TechWire

ඵලදායී ලෙස තොරතුරු සෙවීමට Google හි ඇති සැඟවුණු උපක්‍රම 10ක්

අන්තර්ජාලය කියන්නේ විශ්වීය දැනුම් සම්භාරයක් කිව්වොත් නිවැරදියි. අපිට අවශ්‍ය ඕනෑම දෙයක් පිලිබඳව තොරතුරු අන්තර්ජාලය තුළින් සොයා ගන්නට අද අපිට පුළුවන්. තාක්ෂණයේ දියුණුවත් අධිවේගී අන්තර්ජාල සබඳතා නිසාත් ඕනෑම තොරතුරක් සොයා ගැනීමට අපිට ගත වන්නේ තප්පර කිහිපයක් වැනි සුළු කාලයක්.

අන්තර්ජාලයේ ඇති තොරතුරු සොයා ගැනීමට අපිට උපකාරී වෙන්නේ සෙවුම් යන්ත්‍ර හෙවත් search engines. විවිධ සෙවුම් යන්ත්‍ර අතරින් Google කියන්නේ අද අපි හැමෝම භාවිතා කරන සෙවුම් යන්ත්‍රයක්. Google කොච්චර ජනප්‍රිය ද කියනවා නම් Internet search කරනවා කියනවා වෙනුවට Google කරනවා කියලත් අපි කියන්න පුරුදු වෙලා ඉන්නවා.

කලිනුත් මම සඳහන් කළා වගේ අන්තර්ජාලය කියන්නේ තොරතුරු රාශියක එකතුවක්. එත් සමහර වෙලාවට අපිට හරියටම අවශ්‍ය දේ සොයා ගන්න අපිට ටික වෙලාවක් ගත වෙනවා. අන්තර්ජාලයේ ඒ පිලිබඳ තොරතුරු ඕනෑ තරම් තිබුනත් අපි search කරන ආකාරය අනුව ඒ සඳහා වැයවෙන කාලය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අද මම කියන්න යන්නේ Google search engine එක මගින් අපිට අවශ්‍ය තොරතුරු ඉක්මනින් සහ වඩාත් ඵලදායි විදිහට සොයා ගන්න භාවිතා කරන්න පුළුවන් උපක්‍රම කිහිපයක් ගැන.

1. සෙවුම් වැකි තුළ or භාවිතා කිරීම

සමහර අවස්ථා වලදී search කිරීමට අවශ්‍ය දේ අපිට හරියටම මතක නැති වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපිට නමක කොටසක් පමණක් මතක තියෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථා වලදී මතකයේ තිබෙන නමේ කොටස type කරලා අපි අනුමාන කරන නම් or වැකියෙන් වෙන් කරලා search කරන්න අපිට පුළුවන්. එහෙමත් නැතිනම් or වෙනුවට අපිට “|” ලකුණ භාවිතා කරන්නත් පුළුවන්. එමගින් ලැබෙන ප්‍රතිඵල වලින් අපිට සොයා ගන්නට අවශ්‍ය වුන දේ තෝරා බේරා ගන්නට අපිට පුළුවන්.

2. සමාන වචන සඳහා search කිරීම

කිසියම් වැකියකට හෝ වචනයකට සීමා නොවී කිසියම් විෂය ප්‍රදේශයක් පිළිබඳව පුළුල්ව තොරතුරු සෙවීමට අවශ්‍ය නම් ඔබට මේ ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. මේ සඳහා කළ යුත්තේ ඔබ තොරතුරු සෙවීමට බලාපොරොත්තු වන විෂය ක්ෂේත්‍රයට අදාළ වචනය ඉදිරියෙන් “~” ලකුණ භාවිතා කිරීමයි. මෙයින් අදහස් වන්නේ අදාළ වචනය හා සම්බන්ධ තොරතුරු සියල්ල අපට අවශ්‍ය බවයි.

උදාහරණයක් විදිහට අපි healthy ~food ලෙස search කළොත් නිවැරදි ආහාර රටාවන්, පෝෂදායී ආහාර වර්ග වගේ ඒ හා සම්බන්ධ ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්.

3. වෙබ් අඩවියක් තුල අන්තර්ගත තොරතුරු සෙවීම

අන්තර්ජාලය තුළ නිතර සැරිසරන අපිට විවිධ වෙබ් අඩවි වල ඇතුළත් වැදගත් වගේම රසවත් තොරතුරු හෝ ලිපි බොහෝ අවස්ථා වලදී දකින්නට ලැබෙනවා. පසු අවස්ථාවකදී අපිට එම ලිපිය හෝ තොරතුරු මිතුරන් අතරේ බෙදා හදා ගැනීමට අවශ්‍ය වෙන්න පුළුවන්. එසේත් නැතිනම් නැවතත් එය කියවා බලන්නට සිතෙන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී ඔබ කළ යුත්තේ පළමුව වෙබ් අඩවියේ ලිපිනය type කරලා අනතුරුව අදාළ ලිපියේ ඔබට මතක වැකියක් හෝ වචන කිහිපයක් type කරලා search කිරීමයි. එවිට ඔබට අවශ්‍ය ප්‍රතිඵලය වඩාත් ඉක්මනින් සොයා ගැනීමට ඔබට හැකි වේවි.

4. “*” ලකුණ සෙවීම් සඳහා භාවිතා කිරීම

අපිට search කිරීමට අවශ්‍ය වැකියක වචනයක් හෝ කොටසක් අමතක වුනොත් අපිට මේ ක්‍රමය අත්හදා බලන්න පුළුවන්. මේකෙදි ඔයාට කරන්න තියෙන්නේ වැකියේ මුල් වචන කිහිපය type කරලා ඔයාට අමතක වචනය හෝ වචන කිහිපය වෙනුවට “*” ලකුණ යොදා search කිරීමයි.

5. වචන කිහිපයක් අමතක වූ අවස්ථාවකදී වාක්‍යයක් සොයා ගැනීම

බොහෝ අවස්ථා වලදී අපි කිසියම් ප්‍රසිද්ධ පුද්ගලයෙක් ප්‍රකාශයට පත් කළ දෙයක් හෝ කිසියම් පොතක තිබූ වැකියක් හෝ අපගේ සටහන් වලදී උපුටා දැක්වීමක් ලෙස සඳහන් කරනවා. එහෙම අවස්ථා වලදී එම වැකිය නිවැරදිව සඳහන් කළ යුතුයි. එත් සමහර විට එවැනි වැකි වල වචන කිහිපයක් පමණක් අපිට මතක තියෙන්න පුළුවන්. එවිට සම්පුර්ණ වාක්‍යය සොයා ගන්නට පහත ක්‍රමය අපිට භාවිතා කරන්න පුළුවන්. මෙහිදී කරන්න ඕනේ ඔයාලට මතක වචන ටික type කරලා අමතක වචන තියෙන්න ඕනේ තැනින් AROUND() කියලා type කරලා අමතක වචන ගණන ආසන්න වශයෙන් වරහන් තුළ type කරලා search කරන එකයි.

6. කාල සීමාවක් ඇතුළත search කිරීම

සමහර අවස්ථාවන් වලදී අපිට කිසියම් කාලසීමාවක් තුළ සිදු වූ දේවල් පිළිබඳව තොරතුරු සොයා ගන්නට අවශ්‍ය වෙනවා. උදාහරණයක් විදිහට අපිට වර්ෂ 1900 සිට 2000 දක්වා කාලය තුළ සිදු වූ විද්‍යාත්මක සොයා ගැනීම් මොනවද කියලා බලාගන්න ඕනේ නම් scientific discoveries 1900…2000 විදිහට type කරලා search කරන්න පුළුවන්. මෙහිදී සෙවීමට අවශ්‍ය කාල සීමාව අතරේ තිත් තුනක් පමණක් සටහන් කිරීම වැදගත් වෙනවා.

7. Title එකක් ලෙස හෝ URL එකක් ලෙස ඇති තොරතුරු සෙවීම

ඔයාලට කිසියම් මාතෘකාවක් යටතේ ලියවුන article එකක් හොයා ගන්න අවශ්‍ය වුණා කියලා හිතන්න. ඒ වගේ අවස්ථාවකදී ඔයාලට මේ tip එක භාවිතා කරන්න පුළුවන්. ඔයාලට කරන්න තියෙන්නේ අවශ්‍ය මාතෘකාව intitle: කියන keyword එක ඉදිරියෙන් space එකක් තියන්නේ නැතුව type කරලා search කරන එකයි. ඒ වගේම තමයි URL එකක ඔයාලට අවශ්‍ය දේ අඩංගු වෙලා තියෙනවද කියලා බලාගන්න ඕනේ නම් inurl: කියන keyword එක ඉදිරියෙන් ඔයාලට සොයා ගන්න අවශ්‍ය දේ space එකක් තියන්නේ නැතුව type කරලා search කරන්නත් පුළුවන්.


8. එකම වර්ගයේ වෙබ් අඩවි සොයා ගැනීම

අන්තර්ජාලයේ තියෙන වෙබ් අඩවි ඒවායේ අන්තර්ගතය අනුව විවිධ වර්ග වලට වෙන් කරන්න අපිට පුළුවන්. උදාහරණයක් විදිහට කියනවා නම් www.coca-cola.com, www.pepsico .com වගේ වෙබ් අඩවි බීම වර්ග පිළිබඳව ප්‍රචාරණය කරන අතරේ www.nike.com, www.adidas.com වගේ වෙබ් අඩවි පාවහන් පිළිබඳව ප්‍රචාරණය කරනවා. ඉතින් අපිට අවශ්‍ය නම් www.nike.com වගේ පාවහන් වර්ග නිෂ්පාදනය කරන තවත් සමාගමක වෙබ් අඩවියක් සොයා ගන්න අපිට කරන්න තියෙන්නේ related:www.nike.com විදිහට Google search කරන එකයි. එතකොට www.nike.com හා සමාන පාවහන් නිෂ්පාදනය කරන සමාගම් වල වෙබ් අඩවි අපිට බලාගන්න පුළුවන්.

9. වාක්‍ය ඛණ්ඩ ලෙස search කිරීම

ඔයාලට සිංදුවක lyrics හොයා ගන්න අවශ්‍ය වෙලාවක භාවිතා කරන්න පුළුවන් tip එකක් තමයි මේ. සිංදුවක එක පේලියක් විතරක් මතක අවස්ථාවකදී ඒ සිංදුව මොකක්ද කියලා හොයා ගන්න ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලට මතක පේලිය quotation marks ඇතුලේ type කරලා search කරන එකයි. Quotation marks යෙදීමෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ වාක්‍යයේ වචන ඒ අනුපිලිවෙලින්ම තියෙන්න ඕනේ කියන එකයි. අපි quotation marks නැතුව ඒ වචන පේළියම search කළොත් ඒ වචන ඕනෑම තැනක යෙදිලා තියෙන ප්‍රතිඵල අපිට Google වලින් පෙන්නනවා. ඒ නිසා වාක්‍යයක වචන පිලිවෙලින්ම සොයා ගන්නට අවශ්‍ය නම් quotation marks භාවිතා කරන්නට අපිට පුළුවන්.

10. අනවශ්‍ය ප්‍රතිඵල ඉවත් කිරීම

අපි අන්තර්ජාලයේ කිසියම් දෙයක් search කරන විට අපි බලාපොරොත්තු වෙන තොරතුරු වගේම අදාළ නොවන තොරතුරුත් ප්‍රතිඵල ලැයිස්තුවේ ඇතුළත් වෙන්න පුළුවන්. අපිට අනවශ්‍ය තොරතුරු ප්‍රතිඵල ලැයිස්තුවේ ඇතුලත් නොවන ආකාරයට search කරන්න මේ ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. උදාහරණයකින් පැහැදිලි කරනවා නම් ඔබට හොඳ පොතක් පිළිබඳව සෙවීමට අවශ්‍ය නමුත් පොතක් මිලදී ගැනීමට බලාපොරොත්තු වෙන්නේ නැතිනම් “interesting books -buy” ලෙස search කරන්න පුළුවන්. එවිට සඳහා පොත් මිලදී ගැනීම පිලිබඳ තොරතුරු ඔබගේ ප්‍රතිඵල වල ඇතුලත් වෙන්නේ නැහැ.

ඔයාලා ගොඩක් දෙනෙක් නිතරම Google භාවිතා කළත් ඉහත කරුණු ගැන දැනගෙන ඉන්න නැතුව ඇති. ඉදිරියේදී Google භාවිතා කරද්දී මේ tips භාවිතා කරලා ඔයාලගේ search එක වඩාත් ප්‍රතිඵලදායී විදිහට කරගන්න දැන් ඔයාලටත් පුළුවන්.

      

About author View all posts

Anjalee Abeysekera

3 CommentsLeave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.