TechWire

සිනමාවේ පෙරලියක් ඇති කල Lord of the Rings හි සැඟවුණු කතාව…

බටහිර සිනමාව ගැන කතාකරන විට Lord of the Rings චිත්‍රපට  ගැන නම් නොදන්න කෙනෙක් නැති තරම්. එ් තරමට මෙම චිත්‍රපට මාලාව ලොකු කුඩා කවුරුත් අතර අතිශයින් ජනප්‍රියත්වයට පත් වුණා. එ් කොහොම වුණත් සිනමා නිර්මාණකරුවන් නම් අදටත් මේ නිර්මාණය අගය කොට සලකන්නේ එහි තිබූ කතාවස්තුවට හෝ සාමාන්‍ය ප්‍රේක්ෂකයන් අගය කරන චිත්‍රපට රසයට පමණක්ම නෙවෙයි. මෙම සිනමා නිර්මාණය අනාගත බටහිර සිනමාව ලියා තැබූ නිර්මාණයක් බවට පත් වුණා. චිත්‍රපටය සඳහා යොදාගත් එවකට පැවති නවීනතම තාක්ෂණය හා නව තාක්ෂණික සොයා ගැනීම් නිසා සිනමා ඉතිහාසයේ පවා හැරවුම් ලක්ෂයක් බවට පත්වුණා. ඉතිං අද අපි කියන්න යන්නේ ඔබ බොහෝ දෙනෙක් නොදන්නා මෙම උසස් තාක්ෂණික යොදා ගැනීම් පිළිබඳවයි.

නිෂ්පාදන පසුබිම

Lord of the Rings චිත්‍රපට මාලාව නිර්මාණය වුණේ J. R. R. Tolkien විසින් 1954 – 1955 කාලයේ ලියන ලද නවකතාවක් ඇසුරෙන්. Lord of the Rings චිත්‍රපට මාලාව චිත්‍රපට තුනකින් සමන්විත වුණා. අති දැවැන්ත නිර්මාණ තුනක් වුණත් මෙම නිර්මාණ තුනම 2001, 2002 සහ 2003 යන වසර තුන ඇතුළත එළිදක්වන්න නිෂ්පාදන කණ්ඩායමට හැකි වුණා. මෙම චිත්‍රපට වල සාර්ථකත්වයට සෘජුවම Peter Jackson ගේ දක්ෂතාව ඉවහල් වුණා. ඔහු මෙම චිත්‍රපට සඳහා අධ්‍යක්‍ෂණය, නිෂ්පාදනයට අමතරව තිර රචනය සඳහාද සහය වුණා.

මෙම චිත්‍රපට මලාව සඳහා දෘෂ්‍ය ප්‍රයෝග (VFX) තාක්ෂණය මෙහෙයවීමේ බැරෑරුම් කාර්යය සිදුකෙරුනේ නවසිලන්තයේ ඩිජිටල් දෘෂ්‍ය ප්‍රයෝග නිෂ්පාදන ආයතනයක් වන Weta Digital ආයතනයටයි. විශේෂත්වය නම් ඔවුන් මේ දක්වා සිදුකල නිෂ්පාදනයන් අතරින් හොඳම දෘෂ්‍ය ප්‍රයෝගකරණය(Best VFX) සඳහා වන ඔස්කාර් සම්මාන 6 ක් දිනා ඇති අතර ඉන් 3ක් හිමි වී ඇත්තේ මෙම චිත්‍රපට  මාලාව ඇතුලත් චිත්‍රපට  තුන සඳහායි. චිත්‍රපට මාලාවේ ඇතුලත් දර්ශනතල බොහෝමයක් නවසිලන්තයේ ගම්මාන ආශිතව යොදා ගන්නා ලද එ්වා වූවත් පරිගණක තාක්ෂණය යොදා ගනිමින් මෙම පසුතල සියල්ල ප්‍රතිනිර්මාණය කර තිබෙනවා. චිත්‍රපට මාලාව සඳහා යොදාගත් සුවිශේෂී තාක්ෂණ ක්‍රම ශිල්පයන් ගණනාවක්ම කැපීපෙනුණා.

කුරුමිට්ටන්ගේ චරිත නිර්මාණ තාක්ෂණය

කතා මාලාවේ ප්‍රධාන  චරිතය ගොඩනැගෙන්නේ Frodo Baggins නැමැති කුරුමිටි චරිතය වටායි. එ් විතරක් නෙවෙයි  ඕනෑ තරම් කුරුමිට්ටන් මෙම කතාවේදි දකින්නට ලැබුණා මතක ඇති. නමුත් ඇත්තෙන්ම මේ නළුවන් මිටි අය නෙවෙයි. ඉතිං නිර්මාණකරුවන්ට තිබුණු ලොකුම ගැටලූව තමා මේ අයව කුරුමිට්ටන් ලෙස මවාපාන ආකාරය. මේ සඳහා ඔවුන් ක්‍රම  කිහිපයක්ම භාවිත කළා.

විශාලත්වයන් දෙකකින් යුතු එකම ආකාරයේ පසුතලවල වෙන වෙනම රූපගත කිරීම

Gandalf, ඇරගෝන් වගේ සමාන්‍ය චරිත සමඟ කුරුමිට්ටන් සිටින සමීප දර්ශන සඳහා ඔවුන් එකම ආකාරයෙන් යුතු විශාලත්වයෙන් වෙනස් පසුතල 2ක් භාවිත කළා. ප්‍රමාණයෙන්  කුඩා පසුතලවල සාමාන්‍ය චරිතත්, විශාල පසුතලවල කුරුමිටි චරිතත් වෙන වෙනම රූපගත කර එ්වා පරිගණක තාක්ෂණයෙන් මුහුම් කිරීම සිදුකෙරුණා. මෙම ක්‍රමය  Rotoscoping ලෙස හැඳින්වෙනවා. මෙලෙස පසුතල නිර්මාණය අපහසු පිටත, ඈත දර්ශන රාමු (outdoor wide Scene) සඳහා ඔවුන් යොදාගත්තේ වෙනමම උපායක්.

තාත්වික සිලිකන් මුහුණු යෙදු අසාමාන්‍ය ලෙස මිටි හා උස සහය නළුවන් යොදා ගැනීම

චිත්‍රපටයේ එන මිටි චරිත අඩි 3.5 ක පමණ උස නමුත් එතරම් මිටි නළුවන් කිහිපයක් සොයා ගැනීම දුශ්කර වුණු නිසා සැබෑ නළුවන්ට සමාන උස අඩි 4 කට ආසන්න මට්ටමේ වූ නළුවන් සහ උස අඩි 8ක් පමණ වූ සහය නළුවෙකු Aragorn චරිතය සඳහා ඇතැම් අවස්ථාවල යොදා ගැනුණා. මෙම දර්ශන ඈත දර්ශන වූ නිසා සහය නළුවන් යොදාගනිමින් ඔවුනට තාත්වික සිලිකන් මුහුණු පළඳා චරිතවලට අනුගත කෙරුණා. මුහුණු නිර්මාණය සඳහා සැබෑ නළුවන්ගේ මුහුණුවල විවිධ කෝණවලින් ලබා ගත් ඡයාරූප භාවිත කෙරුණා. එ් ඇසුරින් නිර්මාණය වූ ඔවුන්ගේ මුහුණුවලට බෙහෙවින් සමාන සිලිකන් මුහුණු යොදා මෙම දර්ශන ලබා ගෙන තිබෙනවා.


සාමාන්‍ය උසින් යුතු චරිත වඩා උස් බවක් පෙන්වීම සඳහා විශේෂයෙන් නිපැයූ ඇඳුම් භාවිතය

ඇතැම් දර්ශනවලදී කුරුමිට්ටන් ගේ චරිත නිරූපනයට, සෙසු චරිත සඳහා උසින් වැඩි හා ශරීර ප්‍රමාණයෙන්  වැඩි පැළඳුම් භාවිත කෙරුණා. මෙම දර්ශන බොහෝ විට කුරුමිට්ටන්ගේ උස මට්ටමින් කැමරාගත කළ අතර එහිදී සමාන්‍ය උසින් යුතු චරිතවල සම්පූර්ණ සිරුර රූප රාමුව තුළ ඇතුලත් වූයේ නැහැ. බොහෝ විට ඉනට පහළ නැතිනම් දණහිස් මට්ටමට මඳක් ඉහල කොටස දක්වා පමණයි රාමුවට දර්ශණය වූයේ. එවිට එම පැළඳුම් යෙදු බවක් පේ‍්‍රක්ෂකයාට දැකීමට අවස්ථාවක් නැහැ.

යුධ බිම් දර්ශන සඳහා යොදාගත් කෘතීම බුද්ධි (AI) තාක්ෂණය

Lord of the Rings කතා මාලාවේ වඩාත් කතාබහට ලක් වූයේ අතිවිශාල සෙබළුන්ගෙන් පිරි යුධ බිම් වල ඈත දර්ශනයි. එ්වායේ සැබෑම යුද්ධයකදී මෙන් සෙබළුන් දස සහස් ගණන් එකවර සටන් කරන අන්දම දිස්වෙන සටන් දර්ශන ඇතුළත් වුණා. මෙම දර්ශන සඳහා යොදා ගැනුණේ ත්‍රිමාණ  සජීවීකරණ තාක්ෂණයෙන් නිර්මාණය කරනු ලැබූ පිරිස්. නමුත් එතරම් පිරිසක් වෙන වෙනම සජීවිකරණය කිරීම කාලය වැයවන අර්ථවිරහිත කටයුත්තක්. නමුත් එකම ආකාරයේ සජීවීකරණයක් විවිධ කණ්ඩායම්වලට නැවත නැවත පිටපත් (copy) කිරීමට අධ්‍යක්ෂක පීටර් ජැක්සන් කැමැත්තක් දැක්වූයේ නැහැ. එය දර්ශනයේ තාත්වික  පෙනුමට බාධාවක් ලෙස ඔහු දුටුවා. මේ නිසා ඔහු තීරණය කළා නවතම සොයාගැනීමක් භාවිත කිරීමට.

මෙලෙස නිර්මාණය කරනු ලැබූ විශාල ජනකායක් සඳහා වෙන වෙනම ස්වාධීනව චලන ඉරියව් දැක්වීමට හැකි අන්දමේ පරිගණක වැඩසටහනක් ලියා දෙන ලෙස ඔහු Stephen Regelous නම් මෘදුකාංග ඉංජිනේරුවාට බාර කළා. අනතුරුව ඔහු විසින් කෘතීම බුද්ධි හැකියාවන්ගෙන් යුතු Massive නම් මෘදුකාංගය නිර්මාණය කර දෙනු ලැබුවා. එමගින් සමූහ දර්ශන තුළ සිටී එක් එක් සෙබලූන් ප්‍රතිවාදීන්ගේ චලනයන්ට අනුරූපව තමන්ටම ආවේනික වූ චලනයන් ස්වයංක්‍රීයව සිදුකරනු ලැබුවා. මෑත කාලීන බොහෝ සිනමා නිර්මාණ සඳහා මෙම කෘතීම බුද්ධි සජීවීකරණ මෘදුකාංග තාක්ෂණය බහුලව භාවිත කෙරුණත් එය පළමු වරට ලොවට විවර වූයේ මෙම චිත්‍රපට මාලාව හරහායි.

ලොව ප්‍රථම වරට Realtime full on-perform Capturing තාක්ෂණය යොදා Gollum නිර්මාණය කිරීම

Lord of the Rings කතා මාලාවේ එන Gollum නම් වාමන චරිතය ඔබට අමතක නැතුව ඇති. ගොලම් චිත්‍රපට මාලාවට සෘජුවම සම්බන්ධ වන්නේ The Two Towers නම් දෙවැනි කතාවේ සිටයි. පළමුව මෙම චරිතය මුලුමනින්ම පරිගණක ආශිතව නිර්මාණය වූ චරිතයක් (CG character – Computer Generated )   බවට පත් කිරීමට තීරණය වූවත් චරිතය සඳහා දෙබස් කැවූ  Andy Serkis නම් නළුවාගේ නිරූපන හැකියාව පෙරහුරුවලදී දුටූ පීටර් ජැක්සන් එ් පිළිබඳ වඩා පැහැදී තිබෙනවා. එමෙන්ම Gollum ඇතුළත් දර්ශන රූපගත කිරීමේදී තාත්වික නළුවෙකු Gollum වෙනුවට යොදාගැනීම සෙසු නළුවන්ගේ රංගනයන් තාත්වික කිරීමට තුඩු දී තිබුණා. මේ බැව් අවබෝධ කරගත් අධ්‍යක්ෂවරයා Andy Serkis ගේ චලන Realtime Full on Perform Capturing නම් නවතම තාක්ෂණයක් යොදා ගනිමින් චිත්‍රපට මාලාව නිර්මාණය කෙරුණා.

මෙහිදී Andy Serkis ගේ සිරුර මුලුමනින් ආවරණ වන පරිදි ඇඳුමක් සකස් කර එ් හරහා ඔහුගේ චලනයන් capture කරමින් සිරුරට පරිගණක ති‍්‍රමානකරණයෙන් සැකසූ කෘතිම සමක් නළුවාට යොදා තිබෙනවා. මෙම Realtime Full on Perform Capturing තාක්ෂණය පළමුවරට ලෝකයේ යොදාගත් නළුවා බවට Andy Serkis පත්වුණා. මෑත කාලය වන විට ඔහුගේ අංගචලනයන් මෙම තාක්ෂණය සඳහා බොහො නිර්මාණ සඳහා යොදා ගැනෙනවා. මෑත කාලීනව වඩාත් ජනප්‍රිය  වූ The Planet Of the Apes චිත‍්‍රපටමාලාවේ සීසර් චරිතයට පන පොවන්නේද ඔහුයි.

මීටත් අමතරව තවත් බොහෝ දෘෂ්‍ය ප්‍රයෝග තාක්ෂණ ක්‍රම  ශිල්පයන් රැසක් යොදා ගනිමින් නිර්මාණය වූ Lord of the Rings  චිත්‍රපට මාලාවේ සියලූ චිත්‍රපට ආදායම් වාර්තා බිඳිමින් ඉතා ඉහළ ප්‍රතිචාර  දිනාගත්තා සේම එ් හරහා ලොවට විවර වූ නවීන තාක්ෂණික ශිල්පයන් වර්තමානයේ නිර්මාණය වන චිත්‍රපට සඳහා පවා යොදාගැනීමට පෙළඹීම එහි වූ උසස් තාක්ෂණික ශිල්පය විදහා දක්වනවා. ඕනෑම දෙයක් පිළිබඳ නිර්මාණශීලීව සහ අධිෂ්ඨානයෙන් යුතුව ගනු ලබන උත්සහයන් සඵල කරවන බවට වූ වැදගත් පණිවිඩයක් ලෝකයට ලබා දීමට පීටර් ජැක්සන් ප්‍රමුඛ  නිෂ්පාදන කණ්ඩායමට මෙම නිර්මාණ හරහා හැකියාව ලැබුණා.

About author View all posts

Dhanushka Sanjaya

1 CommentLeave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *