TechWire

ඔරිගාමී ආභාෂයෙන් යුත් PUFFER රොබෝවරු අඟහරු ජයගනීද ?

වැස්ස වෙලාවට එලියට පැනලා කඩදාසි බෝට්ටුවක් යවන්න, කඩදාසි රොකට් එකක් අහසේ පාකරලා යවන්න, ඕන පොඩි කෙනෙක් කැමතියි.මේ ලිපිය කියවන ඔබටත් නිසැකවම මේ අත්දැකීම් ඇති. කඩදාසි විවිධ ආකාරයට නවමින් විසිතුරු නිර්මාණ සාදන මෙම “ඔරිගාමී” කලාවේ උපත 17 වන ශතකය වෙත දිවෙනවා. ඉතින් වසර 400ක් පමණ පැරණි මෙම “ඔරිගාමී” සංකල්පය නාසා ආයතනය විසින් තම නව අඟහරු ගවේෂණ PUFFER රොබෝව තැනීමට භාවිතාකරන බව ඔබ විශ්වාස කරනවාද? මාස කීපයකට පෙර නාසා ආයතනයේ මේ විප්ලවකාරී පියවර ගැන තොරතුරැ මාධ්‍යයට නිරාවරණය වෙනවා.

මිනිසාගේ අඟහරු ගවේෂණය

Robot on Mars

අඟහරු ග්‍රහයා ගවේෂණය ප්‍රථමයෙන්ම දියත් කරන්නේ සෝවියට් දේශය විසින් 1960 දශකයේදී. ඔවුන් 1962දී  Mars 1962B යානය අඟහරු මත ගොඩබැස්වීමට උත්සාහ කරත් එය ව්‍යර්ථ වී යනවා. 1965දී නාසා ආයතනයේ Jet Propulsion විද්‍යාගාරයෙන් ගුවන්ගත කරපු  Mariner 4 යානය අහගරු ග්‍රහයා පසුකර ගමන් කිරීමට සමත් වුනා. නාසා ආයතනයම ගුවන්ගතකල Viking යානය 1975දී අඟහරු මත ගොඩබැස්වීම සාර්ථකව සිදුකරනවා. මේ අතර අඟහරු ගැන හැමදෙනාම උපේක්ෂාවෙන් බලාසිටි දේ 2012දී Curiosity රොබෝ රෝවරයේ අඟහරු චාරිකාවෙන් තහවුරු වෙනවා. ඒ අඟහරු මත ජීවය පැවතීමට හැකියාවක් සැබවින්ම පවතින බව.

මෙතෙක් උගත් දේ

මෙතෙක් අඟහරු මත ගමන්කළ රොබෝ රෝවරයන්, අඟහරුගේ මතුපිට වූ කටුක භූගෝලීය තත්වයන්ගෙන් හොඳින් බැටකෑවා. කඳු පල්ලම්, කුහර, ආවාට සහිත සමතලා නොවන අඟහරු භූමිය විශාල උපකරණ සංඛ්‍යාවක් සහිත බරින් වැඩි සහ මිලෙන් අධික රෝවර්වලට සුදුසු නොවන බව නාසා විද්‍යාඥයන් වටහා ගත්තා. තවත් එක්  විශාල ප්‍රශ්නයක් විශ්ව ගවේෂණය ආරම්භයේ සිටම විද්‍යාඥයන් කනස්සල්ලට පත්කරා. ඒ තමයි වස්තූන් අභ්‍යවකාශගත කිරීමට වැයවෙන අධික පිරිවැය. මේ පිරිවැය අවම කිරීමට කුඩා අවකාශයකට වැඩි උපකරණ සංඛ්‍යාවක් අඩංගු කිරීමට විද්‍යාඥයන් පර්යේෂණ කළා. මේ පර්යේෂණ වල ප්‍රතිපලයක් විදියට තමයි “ඔරිගාමී” ආභාෂය සහිත PUFFER රොබෝව බිහිඋනේ.

PUFFER රොබෝව සහ ඔරිගාමී කලාව

ඔරිගාමී නිර්මාණයකදී කඩදාසිය නැවීමට පෙර නිර්මාණය මෙසේ වේයැයි කෙසේවත් අනුමාන කරන්න බැහැ. මෙන්න මේ ඔරිගාමි සංකල්පය කේන්ද්‍ර කොටගෙන තමයි PUFFER රොබෝවරයා නිර්මාණය කරලා තියෙන්නේ. Pop-Up Flat Folding Explorer Robot කියන යෙදුමේ  වචන වල මුල් අකුර අරගෙන තමයි PUFFER කියන නම හදලා තියෙන්නේ. ඔරිගාමි සදහා භාවිතාවන කඩදාසිය මෙතැනදී විද්‍යාඥයන් මුද්‍රණය කල පරිපථ පුවරුවකට වෙනස් කර තියෙනවා. රොබෝවට බලය සැපයෙන්නේ සූර්ය කෝෂ මගින්.තවත් විශේෂ දෙයක් වෙන්නේ මේ රොබෝව නිර්මාණය කරලා තියෙන්නෙත් Mariner අඟහරු යානා ව්‍යාපෘතිය කල Jet Propulsion විද්‍යාගාරය මගින්මයි.

PUFFER Robot

මේ රොබෝවට පුළුවන් තමන්ගේ රෝද අකුලාගෙන පැතලි ස්වභාවයකට පත්වෙන්න. මේ හැකියාව නිසා PUFFERට පුළුවන් පටු ස්ථාන තුලින් ගමන් කරලා නිරීක්ෂණයන් සිදුකරන්න. මේ සදහන් කළා වගේ වගේ විශාල රෝවර් වලට නොමැති නම්‍යශීලි හැකියාවක් මේ රොබෝවට තියනවා. එක PUFFER රොබෝ කෙනෙක්ට වඩා රොබෝ රාශියක් එකවර ක්‍රියාවේ යෙදවීමට තමයි විද්‍යාඥයන් සැලසුම් කරන්නේ. PUFFER නිෂ්පාදනය කරන්නේ කටුක පරිසරයකට ගැලපෙන විදියට. මේ රොබෝවට පුළුවන් අංශක 45ක් දක්වා වූ බෑවුම් තරණය කරන්න. ආවාටයකට වැටුනද ක්‍රියාත්මක තත්වයේ සිටීමට හැකිවන ලෙස තමයි මේක සැලසුම් කරලා තියෙන්නේ. අඟහරු ග්‍රහයාගේ  කටුක පරිසරය නිදර්ශනය කරමින් ඇමරිකාවේ මොහාවේ කාන්තාරයේ සහ ඇන්ටාක්ටිකාවේ දී PUFFERව පරික්ෂාවට ලක්කරලා තියෙනවා. මේ පරික්ෂාවල ප්‍රතිපල සතුටුදායකයි කියලා තමයි වාර්තා වෙන්නේ.

PUFFER රොබෝවරුන්ගේ අනාගතය

කෙසේවුවත් Curiosity වැනි සංකීර්ණ රොබෝ රෝවරයක් සමග සසදනකොට PUFFERගේ හැකියාවන් සීමිතයි. නමුත් ඉදිරිකාලයේදී PUFFER රොබෝවන් අඟහරු ගවේෂණයට භාවිත කල හැකි බවට බලාපොරොත්තුවක් නාසා ආයතනයට තියෙනවා. Jet Propulsion විද්‍යාගාරයේ රොබෝ විශේෂඥයෙක් වන කාලින්ඩ් කාපෙන්ටර් පවසන පරිදි Curiosity රෝවරයේ PUFFER රොබෝවන් සිටියානම් ඔවුන්ට හැකියාව ලැබෙනවා එක් එක් PUFFER රොබෝව වෙනස් වෙනස් ස්ථාන වෙත යවා වඩා වැදගත් ස්ථානයට රෝවරය යැවීමට. දැනට PUFFER ව්‍යාපෘතියේ ඉලක්කය වන්නේ Mars 2020 මෙහෙයුමට මේ රොබෝවන් ඇතුලත් කිරීම. ඉතින් අපිට 2020 වෙනකන් බලන් ඉන්න වෙනවා PUFFER රොබෝවන්ගේ සැබෑ සාර්ථකත්වය බලන්න.

 

About author View all posts Author website

Vidura Dantanarayana

Leave a Reply

Your email address will not be published. Required fields are marked *