TechWire

2015 අවුරුද්දේ අන්තිම මාස කීපයේ දී, විද්‍යාඥයින් කීපදෙනෙක්ට පුළුවන් වුණා ලෝකෙම පුදුම කරවන්න. LIGO ආයතනයේ සේවය කරන මේ අය තමයි ලොව ප්‍රථම ගුරුත්වජ තරංග නිරීක්ෂණය සිදුකළේ. ඊට මාස කීපයකට පසුව ඔවුන්ට හැකි වුණා දෙවන වරට මේ අපූර්ව සංසිද්ධිය නිරීක්ෂණය කරන්න.

පසුගිය ජුනි 1 වෙනිදා ඔවුන් විසින් තුන්වන ගුරුත්වජ තරංග නිරීක්ෂණයක් සනාථ කරනු ලැබුවා: ආලෝක වර්ෂ බිලියන 3ක් විතර ඈත තිබුණු කළු කුහර දෙකක ඝට්ටනයක්. මේ සිදුවීම් නිසාවෙන් LIGO ආයතනය තීරණය කරලා තියෙනවා නූතන විද්‍යාවට අලුත් ශාඛාවක් එකතු කරන්න: ගුරුත්වජ තරංග තාරකා විද්‍යාව.

ගුරුත්වජ තරංග යනු මොනවාද?

ගුරුත්වජ තරංග කියන්නේ, අපිව වටකරගෙන ඉන්න අවකාශ-කාලය තුල ඇතිවෙන රැළිති ස්වභාවයන් ට. මේවා ඇතිවෙන්නේ නියුට්‍රෝන තාරකා, කළු කුහර වගේ අධික ස්කන්ධයක් තියෙන වස්තූන් වල චලනයන් නිසා. ඉතින් මේ වගේ වස්තූන් ගැටුනොත්, ඉතා විශාල ශක්තියක් නිකුත් වෙනවා. ගුරුත්වජ තරංග ඇතිවීම කියන්නේ මේ ශක්තිය නිකුත් වෙන එක්තරා ක්‍රමයක්. මේ ගැන සවිස්තරාත්මක ලිපියක් අපි කලින් ඉදිරිපත් කළා.

මෑතදීම සිදුකළ නිරීක්ෂණයට හේතු වුණු කළු කුහර දෙකේ ස්කන්ධය අපේ සූර්යයා තරම් 49 ගුණයකට ආසන්නයි. LIGO ආයතනය නිරීක්ෂණය කළ ගුරුත්වජ තරංග හටගැනුනේ මේ කළු කුහර දෙක එකිනෙකා වටා භ්‍රමණය වීමෙන් සහ ගැටීමෙන්. එම කණ්ඩායමට පුළුවන් වෙලා තියෙනවා මේ තරංග වල ස්වභාවයෙන්, එක් එක් කළු කුහරයේ භ්‍රමණය ගැනත් විස්තර ලබාගන්න.

වර්තමානය වන විට, මේ ගුරුත්වජ තරංග වලට සංවේදී වන නිරීක්ෂක දෙකක් පෘථිවියේ තියෙනවා. ඒ ලුයිසියානා සහ වොෂින්ටන් යන ප්‍රාන්ත දෙකේ. නමුත් නුදුරු අනාගතයෙදී අපිට තුන්වැන්නක් දැකගන්න පුළුවන් වෙයි: ඉතාලියේ Virgo සංවේදකය. විශ්වයේ රහස් ගැන තවමත් අඳුරේ අතපත ගානා අපට මේ නිරීක්ෂක පූර්වාලෝකයක් වනු නොඅනුමානයි.

ඡායාරූප – NASA

About author View all posts Author website

Chevindu Wickramathilaka

Walking is his favorite mode of travel and, comics are his favorite type of books. He can talk all day if needed and, stay silent all day if needed.
He keeps his friends close, his books closer.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.