TechWire

Tag - BitTorrent

අන්තර්ජාලයේ නවතම ගොනු හුවමාරු තාක්‍ෂණය – WebTorrent

BitTorrent යනු peer-to-peer ප්‍රොටොකෝලය යටතේ ලොව පුරා ඉතා පුළුල්ව භාවිතා වන සන්නිවේදන ක්‍රමවේදයකි. ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය පරිහරණය කරන තරුණ ප්‍රජාවට නම් මෙය කිසිසේත් ආගන්තුක තාක්‍ෂණයක් නොවේ. මෙය කෙතරම් ජනප්‍රිය ක්‍රමයක් ද කිවහොත්, අන්තර්ජාලය තුළ මෙමගින් හුවමාරු වන දත්ත ප්‍රමාණය මැනීමට සිදුවී ඇත්තේ පෙටාබයිට් වලිනි. කෙසේවෙතත්, Netflix, Hulu වැනි ස්ට්‍රීමිං සේවාවන්ගේ ආගමනයත් සමග BitTorrent හි බලපරාක්‍රමය බිඳවැටීමට පටන්ගෙන ඇත.

WebTorrent යන නවතම තාක්‍ෂණය ඔබ වෙත පැමිණ ඇත්තේ මෙම සේවාවන් දෙක එකට සංයුක්ත කර, BitTorrent ජාලය හරහා ස්ට්‍රීමිං වීඩියෝ ස්ට්‍රීමිං පහසුකම ඔබ වෙත ලබා දීමටයි. ඔව්, WebTorrent යනු ඔබේ වෙබ් බ්‍රව්සරය වෙත ලැබෙන ලොව ප්‍රථම ස්ට්‍රීමිං ටොරන්ට් සේවාදායකය යි. එය ලියැවී ඇත්තේ අන්තර්ජාල භාෂාවෙන්, හෙවත් JavaScript වලිනි. මෙම ප්ලගිනය P2P සන්නිවේදනය සඳහා භාවිතා කරන්නේ ජනප්‍රිය TCP/uTP ප්‍රොටොකෝලය නොව WebRTC නම් වූ නවමු මෙවලමකි.

BitTorrent-WebTorrent

WebTorrent හි තාක්‍ෂණික පැතිකඩ

2002දී ආරම්භ වූ දා සිට, අන්තර්ජාලය හරහා විශාල ප්‍රමාණයේ ගොනු සංසරණය කරවීමේ ගැටලුවට සරල විසඳුමක් සැපයූවේ BitTorrent තාක්‍ෂණයයි. WebTorrent විසින් සිදුකෙරෙනුයේ මෙම BitTorrentහි මධ්‍ය හරයේ ඇති තාක්‍ෂණය, ස්ට්‍රීමිං තාක්‍ෂණය සමග ඒකාබද්ධ කරමින් ඔබ වෙත මෙම තාක්‍ෂණ මෙවලම් දෙකෙහිම වාසිය උදාකරලීමයි.

ස්ටැන්ෆඩ් විශ්ව විද්‍යාලයේ උපාධිධාරී, Feross Aboukhadijeh විසින් මෙම ව්‍යාපෘතිය හඳුන්වාදුන්නේ සිය ගණනක් වූ තවත් විවෘත-ප්‍රභව දායකයින්ගේ සහාය ද ඇතිව ය. වර්තමානයේ අප භාවිත කරන අන්තර්ජාලයේ විප්ලවයක් සිදුකිරීමට මෙම තාක්‍ෂණයට හැකිවනු ඇති බව ඔහු තරයේ විශ්වාස කරයි.

TorrentFreak අඩවියට අදහස් කළ දැක්වීමක දී ඔහු පැවසුවේ:

මට දැනිච්ච විදිහට ‘පරිශීලකයින්ගෙන් බලගැන්වූ වෙබ්අඩවි’—ඒ කියන්නෙ යම් අඩවියක් භාවිත කරන අය විසින්ම බර දරාගෙන සිටිනු ලබන අඩවි කියන සංකල්පය මාර විප්ලවකාරී එකක්. ඒක මේ කර්තෘ හිමිකම් අලවගෙන, හිරකරගෙන තියන්න ඕන මෘදුකාංගයක් නෙවෙයි! ඒ නිසයි මට මේ අදහස තව ටිකක් දියුණු කරන්න ඕන කියලා හිතුණෙ.

ඔහුට අවශ්‍ය වූයේ, P2P ප්‍රොටොකෝලය හරහා පරිශීලකයින් විසින් බලගැන්වූ YouTube වැනි සලරූ වෙබ්අඩවියක් නිර්මාණයට බව ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසී ය. එවිට භාවිතකරන පරිශීලකයන් ගණන වැඩිවන තරමට අඩවිය වඩාත් ස්ථාවර සහ වේගවත් වනු ඇති. සරලව කිවහොත්—WebTorrent යනු අන්තර්ජාලය සඳහා වන BitTorrent සේවාදායකයකි. කිසිදු ස්ථාපනයක්, දිගුවක් හෝ බ්‍රව්සර් ප්ලගිනයක් මෙයට අනවශ්‍ය ය.

Browser-Support

ව්‍යාපෘතිය ගැන වැඩි විස්තර දැනගැනීමට, ආරම්භ කිරීමට හෝ WebTorrent ක්‍රියා කරන ආකාරය පිළිබඳව දැනගැනීමට WebTorrent.io අඩවියට පිවිසෙන්න.