TechWire

හිරු එලිය අල්ලන Tesla උළු කැට

වර්තමානය යනු  බලශක්ති අර්බුදය මිනිසාට තදින්ම දැනී ඇති කාල වකවානුවකි. බලශක්ති ප්‍රභවයන් හීන වීමත් සමඟ විකල්ප සෙවීමට බොහෝ දෙනා පර්යේෂණ අරඹා ඇති අතර එසේ සාර්ථක වී ඇති එක් විකල්ප ක්‍රමයක් ලෙස සුර්ය බලශක්ති භාවිතය පෙන්වා දිය  හැක. කෙසේ වුවද මෙම ක්‍රමය යම් යම් කරුණු කාරණා ගණනාවක්‌ නිසාවෙන් සාමාන්‍ය ජනයා අතර ප්‍රචලිත වීමේ වේගයේ යම් අඩුවක් ඇති බව අප සැවොම දන්නා කරුණකි.

මෙකී අඩුපාඩු බොහොමයක් මඟ හරවා ගනිමින් සුර්ය බලශක්තිය කාර්යක්ෂම ලෙස උකහා ගත හැකි හා භාවිතයට ගත හැකි ක්‍රමයක් Tesla සමාගම විසින් හඳුන්වා දී ඇත. මෙම සමාගම සම්පූර්ණයෙන්ම ස්වයං පාලනයක් සහිත විදුලි මෝටර් රථ නිෂ්පාදනය කිරීම වෙනුවෙන් ලොව ප්‍රචලිත වී ඇති සමාගමකි. ඔවුන් විසින්  සුර්ය කෝෂ වලින් බලගැන්වුණු නිවාස වල වහලයන් දැන් ලොවට හදුන්වා දී ඇත. මෙම නිෂ්පාදනය සුර්ය කෝෂ ඇතුලත් කල වහලේ සෙවිලි කල හැකි සම්ප්‍රදායික  උළු කැට ආකාරයෙන්  නිපදවා  ඇත.

 

මෙම නිර්මාණයේ  ඇති ප්‍රධාන ගුණාංග නම්,

 

සුර්ය ශක්තිය උකහා ගැනීමේ කාර්යක්ෂම බව

මෙම සුර්ය කෝෂ සහිත උළු වලට ඇත්තේ සම්ප්‍රදායික උළු කැටයක නිමාව වන අතර එහි හැඩය හා වර්ණය නිසා මෙහි සුර්ය ශක්තිය උකහා ගැනීමේ කාර්යක්ෂමතාවයට කිසිඳු හානියක් නොවීමට Tesla සමාගම වග බලා ගෙන ඇති අතර මෙහි කාර්යක්ෂමතාවයද බොහොම ඉහල මට්ටමක ඇති බව එම සමාගම සඳහන් කර ඇත.

විවිධ හැඩයන්ගෙන් හා වර්ණයන්ගෙන් ලබා ගත හැකි වීම

මෙම සුර්ය වහලයන් වර්ග 4කින් ලබා ගත හැකි අතර ඒවා නම් ,

  • සුමට වීදුරු උළු ආකාරය (Smooth glass style)
  • ප්‍රංශ පාෂාණ පතුරු හැඩති වීදුරු උළු ආකාරය (French slate glass style)
  • Tuscan වීදුරු උළු ආකාරය (Tuscan glass style)
  • වියමනක් සහිත වීදුරු උළු ආකාරය  (Textured glass style)

ශක්තිමත්භාවය

මෙම වීදුරු උළු නිපදවා ඇත්තේ පදම් කල වීදුරු (Tempered glass) වලින් වන අතර මෙයට සාමාන්‍ය උළු කැටයකට මෙන් තුන් ගුණයක ශක්තියක් ඇති බව Tesla සමාගම පවසයි.මෙම ශක්තිය මෙයට ලැබෙන්නේ පදම් කල වීදුරු(Tempered glass) මගින් මෙය නිපදවා ඇති නිසාවෙනි. එමෙන්ම මෙය සනාථ කිරීමට ඔවුන්ගේ මෙම නිෂ්පාදනය සඳහා නිවසේ ආයු කාලයට සමාන වගකීමක් ලබා දීමට ඔවුන් කටයුතු යොදා ඇත.

විදුලිය ගබඩා කල හැකි කෝෂයකින් යුක්ත වීම

සුර්ය කිරණ ලබාගත නොහැකි අවස්ථාවල විදුලිය ඇනහිටිමකින් තොරව ලබා ගැනීම සඳහා මෙම කෝෂය වැදගත් වේ.

අලංකාර නිමාව

පාරිභෝගිකයන් හට විවිධ මොස්තරයන්ගෙන් යුතු උළු වර්ග 4කින් තමන් කැමති තෝරාගැනීමක් කල හැකිය. එමෙන්ම මෙහි අන්තර්ගත සුර්ය කෝෂය පිටතට නොපෙනෙයි. මෙය සාමාන්‍ය සුර්ය කෝෂ පද්ධතියක් මෙන් වහලයට අසාමාන්‍යභාවයක් ගෙන නොදෙන අතර අවසානයේ නෙත්කළු නවීන පන්නයේ නිමාවක් නිවසට  ගෙන දෙයි.

විවිධ කාලගුණයන්ට ඔරොත්තු දීමේ හැකියාව

ගින්දර, හිම, සුළඟ ආදී විවිධ කාලගුණ විපර්යාස වලට හොඳින් ඔරොත්තු දීමේ හැකියාවක් මෙම නිෂ්පාදනයට ඇත.

මෙහි මිල ගනන් නම් සාමාන්‍ය වහලයකට මිලට වඩා වැඩි වන අතර එය වර්ග අඩියකට ඩොලර් 22ක් පමණ අගයක් ගනී.  Elon Musk (Tesla  සමාගමේ ප්‍රධාන  විධායක නිලධාරි) පවසන පරිදි අවුරුදු 30ක් ගත වන විට මෙමඟින් ලැබෙන ලාභය මෙයට වියදම් කල  මුදලට වඩා වැඩි අගයක් ගන්නවා ඇත.මෙය තවත් වාසියක් වන අතර මේ වන විට මෙම නිෂ්පාදනය පෙර ඇණවුම් සඳහා එලි දක්වා ඇත.එසේ ඇණවුම් කල නිෂ්පාදන මේ වර්ෂයේ අවසානයේ පාරිභෝගිකයන් හට ලබා දීමට ඔවුන් කටයුතු කරන බව Tesla සමාගම පවසයි.

About author View all posts

Chamath Rathnayake

Leave a Reply

Your email address will not be published. Required fields are marked *