TechWire

මෙම ස්පර්ශක-තිර යුගයේ යතුරුපුවරුවක් භාවිත කිරීම යම්කිසි අපහසුවක් ගෙනදෙන බව ඔබට හැඟෙන්නට පුළුවන. ස්මාට්ෆෝන් වුවද, ටැබ්ලට් පරිගණක වුවද අද වනවිට ස්පර්ශක-තිර බවට පත්වී ඇත.

මේ ස්පර්ශක-තිර විශේෂාංගය ශීඝ්‍රයෙන් ජනප්‍රිය වීමත් සමග, බොහෝ පරිගණක නිෂ්පාදන සමාගම් තම නිමැවුම් වලට මෙම විශේෂාංගය ඇතුළත් කිරීමට උත්සුක වෙති. ඒ කෙසේවෙතත් දැනට අප භාවිතා කරන සෑම ලැප්ටොප් පරිගණකයකම මෙම පහසුකම නැත.

එබැවින්, ඔබේ ඩෙස්ක්ටොප් හෝ ලැප්ටොප් පරිගණකයට ස්පර්ශක-තිර විශේෂාංගය බාහිරින් ඇතුළත් කරගැනීම සඳහා දැන් ඔබට AirBar ලෙස හැඳින්වෙන මෙම නවතම උපාංගය භාවිත කළ හැක.

Screen-Shot-2015-12-16-at-9.19.13-AM-1024x774

Neonode නම් ස්විස් ජාතික සමාගම විසින් ඔබ වෙත ගෙන එන මෙම AirBar උපාංගය ඔබේ පරිගණක තිරයේ පහළ දාරය සමග චුම්භක ක්‍ෂේත්‍රයක් මගින් සම්බන්ධ වන අතර, USB සබඳතාවක් හරහා සරලවම ඔබේ ස්පර්ශක-තිර නොවන නෝට්බුක්, ලැප්ටොප්, ඩෙස්ක්ටොප් පරිගණකය තුළින් දෘෂ්‍යමය ලෙස ස්පර්ශක-තිර අත්දැකීමක් ලැබීමට දැන් ඔබට හැකිය.

ඇඟිලි වල සෙලවීම් සහ හස්ත සංඥා ඒවාට අදාළ ඩිජිටල් ආදාන බවට පරිවර්තනය කරවන මෙම උපකරණය නිසා ඔබට එබීම (poking), තල්ලු කිරීම (swiping), බහු-ස්පර්ශනය (multi-touch) ආදී තවත් බොහෝ චලනයන් සාමාන්‍ය ස්පර්ශක තිර පරිගණකයකදී මෙන්ම අත්විඳීමට පුළුවන.

AirBar උපාංගය ක්‍රියා කරන්නේ හුදෙක් ආලෝකය ආධාරයෙන් බැවින්, ස්පර්ශ කිරීමට අමතරව, සාම්ප්‍රදායික ස්පර්ශක තිර ඔබට ඉඩ නොදෙන ආකාරයේ ක්‍රම වලින් පරිගණකය හා සන්නිවේදනයට ඔබට අවසර ඇත. උදාහරණයක් ලෙස අත්වැසුම් පැළඳ සිටින විටදී හෝ නැතහොත් චොප්ස්ටික්ස් කූරූ මගින් වුවද ඔබට මෙය භාවිත කළ හැක!

“AirBar උපකරණය ඔබේ පරිගණක තිරය මතුපිටින් අදෘශ්‍යමාන ආලෝක කදම්භයක් ප්‍රක්‍ෂේපණය කරනවා. ඒ කදම්භය තමයි ස්පර්ශ කිරීම සහ Windows 8, Windows 10 පද්ධති වල හස්ත සංඥා (gestures) සමග ගනුදෙනු කිරීම සිදුකරන්නෙ,” සමාගමේ නිළ වෙබ්අඩවියේ සඳහන් වෙයි. “මේ සේරම Neonode හි zForce AIR™ තාක්‍ෂණයට පිං සිද්ධවෙන්න තමයි. අපිට මේක පාවිච්චි කරලා නියම වැඩ කරන්න පුළුවන්! අපිට ඕනම උපකරණයකින් AirBar එක්ක වැඩ කරන්න පුළුවන් වෙලා තියෙන්නෙ, ආලෝකය ඕනෑම බාධකයකට ප්‍රතිචාර දක්වන නිසා.”

මෙයට කිසිම අමතර මෘදුකාංගයක් අනවශ්‍යය. මෙහි වත්මන් ආකෘතිය නිපදවා ඇත්තේ අඟල් 15.6 තිර සඳහා පමණි. මෙම උපාංගය තවමත් ක්‍රියා කරන්නේ Windows® 7, 8, 10 සහ Chrome OS™ මෙහෙයුම් පද්ධති මත පමණි. තවමත් OS X සමග නිවැරදිව ක්‍රියාකරන ආකෘතියක් නිපදවා නොමැත.

“මේ මොහොත වනවිට, OS X සමග නිවැරදිවම ක්‍රියා කරන්න පුළුවන් AirBar එකක් නිපදවලා නැහැ. ඒත් ඉතින් තමන් ළඟ දැනටමත් MacBook එකක් තියෙනවනම් මෙම උපකරණය කොච්චර දුරකට සාර්ථකව වැඩ කරනවද කියලා බලන්න ඔයාට පුළුවන්,” සමාගම කියයි.

මෙහි ඇති චුම්භක පටියත් සමග එන plug-and-touch ක්‍රියාකාරීත්වය නිසා ඕනෑම මොහොතක ඉතා පහසුවෙන් සවි කිරීම/ ඉවත්කිරීම කළ හැක. බැටරියට සිදුවන බලපෑමද මිනිය නොහැකි තරම් වන නිසා මෙය ඉවත්නොකර දිගටම භාවිතකිරීමේ විකල්පයද පරිශීලකයින්ට ඇත. නමුත් ලැප්ටොප් පරිගණකයකදී නම් වැසීමේදී ගැටලුවක් මතුවන නිසා භාවිතයෙන් පසුව ගලවා ඉවත්කිරීම නුවණට හුරුය.

ඔබට අන්තර්ජාලය හරහා Neonode AirBar උපකරණයක් පෙර-ඇණවුම් කළහැකි අතර එහි ආරම්භක මිල සටහන්ව තිබුණේ $49 (~7050Rs) ලෙසය. 2016 වසරේ ජනවාරි මස ලාස් වේගාස් හි පැවැත්වෙන CES උත්සවයේදී මෙම උපකරණය වෙළඳපලට හඳුන්වාදීමට නියමිත වී ඇත.

About author View all posts Author website

Chevindu Wickramathilaka

Walking is his favorite mode of travel and, comics are his favorite type of books. He can talk all day if needed and, stay silent all day if needed.
He keeps his friends close, his books closer.

1 CommentLeave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.