TechWire

Tag - VEGA

VEGA – ලෝකය ජය ගැනීමට ශ්‍රී ලංකාවෙන් බිහිවන සුපිරි මෝටර් රථය

මේ වන විට ලංකාවේ බොහෝ දෙනා අතර කතාබහ වන මාතෘකාවක් වන්නේ ශ්‍රී ලංකාවෙන් නිපදවන සුපිරි මෝටර් රථය පිළිබදවයි. සුපිරි මෝටර් රථ ගැන කථා කරන විට අපි හැමෝටම වගේ සිහියට එන්නේ ඉතාලියේ , ජර්මනියේ වැනි රටවල නිපදවන  Lamborghini, Ferrari වැනි අධි බලැති සුපිරි මෝටර් රථයන්ය. නමුත් ඒ වගේම එම රථ වලට නොදෙවෙනි ආකාරයෙන් ශ්‍රී ලංකාවේද මේ වන විට මෙරට ප්‍රථම සුපිරි මෝටර් රථය නිපදවමින් පවතිනවා. මෙම සුපිරි මෝටර් රථය නමින් “VEGA” නම් වන අතර මෙය අප රටේ ඉංජිනේරුවන්ගේ වැඩක්.

මෙම සුපිරි නිර්මාණයේ පසුපස කතාව ගැන කතා කරන විට, මෙම සුපිරි මෝටර් රථය පිළිබද සංකල්පය නැතහොත් එම අදහස ගෙන එන්නේ CODEGEN හි ප්‍රධාන විධායක නිලධාරී වන ආචාර්ය හර්ෂ සුභසිංහ මහතායි .  එසේම ආචාර්ය හර්ෂ සුභසිංහ මහතාට මෙම සංකල්පය ක්‍රියාවට නංවන්න එකතු වන පුද්ගලයා වන්නේ ආචාර්ය බේශාන් කුලාපල මහතායි. ඔහු ඇමෙරිකාවේ Arizona State University තුලදී ආචාර්ය උපාධිය අවසන් කර ඇති අතර මෝටර් රථ ප්‍රතිස්ථාපනය කිරීම පිලිබඳ ඇති දැනුම නිසාම ආචාර්ය හර්ෂ සුභසිංහ මහතාට මෙම සුපිරි  සංකල්පය ක්‍රියාවට නංවන බලාපොරොත්තුව ඉෂ්ට වුන බව කිවොත් මා නිවැරදියි. එසේම ආචාර්ය බේශාන් කුලාපල මහතා මෙම VEGA ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමනාකරු ලෙස ක්‍රියා කරයි. එසේම මොවුන් මේ ව්‍යාපෘතිය සදහා දායක කරගෙන ඇති සියළු දෙනා අප රටේ එනම් ශ්‍රී ලංකාවේ මිනිස් සම්පත්ය. එනම් පිටරටවල් වලදී උසස් අධ්‍යාපනය ලබාගත් ශ්‍රී ලාංකිකයන් කිහිපදෙනෙක් වගේම ලංකාවේ විශ්වවිද්‍යාල වලින් බිහි වූ උපාධිධාරීන් මේ සදහා යොදවා ගැනීම සුවිශේෂ කරුණක්ය. මෙම VEGA ව්‍යාපෘතිය ආරම්භ වන විටම විශාල ගැටළු කිහිපයකටම මුහුණ දීමට සිදුවී තිබේ. නමුත් ඒවාට මුහුණ දී ආරම්භ කර ඇති VEGA සුපිරි මෝටර් රථය නිපදවීමේ ව්‍යාපෘතිය  ප්‍රධාන අරමුණ 3ක් මුල් කරගෙන ආරම්භ කොට ඇත.

ඒවා නම්

  • තප්පර 4 කදී 100 Kmph වේගයක් ලබාගැනීම.
  • පැයට කිලෝමීටර 240 ක උපරිම වේගයක් ලබාගැනීම.
  • බැටරිය චාර්ජ් කල පසු 240 Km දුරක් ධාවනය කිරීමට හැකි වීම වේ

VEGA

VEGA ගැන කතා කරන විට , මෙම ව්‍යාපෘතියේ තවත් අවශ්‍යතාවයක් වන්නේ විවිධ රැකියා ක්ෂේත්‍ර ආවරණය වන පරිදි මෙම ව්‍යාපෘතිය සිදු කිරීමයි. ඒ සදහා ඔවුන් Material Engineering, Mechanical Engineering , Electrical and Electronic Engineering, Software Engineering වැනි රැකියා ක්ෂේත්‍ර වල ප්‍රවීනයන් මේ සදහා යොදවාගෙන ඇත. VEGA හි ආකෘතිය ගැන කතා කරන විට මෙහි මුලික සැකැස්ම සදහා Carbon Fiber නම් අමුද්‍රව්‍ය යොදාගෙන ඇති අතර එහි මෙය ආසන දෙකකින් සමන්විත සැකැස්ම sleek aerodynamic පෙනුමකින් යුක්ත වේ. electric motor දෙකකින් සමන්විත වන මෙහි බර 1600Kg කි. මෙහි ඇති electric motor දෙකේ සම්පුර්ණ බලය අශ්ව බල 900 කට වඩා වැඩිය.එසේම Gear box දෙකක් භාවිතා කොට මෙම electric motors දෙක වෙන වෙනම පිටුපස සවී කොට ඇත. එසේම මෙහි සුපිරි ගණයේ තිරිංග පද්ධතියක් සහ suspension පද්ධතියක් සවි කර ඇත. එසේම මෙහි උපරිම වේගය පැයට කිලෝමීටර් 240 ක වේගයක් ඇති අතර තත්පර 4කටත් වඩා අඩු කාලයකින් නිශ්චලව සිට පැයට කිලෝමීටර් හැටක (0-60kmph ) වේගයක් අත් කරගත හැක.

Digital Differential

අපි සාමාන්‍යයෙන් භාවිතා කරන සැම වාහනයකටම Differential එකක් තිබේ. මෙමගින් වාහනය වංගුවක් ගන්නා විට රෝද දෙකට බලය අවශ්‍ය අනුපාතයට බෙදා දීම සිදුවේ. නමුත් මෙම VEGA නම් සුපිරි මෝටර් රථයේ පිටුපස රෝද දෙකට electric motors දෙකක් වෙන වෙනම සවි කොට ඇති අතර ඒවා වෙන වෙනම පාලනය කිරීමට හැකියාවක් තිබෙන නිසා මොවුන් විසින් ඒ සදහා Digital Differential යක් සාදා ඇත. එය භාවිතා කිරීමෙන් සුක්කානම හරවා ඇති කෝණය හඳුනා ගෙන සහ රියදුරා හට අත් කර ගැනීමට අවශ්‍ය වේග සීමාව හදුනාගෙන රෝද දෙකට නිසි පරිදි බලය බෙදාහැරීමට හැකියාව ඇත. මෙය භාවිතා කිරීමෙන් ඇති වාසි වන්නේ මෙය Digital system එකක් වන නිසා මෙහි නිවැරදිභාවය mechanical system එකකට වඩා වැඩි වන අතර මෙය ඉතා වේගයෙන් ක්‍රියාත්මක වේ. එම නිසාම මෙම සුපිරි රථයේ ස්ථායිතාව සහ මාර්ගයේ රදවා තබා ගැනීමේ හැකියාව වැඩි නිසා මෙම රථයට වැඩි වේගයකින් ගමන් කල හැකි අතර ආරක්ෂාකාරීව වංගු ගැනීමේ හැකියාව තිබේ.

Battery Pack

මෙහි ඇති electric motors දෙක සහ බැටරි cells පිටරටින් ගෙන්වා ඇත. එසේම මෙම electric motors දෙකට අවශ්‍ය විදුලි බලය සැපයෙන්නේ 3.3v Lithium ferro phosphate cells 600කිනි (LiFePO4 cells). සාමාන්‍යයෙන් භාවිතා වන smart phones සහ laptops වල තිබෙන්නේ LiCoO2 වන  නමුත් මේ LiFePO4 වල chemical stability එක ඉතා වැඩි නිසා දිගු කාලයක් පුරාවට ආරක්ෂාකාරීව විදුලි බලය සැපයීමේ  හැකියාවක් මේවාට ඇත. මෙහි බැටරි ඇසුරුම් (Battery Pack) 12ක් ඇති අතර එක බැටරි ඇසුරුමක cells 50ක් බැගින් ඇත. මේවා භාවිතා කිරීමේදී සාමාන්‍යයෙන් උෂ්ණත්වය වැඩි වේ. එම නිසා මේවාහි කාර්යක්ෂමතාවය අඩු වේ. එම නිසා එය පාලනය කිරීමට මෙහි Glycol Cooling System එකක්ද යොදාගෙන තිබේ

Digital Battery Monitoring System

. එසේම මේ සදහා Digital Battery Monitoring System එකක් භාවිතා කර ඇත. මෝටර් රථය ධාවනය වන විට cells වල වෝල්ටියතාවය අඩු වේ. ක්‍රමක් ක්‍රමයෙන් මෙය අඩුවෙන විට ආරක්ෂාකාරී මට්ටමට වඩා වෝල්ටියතා අගය පහල ගියහොත් මේ cells විනාශ වීමට ඇති හැකියාව බොහෝ සෙයින් වැඩිය. එය වලක්වා ගැනීම සදහා මෙම Digital Battery Monitoring System එක භාවිතා කොට ඇති අතර එමගින් තිබෙන cells 600ම voltage වෙන වෙනම ඉතාමත් නිවැරදිව මැන ගැනීමේ හැකියාවක් තිබේ. ආරක්ෂාකාරී මට්ටම ඉක්මවා  යන බැටරි cell තිබුනොත් ඒ බැටරි පද්ධති විසන්ධි කර හානි සිදු වීමෙන්  ආරක්ෂා කර ගැනීම මෙන්ම ඒ පිලිබඳ රියදුරා දැනුවත් කිරීමේ හැකියාවද මෙම පරිඝනක පද්ධතිය සතුය . තවද එමගින් විනාශ වී ගිය බැටරි cell පැවතියොත් එය නිවැරදිවම කුමන  බැටරි පද්ධතියේ කුමන  cell එකද යන්න හදුනාගත හැක. එවිට සේවා ස්ථානයකින් ඉතා අඩු මුදලකට අදාල බැටරි cell එක පමණක් ප්‍රතිස්ථාපනය කිරීමේ හැකියාවක් ඇත. මෙහි බැටරි charger එක මෝටර් රථයේ ඇතුලතම(ON – BOARD CHARGER ) සවි කොට ඇත. එසේම සාමාන්‍ය ගෘහස්ථ විදුලි පද්ධතියක් ආධාරයෙන් මේ බැටරි පද්ධතිය පැය 4කින් සම්පුර්ණයෙන්ම ආරෝපණය කිරීමටද හැකියවක් ඇත.

ඉදිරියේදී දැක ගනු හැකි Public Charging Station

එසේම VEGA කණ්ඩායම මගින් Public charging station උපාංගයක්ද නිර්මාණ කොට ඇති අතර ඉදිරියේදී මෙම Public charging stations ලංකාව පුරාම ඉදිරියේදී දැක ගනු හැක . එසේම super charging unit එකක් නිර්මාණය කිරීමට අදහසක්ද ඔවුන්ට තිබේ. super charging unit භාවිතයෙන් විනාඩි 20ක් ඇතුලත බැටරිය 80% ආරෝපණය කිරීමට හැකියාවක් ඇත. එසේම ආරම්භයේදී පැවසු සේම ඔවුන්ගේ ප්‍රධාන අරමුණක් වූ  බැටරිය වරක් සම්පුර්ණයෙන්ම ආරෝපණය කල පසු 240 Km දුරක් ධාවනය කිරීමට හැකි වීම ද මෙම මෝටර් රථයට ඇති විශේෂ හැකියාවක්ය.

මෙහි භාවිතා ඇති උපාංග කිහිපයක් පිටරටින් ගෙන්වා ගත් ඒවා වන අතර අනිකුත් සෑම දෙයක්ම ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ඒවා වීම විශේෂ කරුණක්ය. විශේෂයෙන් මෙහි ඇති තාක්ෂණය සදහා භාවිතා කර ඇති දැනුම 100% ක්ම ලංකාවේ සිටින දක්ෂයන්ගේ දැනුම වීම විශේෂිත වගේම ආඩම්බර විය යුතු කරුණකි. වරක් ආචාර්ය බේශාන් කුලාපල මහතා කල ප්‍රකාශයක් වන්නේ අලුත් දෙයක් නිපදවීමට අවශ්‍ය වන්නේ අලුත් දේවල් අත්හදා බැලීම, අලුත් දේවල් ඉගෙන ගැනීම සහ නොපසුබස්නා උත්සාහයයි. එම ප්‍රකාශය මෙම සුපිරි මෝටර් රථයේ ගමන් මග තුලින් මනාව පැහැදිලි වන අතර එය අපගේ ජිවිතයට එක් කර ගත හැකි මනා ආදර්ශයකි.  

ශ්‍රී ලංකික පුරවැසියෙක් වශයෙන් ඔබත් මමත් මෙරට නිෂ්පාදනයක් වන මෙම සුපිරි මෝටර් රථය ධාවනය කිරීමට ඉතා ආඩම්බරයෙන් යුක්තව මග බලා සිටී. මෙම ව්‍යාපෘතිය 100% ක්ම අවශ්‍ය ආකාරයෙන් සාර්ථක කරගැනීමට මෙන්ම ලෝකය ජය ගැනීමට ආචාර්ය හර්ෂ සුභසිංහ ඇතුළු ව්‍යාපෘතියේ සියලුම පිරිසට හැකි වේවායි Techwire කණ්ඩායම හදවතින්ම සුභ පතමු !

කෝටි ගණන් දීලා ලැම්බෝගිනි ගන්නේ මොකටද? මෙන්න ලංකාවෙම හදන සුපිරි කාර් එකක්!

supercars

supercars

Supercars කියන කොටම කාට වුණත් මතක් වෙන්නේ Bugatti, Ferrari, Porsche, Lamborghini වගේ කාර් තමයි. ඒවායේ තියන සුවිශේෂී වේගය, පෙනුම වගේ කාරණා නිසා  ඕනම කොල්ලෙක් කෙල්ලෙක් මේ වාහන ගැන ලොකු උනන්දුවක් දක්වනවා. පුංචි කාලේ ඒ වගේ වාහනයක කවදාහරි නැගලා යන්න කොච්චර නම් හීන දකිනවාද…? හැබැයි ඉතිං දැනුම් තේරුම් තියන වයසට එනකොට තේරෙනවා ඇයි එහෙම කරන්න බැරි කියලා. ඔය විදිහේ වාහනයක් ගන්න නම් කෝටි ගාණක් වියදම් කරන්න වෙනවා විතරක් නෙවෙයි වාහනේ ගමන් බිමන් යන්නත් නඩත්තුවටත් යන වියදම ගැන හිතනකොට එ්ක හීනයක්ම තමයි. ඒ හීනේ තාම හිතේ තියන නිසා පරිගණක ක්‍රීඩාවක් තුළ හරි මේ වාහන පැදලා සතුටු වෙනවා හැර වෙන කරන්න දෙයක් නැහැනේ. හැබැයි මේ කථාව ගැන ඇහුවොත් පුදුම වෙයි. අපේ රටේදීම නිෂ්පාදනය කරන්න යන සුපිරි මොටර් රථයක් වන VEGA ගැන තමයි අද අපි කියන්නේ.

Read More