TechWire

හැමෝටම උඩින් ගිහින් මැච් එක බලන අමුත්තා ගැන නොදන්න දේ

 

ක‍්‍රීඩා විකාශන නිෂ්පාදනය කියන්නේ අද කාලයේ ඇති වඩාත් විහිදී ගිය තාක්ෂණික ක‍්‍රම ශිල්ප භාවිත වන විෂය පථයක්. නූතනය වන විට බිහිවී ඇති තරඟකාරී පරිසරයත් එක්ක ක‍්‍රීඩා විකාශන නිෂ්පාදන ආයතන (Sports Broadcasting Production Companies) දවසින් දවස නව සංකල්ප හා නිපැයුම් පිළිබඳව වඩාත් සැලකිල්ලක් දක්වනවා. එ් මොකද කියනවා නම් පේ‍්‍රක්ෂක ඉල්ලුම වැඩි කරගන්න නම් මොනයම් හෝ අලුත් අත්දැකීමක් ලබා දෙන්නට එ් එ් ආයතනවලට ඉතා වැදගත් වන නිසායි. ඒ විදිහට ක‍්‍රීඩා විචාරකයන්ටත් පේ‍්‍රක්ෂකයාටත් නැවුම් අත්දැකීමක් ලබාදීමේ අරමුණින් තමයි SPIDERCAM නැමැති උඩුගුවනේ ගමන් කරමින් රූපරාමු ලබා දෙන කැමරාව නිර්මාණය කර තිබෙන්නේ. මේ ලිපියෙන් අපි කතා කරන්නේ මේ කියන කැමරාව සඳහා යොදා ගන්නා තාක්ෂණික උපායන් ගැන.

SPIDERCAM හී නිපැයුම් පසුබිම

SPIDERCAM කියන්නේ ඇත්ත වශයෙන්ම වෙළඳ නාමයක්. මෙවැනි උඩු ගුවනේ සිට කැමරාකරණය කළ හැකි උපාංගයක් පළමුවෙන්ම අත්හදා බැලුනේ ඇමරිකාවේ 1984 දී SKYCAM නැමැති උපාංගයක් මගින්. එ් වුණත් අද වන විට ලෝකයේ බහුලවම භාවිත වන SPIDERCAM උපාංගය නිර්මාණය කරනු ලැබුවේ පරිගණක සහ ප්ලාස්ටික් පිළිබඳ විශේෂ හැකියාවක් ඇති ජර්මන් ජාතික ඉංජිනේරුවෙකු වන Jens Peters විසින්. ඔහු විසින් 2000 වසරේ ආරම්භ කරන ලද ඔස්ටේ‍්‍රලියානු ආයතනයක් හරහා මෙම උපාංගයේ වැඩිදියුණු කිරීම් සිදුකරනු ලැබුවා. 2003 වසරේදී සම්පූර්ණ ලෙස අත්හදා බැලීම් සිදුකළ මෙම උපාංගය 2004 වසරේ සිට වාණිජ මට්ටමින් යොදා විකාශන කටයුතු සඳහා යොදා ගැනුණා. ක‍්‍රිකට් කී‍්‍රඩාව සඳහා මෙය පළමුවරට 2010 වසරේ ඉන්දියාවේදී විකාශන කටයුතු සඳහා යොදා ගනු ලැබුවා.

 

SPIDERCAM හී සැකැස්ම

මෙය විශේෂ තන්තු (cables) 4ක් යොදා ගනිමින් ති‍්‍රමාණ තලයක් ඔස්සේ චලනය කරවිය හැකි කැමරාවක්. Cables සියල්ල සම්බන්ධ වෙන්නේ කැමරාව රැගෙන යන ආධාරකය (Dolly) ටයි. එය මත අචලව ස්ථානගත කොට ඇති කැමරාව මගින් සාමාන්‍ය කැමරාවක සිදුකෙරෙන කාර්යයන්  (Focusing, Panning, Tilting, Zooming) සියල්ල සිදුකෙරෙනවා. කැමරාව දුරස්ථපාලක මගින් හැසිරවිය හැකි අතර හසුරවන්නන් දෙදෙනෙකු එකවර යොදා ගැනෙනවා. එක් අයෙකු කැමරාවේ චලන සිදුකරන අතර අනෙක් තැනැත්තා විසින් එහි කැමරාකරණ මෙහෙයුම් (Camera Operations) සිදුකෙරෙනවා. දුරස්ථපාලක වලින් ලබාදෙන signals වලට අනුරූපව කැමරාව ස්ථානගත කිරීම සඳහා cables වල අනෙක් කෙලවර මෝටර් හතරකට (motorized winches) සම්බන්ධ කර තිබෙනවා. එක් එක් මෝටර් මගින් cables හැකිලීම හෝ දිගහැරීම හරහා එ්වායේ දිග වෙනස් කර කැමරාව චලනය කෙරෙනවා. cables මගින් කැමරාව දරා සිටීමට අමතරව signal transfer කිරීම සඳහා Fiber Optics cables ඇතුලත් කර තිබෙනවා. එම Fiber Optics cables මගින් කැමරාවේ දර්ශන යැවීම සහ කැමරාවේ හැසිරවීම් සඳහා අවශ්‍ය උපදෙස් යැවීම සිදු කෙරෙනවා. මීට අමතරව කැමරාව සෑම විටම සමබරව තබා ගැනීමට හැකිවන පරිදි සංවේදකයක් (gyro sensor) කැමරාව රැගෙනයන dolly එකට සවිකර තිබෙනවා. ක‍්‍රීඩා පිටියේ කෙලවරක මෙය හසුරවන නියමුවන් දෙදෙනා සහිත පාලන කුටිය පිහිටුවන අතර එය සම්ප්‍රේෂණාගාරයට සෘජුවම සම්බන්ධකර සාමාන්‍ය කැමරාවකින් දර්ශන ලබාදෙන පරිදිම දර්ශන යැවීම සිදු කෙරෙනවා.

 

 

අභියෝග

සමාන්‍ය කැමරාවකට ලබාදිය නොහැකි අපුර්ව දර්ශන රාමු ගෙනදෙන්නට මෙම උපාංගයට හැකි වුණා. සමහර අවස්ථාවල තෙවැනි විනිසුරු ලබා දීමට පවා මෙයින් ලබා ගන්නා පුනරූපන යොදා ගත්තා. බොහෝ විට පරිගණක ක‍්‍රීඩාවලදී අපි විඳින රසවින්දනයට ආසන්න රසවින්දනයක් ලබා දෙමින් නරඹන්නන් ක‍්‍රීඩා පිටිය තුළ සිට ක‍්‍රීඩකයන් සමග තරගයේ සිටින ආකාරයේ අත්දැකීමක් ලබා දෙන්න SPIDERCAM ට හැකියාව ලැබුණා. රූපවාහිනී පේ‍්‍රක්ෂකයන් නම් මෙය බෙහෙවින් අගය කළත් ක‍්‍රීඩකයන් සහ කි‍්‍රඩා පිටියේ සිට තරගය නරඹන්නන් නම් මේ සඳහා එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. හැමදෙනෙක්ම එසේ අප‍්‍රසාදය පළ නොකළත් ඇතැමුන් නම් මෙය තරගයට බාධාකරන කරදරකාරී දෙයක් හැටියට දෝෂ දර්ශනයට ලක් කරනවා. තරගවලදී ඇත්තෙන්ම මෙම උපාංගය නිසා බාධා වුණු අවස්ථාද නැතුවම නෙවෙයි. ක‍්‍රිකට් තරගවලදී මෙහි පන්දු ගැටීම නිසා බධා වුණු අවස්ථා ගණනාවක්ම තිබෙනවා. කොහොම නමුත් මේ සියලූ ගැටලූ පිළිබඳව සලකා බැලෙන නිසා නිෂ්පාදකයින් තවදුරටත් මෙය වැඩිදියුණු කර වඩා යහපත් සේවයක් ලබා දීමට මතු දිනෙක හැකිවනු ඇත.

About author View all posts

Dhanushka Sanjaya

Leave a Reply

Your email address will not be published. Required fields are marked *