවා කියලයි. හැබැයි ඇත්ත කතාව ඊට වඩා වෙනස්. එහෙනම් අපි බලමු වතුර යට පෙනීම ගැන ඔබ කවදාවත් නොහිතපු එ් දේවල් මොනවද කියලා.

වතුර යටදී පේන්නේ නැහැ කියන්නෙ ඇයි?

වතුර යටදි රූප පේනවා කියන අයට මෙහෙම කියන්නම්. වතුර යටදි සාමාන්‍ය මිනිස් ඇසින් පැහැදිලි රූප දැක ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එහෙම බලන්න නම් අපිට කිමිදුම් කණ්නාඩි එහෙමත් නැත්නම් goggles පාවිච්චි කරන්න වෙනවා. ඇසට ඉතා ආසන්නව තියන රූප නම් අපිට යම්තාක් දුරට පැහැදිලිව දකින්න පුළුවන්. එ්ත් අත දිග මානය හරි, ඊටත් වඩා දුරින් තියන හරි රූපයක් නම් අඳුරගන්නත් අපහසු තරම් බොඳවෙනවා. මෙහෙම වෙන්නෙ ඇයි කියලා දැන් හොයලා බලමු. මේකට බලපාන්නේ අපි පාසල් යන කාලේ ඉගෙන ගනිපු ආලෝක වර්ථනය කියන සිද්ධිය. අපි දන්නවා ආලෝක කිරණ මාධ්‍යක ඉඳන් තවත් මාධ්‍යකට යනකොට හැරීමකට ලක්වෙනවා. එ් විදිහට කොච්චර හැරීමකට ලක් වෙනවද කියලා තීරණේ වෙන්නේ ගමන් කරන මාධ්‍ය අනූව තමයි. නොදන්න අයට දැනගන්නත් එක්කම කියනවා නම් මේ පහතින් තියෙන්නේ මිනිස් ඇසේ ව්‍යුහයක්. ආලොක කිරණයක් ඇසට ඇතුල් වෙලා දෘෂ්ඨිවිතානය කියන ප‍්‍රදේශය මතට එය නාභිගත (focus) වුනොත් තමයි රූපය පැහැදිලිව දකින්න පුළුවන් වෙන්නේ.

underwater-1

වාතය සහ ජලය කියන මාධ්‍යන් දෙක අතරින් ආලොක කිරණයක් ගමන් කරද්දී එහි හැරීම නැතිනම් වර්තනය ගොඩාක්ම වැඩියි. හැබැයි ද්‍රව දෙකක් අතරින් යද්දි තියෙන්නෙ පොඩි හැරීමක් විතරයි. අපි සමානයෙන් ඉන්න කොට රූප දකින්නෙ වාතය-ද්‍රව මාධ්‍යක. ද්‍රවය තියෙන්නෙ ඇස ඇතුලේ. ඉතිං ආලෝක කිරණයක් ඇසට ඇතුල් වෙන්නෙම ලොකු හැරීමක් එක්ක. එ් නිසා විසිරිලා යන ආලෝක කිරණ දෘෂ්ඨිවිතානයට නාභිගත කරගන්න කාචයට එතරම් අමාරු නැහැ. හැබැයි අපි වතුර යට ඉන්නකොට ඇතිවෙන්නේ ද්‍රව-ද්‍රව මාධ්‍යන් අතර ආලොක වර්ථනයක්. එ් නිසා ඈතින් එන විසිරුණු ආලෝක කිරණ දෘෂ්ඨිවිතානය මතට නාභිගත කරන්න කාචටය නොහැකි වෙනවා. ඉතිං පැහැදිලි රූප වතුරෙදි දැක ගන්න අපට බැහැ. මොකද සමාන්‍ය මිනිස් ඇසක තියන කාචය සීරු මාරු කරන්න (adjust කරන්න) පුළුවන් සීමාව අඩුයි. ඒ නිසා අපිට goggles පාවිච්චි කරලා වාතය-ද්‍රව මාධ්‍යයන් දෙකක් සාදා ගන්නම වෙනවා.

එහෙනම් කොහොමද මාලූවො, කැස්බෑවො වගේ ජලජ ජීවීන් වතුරෙදි දකින්නේ?

මේ වගේ ජලජ ජීවීන්ගේ ඇසේ පිහිටීම වෙනස්. එ් අයගෙ අක්ෂි කාචයේ හැඩය ගෝලයකට ඉතා ආසන්නයි. වක‍්‍රතාව ගොඩක්ම වැඩියි. එ් නිසා ආලෝක කිරණ හැරවීමේ හැකියාව මිනිස් ඇසකට වඩා බෙහෙවින් වැඩියි. විසිරිලා එන ආලෝක කිරණ එකතු කරගන්න එ්වාට හැකියාව තියන නිසා එම සතුන්ට කිසිම බාධාවකින් තොරව වතුර යටදී රූප පැහැදිලිව දැකගන්න පුළුවන්.

එ්ත් සමහර අයට පේනවාලූ නේද?

ඔව්, යම් විශේෂ අවස්ථාවලදී වතුර යට පැහැදිලිව රූප දැකීමේ හැකියාවක් තියනවා කිසිඳු උපකරණයක් භාවිත නොකර වුනත්. කුඩා දරුවෙකුට මෙම හැකියාව තියනවා. මොකද කියනවා නම් පුංචි දරුවෙකුගේ අකෂි ගෝලය වගේම අක්ෂි කාචයත් බෙහෙවින් ගෝලාකාරයි. එ් නිසා කලින් කිව්ව විදිහටම මේ ගෝලාකාර බවින් වැඩි අක්ෂි කාචයට වතුර යටදි වුණත් පැහැදිලිව දැක ගන්න පුළුවන්. හැබැයි වසසින් වැඩෙන කොට අක්ෂි ගෝලයේ හැඩය වෙනස් වෙන නිසා වැඩුණු පුද්ගලයෙකුට එ් විදිහට දැකීමක් ලබා ගන්න බැහැ. නමුත් ඔබ දන්නවාද මේ විදිහට වතුර යටදී පැහැදිලි පෙනීමක් ඇති වැඩුනු දරුවන්ද සිටිනවා.

underwater-4

තායිලන්තය, බුරුමය ආශ‍්‍රිත දූපත් ගණනාවක් තිබෙනවා මෝකෙන් කියලා හඳුන්වන. මේ දූපත්වාසීන් ජීවත් වෙන්නේ මුහුදත් සමඟ. ඹුහුදු ආහාර සොයා මුහුදේ කිමිදෙමින් දඩයමේ යෑම මේ අයගෙ ජීවන රටාවක්. ඉතිං මේ දූපතේ වෙසෙන දරුවන් කුඩා කල සිටම කිමිදෙමින් ආහාර වර්ග සොයා ගන්නවා. මේ අයගේ මේ ජීවන රටාව නිසාම එයාලාගේ අක්ෂි කාචය අසාමාන්‍ය ප‍්‍රමාණයකින් වක‍්‍රාකාර කර මුහුදු පතුලේදීත් සියුම් සිප්පි කටු පවා පැහැදිලිව වෙන්කර හඳුනාගැනීමට හැකියාවක් ලැබී තිබෙනවා. ඇතැම් දෘෂ්ඨි දොෂ සහිත පුද්ගලයන්ටත් (දුර පෙනීම හෝ ළඟ පෙනීම දුර්වල) වතුර යටදි සාමාන්‍ය කෙනෙක්ට වඩා හොඳින් රූප දැකගැනීමට ඇතැම් අවස්ථාවලදි හැකියාවක් තිබෙනවා. ඒත් ඒක ඉහත කියපු අයගේ දිය යට පෙනීම තරම් සාර්ථක නම් නැහැ.

underwater-6

 

About author View all posts

Dhanushka Sanjaya

4 CommentsLeave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *