TechWire

Category - Gadgets

DJI Mavic Mini

DJI Mavic Mini Featured image

DJI යනු ලොව ප්‍රමුඛ පෙළේ Drone සහ කැමරා උපකරණ නිෂ්පාදනය කරන ආයතනයකි. DJI Phantom, DJI Mavic වැනි ලොව සුපතල Drone යානා සහ DJI Osmo, DJI Ronin වැනි ඡායාරූපකරණයේදී සහ වීඩියෝකරණයේදී යොදාගන්නා කැමරා උපාංග මෙන්ම RoboMaster, DJI FPV වැනි නිෂ්පාදනද DJI සමාගම විසින් හඳුන්වා දී ඇත.

DJI Mavic Mini image 1

හුරුබුහුටි Drone යානය

DJI Mavic යනු වීඩියෝ කරණය සඳහා නිෂ්පාදනය කර ඇති Drone යානා වර්ගයකි. මෙහි DJI Mavic 2, DJI Mavic Air, Mavic Pro ලෙස වර්ග කිහිපයක්ම පවතී. DJI Mavic Mini මෙම Drone පවුලේම තරමක් ප්‍රමාණයෙන් කුඩා හුරුබුහුටි පෙනුමකින් යුත්  Drone යානාවකි.

අනෙකුත් DJI Mavic Drone යානා මෙන් වෘත්තීයමය රූපගත කිරීම් සඳහා එතරම් සුදුසු නොවන DJI Mavic Mini Drone යානාව, විනෝදාංශයක් ලෙස වීඩියෝකරණයේ නියැලෙන්නන් සඳහා වඩා යෝග්‍ය වේ. මෙහි ඇති ප්‍රධානම වාසිය නම්, තමන්ගේ බෑගයේ හෝ සාක්කුවක දැමිය හැකි තරම් කුඩා වීම සහ බරින් අඩුවීමයි. එමෙන්ම මෙහි තටු හැකිලිය හැකි නිසා තැනින් තැනට රැගෙන යාම ඉතාමත් පහසු වේ.

DJI Mavic Mini image 2

DJI Mavic Mini හි විශේෂාංග

DJI Mavic Mini Drone යානාව ග්‍රෑම් 249ක් තරම් සැහැල්ලු වේ. එනම් සාමාන්‍ය ජංගම දුරකතනයක බරට ආසන්න වේ. නමුත් එක් බැටරි ආරෝපණයකින් විනාඩි 30ක කාලයක් පියාසර කරවීමට හැක. එමෙන්ම කිලෝමීටර 4ක් දක්වා දුරකට පියාසර කරවීමට හැක. තවද Vision Sensor + GPS Precise Hover තාක්ෂණය මගින් Drone යානාව ගුවනේ එක තැන නතර කර තැබිය හැක. 3-Axis Gimbal කැමරා ආධාරකය මගින් යානයේ ඇති කැමරාව අක්ෂ තුන ඔස්සේ නොසෙල්වී පවත්වා ගැනීමට හැකි වේ. එමෙන්ම මෙහි මෙගා පික්සල් 12ක කැමරාවෙන් 2.7K වීඩියෝ ගත කිරීමේ හැකියාව ඇත.

DJI Mavic Mini image 3

DJI Fly ජංගම දුරකථන යෙදුම

මේ සඳහාම නිර්මාණය වුනු DJI Fly දුරකථන යෙදුම මගින් DJI Mavic Mini Drone යානය පහසුවෙන් හැසිරවීමට හැක. එමෙන්ම යානයෙන් ලබාගත් වීඩියෝ පට පහසුවෙන් ක්ෂණිකව සංස්කරණය කිරීමට මෙම ජංගම දුරකථන යෙදුමෙහි ඉඩකඩ ලබාදී ඇත. DJI Mavic Mini Drone යානයේ සහ DJI Fly ජංගම දුරකථන යෙදුමෙහි තවත් විශේෂත්වයක් වන්නේ මෙහි එන QuickShot modes විශේෂාංගයයි. මෙහි Dronie, Circle, Helix, සහ Rocket ලෙස ස්ථාපිත කර ඇති වීඩියෝ උපක්‍රම 4ක් ඇත. පරිශීලකයාට අවශ්‍ය QuickShot Mode එකක් තෝරාගත් විට, Drone යානය ස්වයංක්‍රීයව නිසි ගමන් පථයක ගමන් කරමින් රූපගත කිරීම් සිදු කරයි.

තවද පටු ස්ථාන වලින් පහසුවෙන් සහ ඉතා සීරුවෙන් ගමන් කිරීමට, මෙහි CineSmooth Mode විශේෂාංගය පවතී.

DJI Mavic Mini image 4

DJI Mavic Mini Drone යානාව $399 යේ සිට මිලදී ගැනීමට හැකියාව ඇත. මේ ගැන වැඩි දුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න https://www.dji.com/mavic-mini.

JBL සමගින් එන අලුත්ම Solar Powered Headphones

අද ඔයාලට කියන්න යන්නෙ බොහොම වැදගත් අලුත්ම Tech Gadget එකක් ගැන. අපි Headphones ගැන කථා කරන කොට, ඕනෑම කෙනෙක්ගෙන් ඇහුවොත් හොද Headphone brand එකක් මොකද්ද කියලා හම්බෙන සුලභම උත්තරය තමා JBL කියන එක. ඒ තරමටම JBL කියන නම ප්‍රසිද්ධයි. ඉතින් අද මම ඔයාලට කියන්න හදන්නෙ JBL සමාගමේ අලුත්ම නිෂ්පාදනයක් ගැන. Wireless Headphones පාවිච්චි කරන අයට තියෙන ලොකුම ගැටලුවක් තමා බැටරිය තියාගන්න පුලුවන් සීමිත කාල සීමාවකට විතරයි. මෙන්න මේ ප්‍රශ්නෙට විසදුමක් විදියට තමා JBL ආයතනය මේ අලුත්ම Solar-powered Headphone එක නිෂ්පාදනය කරන්නෙ.

JBL Reflect Eternal කියලා නම් කරලා තියෙන මේ Headphone එක දැන් ඔයාලට පූර්ව ඇණවුම් සිදු කරන්න පුලුවන් indiegogo කියන Website එකෙන්. මේක $99 වගේ මිල වෙනවා කියලා තමයි දැනට සදහන් වෙන්නෙ, ඉතින් ඔයාලටත් මේ link එකෙන් ගිහින් කැමති නම් පූර්ව ඇණවුම් කරන්න පුලුවන්. ඉතාම සීමිත ගානක් තමා දැනට වෙළදපලට නිකුත් කරලා තියෙන්නේ. දැන්ම ඇණවුම් කරොත් 2020 ඔක්තොම්බර් වෙද්දි පාරිභෝගිකයාට ලැබෙන්න සලස්වනවා කියල තමා තියෙන්නෙ.

මෙහි බැටරි ආරෝපණය වන්නේ කෙසේද?

JBL ආයතනය ප්‍රකාශ කරන්නෙ දවසකට පැය 2.5 ක් සෘජු සූර්යාලෝකයට නිරාවරණය වන විදිහට මෙය භාවිතා කලොත් බැටරිය සම්පුර්ණයෙන් ආරෝපණය කර ගන්න පුළුවන් කියල.

මේක සෘජු සූර්යාලෝකය මගින් වගේම ගෘහස්ථ ආලෝකයෙනුත් බැටරි‍ය ආරෝපණය කරගන්න පුලුවන් කියලා තමා JBL සමාගම කියන්නෙ. හැබැයි ඒක සෘජු සූර්යාලෝකය මගින් බැටරි ආරෝපණය වෙනවාට වඩා ටිකක් අඩු වේගයෙන් වෙන්නේ කියලා සදහන් වෙන්නෙ.

ඒ වගේම තමා කෙනෙක්ට හිතෙන්න පුලුවන් ඉර අව්ව වැඩිය වැටෙන්නෙ නැති මේ දවස් වල වගේ කාළගුණයක් තිබ්බොත් බැටරි ආරෝපණය කරගන්නෙ කොහොමද කියලා. ඒකටත් ක්‍රමවේදයක් මොවුන් අපිට දීලා තියෙනවා. ඒ තමා USB Charging, මේ විදියට බැටරි ආරෝපණය කරනවනම් විනාඩි 15ක් විදුලියට සම්බන්ධ කරලා තිබ්බොත් පැය 2ක් පාවිච්චි කරන්න පුලුවන්. භාවිතා කරන්න පුලුවන් වෙලාව ගැන කියපු නිසා මේකත් කියන්නම ඕනි. මෙය සෘජු සූර්යාලෝකය යටතේ පැය 1.5ක් භාවිතා කලොත් පැය 68ක playtime එකක් වගේම පැය 2ක් හිටියොත් පැය 168 ක Playtime එකක් හම්බෙනවා. රැකියාවක් කරන කෙනෙක්ටනම් වැඩට යන එන ගමන් දාගෙන ගියාම බැටරි ආරෝපණය කරගන්නත් පුලුවන්.

මේක පාවිච්චි කරන කෙනෙක්ට බැටරිය ගැන වැඩිය ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. මොකද පාවිච්චි කරන ගමන් වුනත්  ආරෝපණය කරගැනීමේ පහසුව තියෙන නිසා. කරන්න තියෙන එකම දේ තමා ඉර අව්ව තියෙන වෙලාවක ඔලුවේ දාගෙන යන එක. මේක දැනට රතු සහ කොළ කියන වර්ණ දෙකෙන් තමා නිකුත් වෙන්නෙ.

JBL Reflect Eternal හි විශේෂතා

මේක Google Assistance සහ Alexa කියන සේවාවන් දෙකෙන්ම සමන්විත වෙනවා වගේම external microphone එකකිනුත් සමන්විත වෙනවා. මේ external microphone එකේ වැදගත් කම තමා ඔයාලට Headphone එක දාගෙන ඉන්න වෙලාවට වටපිට දේවල් අහන්න ඕනිනම් Headphone එක ගලවන්න ඕනි වෙන්නෙ නෑ. ඒ විතරක් නෙවෙයි Hands-free Calls, Multi-point Connection සහ JBL Pro Sound කියන විශේෂාංග වලින් මේ Headphone එක සමන්විත වෙනවා.

Solar power ගැන කථා කරපු නිසා ටිකත් සදහන් කරොත් හොදයි කියලා හිතෙනවා, JBL ආයතනය විතරක් නෙවෙයි ඉලෙක්ට්‍රොනික උපාංග වලට solar cells පාවිච්චි කරන්නේ. ඔයාලට මතක නම් පාසල් වලදි භාවිතා කරපු  solar-powered calculator එහෙමත් තියෙනවා. ඒ වගේම Logitech සමාගමේ solar-powered keyboards හා Garmin ආයතනයේ solar-powered smartwatch තියෙනවා. ඒ විස්තර ටික සදහන් කලේ අමතර කරුණු විදියට. ඉතින් මම හිතනවා මේ ලිපිය වැදගත් වුනා කියලා ඔයාලට, මේ වගේ තවත් ලිපියකින් ඉදිරියේදී මුණ ගැසෙමු.

ඉදිකිරීම් ක්ෂේත්‍රයටත් දැන් Augmented Reality

Augmented Reality යනු

Augmented Reality හෙවත් “අවකාශීය පරිගණනය” වර්ථමානයේ බොහෝ ව්‍යාපාරික මෙන්ම කාර්මික යෙදවුම් ගණනාවක් සඳහා භාවිතා වන නව තාක්ෂණික උපක්‍රමයක් ලෙස හඳුන්වා දිය හැකිය. අවකාශීය පරිගණන ක්‍රියාවලිය මගින් මිනිසුන් තම අවට තිබෙන පරිගණක සමඟ අන්තර්ක්‍රියා කරන අයුරු පුළුල් අයුරින් විස්තර කරනු ලබයි. කෙසේද යත් අවකාශීය පරිගණනයේදී පරිගණක යන්ත්‍ර සඳහා මිනිසාට සමාන ස්ථානයක් හිමිවේ. එනම් තවදුරටත් පරිගණකයක් එකම ස්ථානයක රඳවා තබන උපාංගයක් ලෙස නොසලකයි. Augmented Reality හි පවතින සුවිශේෂී අන්තර් නිමැවුම් දැක්වීමේ හැකියාව සහ අභිනයන් හේතුවෙන් Augmented Reality පද්ධතියක් ඩිජිටල් මාධ්‍ය වලට සැබෑවටම පවතින භෞතික පද්ධතියක් මෙන් දිස්වීම සිදුවේ.

ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා Augmented Reality හි භාවිතය

ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා Augmented Reality හි භාවිතය සඳහා නිදසුනක් ලෙස නගර සැලසුම් කිරීමේදී Augmented Reality තාක්ෂණය මගින් දෘශ්‍ය ප්‍රතිරුපයන් ලබා ගැනීම සිදු කරයි. මෙම සැලසුම් කිරීම් සඳහාඉතා විශාල දත්ත ප්‍රමාණයක් භාවිතා කරන අතර Augmented Reality මගින් එම දත්ත දෘශ්‍යමාන කල හැකිය. එමගින් ගෘහ නිර්මාණ ශිල්පීන්ට සහ නගර සැලසුම් කරුවන් හට තම සැලැස්මෙහි සැබෑ පෙනුම කෙසේ වේ දැයි පරික්ෂා කල හැකිය. එමගින් යම් ස්ථානයන්හි වෙනස්කම් සිදු කල යුතු ආකාරයන් වැනි තීරණ ඉක්මනින් ලබා ගැනීමට අවකාශය සලසයි.

ඉංජිනේරු, පාරිසරික හා ගොඩනැගිලි පාලන සැලසුම් උපදේශන ආයතනයක් වන MLM සමූහයට (MLM Group), WakingApp Augmented Reality තාක්ෂණය උපයෝගී කරගනිමින් Augmented Reality ස්ටුඩියෝ භාවිතා කරමින් සාමාන්‍ය සැලැස්මට එහා ගිය ආකාරයකට තම ව්‍යාපෘති ගනුදෙනුකරුවන්ට ප්‍රදර්ශනය කිරීමට හැකි විය.

WakingApp

Augmented Reality තාක්ෂණය ඉදිකිරීම් ක්ෂේත්‍රයට යොදා ගැනීම මගින් එම ව්‍යාපෘති අඩු පිරිවැයකින් නිම කිරීමට හැකියාව පවතී. මන්දයත් ආරම්භයේ පටන් අවසානය තෙක් ඉංජිනේරුවන්ට මෙන්ම ගෘහ නිර්මාණ ශිල්පීන්ටද මෙහි අවසන් නිමැවුම කෙරෙහි දැඩි පරීක්ෂාවකින් සහ විධිමත් අයුරින් සැලසුම් කර ගැනීමට Augmented Reality තාක්ෂණය උපකාරී වන බැවිනි. Augmented Reality ඕනෑම ගෘහ සැලැස්මක ත්‍රිමාණ ප්‍රතිරූපයට එහා ගිය අවබෝධයක් ලබා දෙයි. එමගින් පරිශීලකයාට කාර්යක්ෂමතාවය සහ ප්‍රයෝගිකභාවය යන දෙකම ලබා දෙයි.

වර්ථමානයේ සමාගම් කිහිපයක් Augmented Reality දෘඩාංග නිෂ්පාදනය කරයි. නමුත් ඉදිකිරීම් සඳහා වඩාත් ජනප්‍රිය වන්නේ Microsoft HoloLens ය. ගෘහ සැලසුම්කරුවන් Microsoft holoLens තෝරා ගැනීමට එක් ප්‍රධාන හේතුවක් වන්නේ එහි මිල සහ එය ආරක්ෂිත වීදුරු ආවරණයකින් යුක්ත වීමයි.

Microsoft_HoloLens

DAQRI සමාගම මගින් Augmented Reality තාක්ෂණය භාවිත වන කණ්නාඩි වලට සම්බන්ධ කර ඇති ආරක්ෂිත හිස් ආවරණයක් නිපදවා ඇත.

DAQRI’s_Smart_Helmet

වර්ථමානයේ මෙන්ම අනාගතයේදීද Augmented Reality තාක්ෂණය ක්‍රියාත්මක කිරීම සඳහා භාවිතා කරන උපාංග වන  smart phones, tablets වැනිඋපාංග වැඩි වැඩියෙන් භාවිතා කිරීම නිසා සමස්තයක් ලෙස සලකා බලන කල්හි 2023 වන විට Augmented Reality මෘදුකාංග වෙළඳපොලෙහි ශීඝ්‍ර වර්ධනයක් බලාපොරොත්තු විය හැකි අතර විශේෂයෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා Augmented Reality තාක්ෂණය භාවිතය කරලියට පැමිණීමත් සමඟ වඩාත් සැලසුම් සහගත නගර නිර්මාණකරණයක් බලාපොරොත්තු විය හැකිය.

Google PlayStore නොමැතිව එළිදැක්වූ Huawei Mate 30 Pro

Huawei සමාගම අපි බොහෝදෙනා දන්නා ප්‍රධාන පෙළේ තාක්ෂණික මෙවලම් නිපදවන  සමාගමක් වන අතර වේ වන විට ලෝකයේම කතා බහට ලක්වන සමාගමකි. මෙම වසරේ Huawei සමාගම එළිදැක්වීමට තිබු ප්‍රමුඛතම ස්මාර්ට් ජංගම දුරකථනය වන Huawei Mate 30 දුරකථන මාලාව සැප්තැම්බර් මාසයේ නිල වශයෙන් එලි දැක්වුවේය. නමුත් මෙය එළි දැක්වීමට පෙර Huawei සමාගම හට යම් දුෂ්කර අවස්ථාවකට මුහුණ දීමට සිදු විය. එනම් චීනය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ඇති විදේශ සබදතා ආශ්‍රිතව ඇතිවූ ගැටළුව නිසා Huawei සමාගම හට Google සමාගම හා එක්ව කටයුතු කිරීම තහනම් වීමයි.

නමුත් ඔවුන් හට මාස 3ක සහන කාලයක් ලබා දුන් අතර එය අගෝස්තු මස අවසානය දක්වා වලංගු වීය. ඒ සමග  Huawei සමාගමෙන් එළි දැක්වීමට නියමිත Huawei Mate 30 දුරකථන මාලාව සදහා Google Play Store ඇතුළුව Google සමාගමේ සේවාවන් ලබා නෙදෙන බව Google සමාගම විසින් ප්‍රකාශ කළේය. එම දුෂ්කරතා මැද Google Play Store ඇතුළුව වෙනත් සේවාවන් නොමැතිව Huawei Mate 30 ස්මාර්ට් ජංගම දුරකථන මාලාව මෙම සැප්තැම්බර් මස එලි දැක්වුවේය.

Huawei සමාගම විසින් එම ගැටළුවට ප්‍රතිචාරය වී ඇත්තේ Huawei App Gallery හරහා ලබා ගත හැකි ඔවුන්ගේම යෙදුම් සදහා වැඩි අවධානයක් යොමු කිරීමයි. එනම් Huawei සමාගම විසින් තම දුරකථන Google සමාගමේ සේවාවන් සමඟ එලි දක්වනවා වෙනුවට, ඔවුන්ගේ යෙදුම් 45,000 කට අධික සංඛ්‍යාවක් සමඟ ඒකාබද්ධ වී එලි දක්වන බවයි. එසේම Huawei සමාගම ඔවුන්ගේම යෙදුම් එකතුව වැඩි දියුණු කිරීම සදහා ඩොලර් බිලියනයක් ආයෝජනය කරන බව නිවේදනය කළේය.

Huawei Mate 30 මාලාවේ සුවිශේෂී  කැමරාව

මෙම Mate 30 මාලාවේ Leica සන්නාමය සහිත පසුපස කැමරා එකතුවක් අඩංගු වේ. එසේම Huawei විසින් එයට “Halo ring design” ලෙස ප්‍රකාශ කරයි.  Mate 30 හි ප්‍රධාන කැමරාව මෙගාපික්සල් 40 ක් වන අතර f / 1.8 ක විවරයක්ද ඇත. එහි පුළුල් කෝණික කැමරාව (ultra wide-angle camera) මෙගාපික්සල් 16 ක් වන අතර f / 2.2 ක විවරයක්ද ඇත. එසේම එහි මෙගාපික්සල් 8 ක f / 2.4 ටෙලිෆොටෝ කැමරාවක් (telephoto camera) සහ “ලේසර් නාභිගත” සංවේදකයක් ද අඩංගු වේ. එසේම මේ අතර, Mate 30 Pro විසින් අල්ට්‍රා පුළුල් කෝණික කැමරාවේ (ultra wide-angle camera) විභේදනය මෙගාපික්සල් 40 ක් දක්වාද විවරය f / 1.8 විවරයක් සහිතව ත්‍රිමාණ ගැඹුර සංවේදකයක් සඳහා ලේසර් නාභිගත සංවේදකය මාරු කරයි. එසේම Huawei Mate 30 හි ඉදිරිපස කැමරාව මෙගාපික්සල් 24කින් සමන්විත වන අතර Mate 30 Pro හි ඉදිරිපස කැමරාව මෙගාපික්සල් 32කින් සමන්විත වේ.

Huawei Mate 30 මාලාවේ වීඩියෝ තාක්ෂණය

මෙහි වීඩියෝ සම්බන්ධයෙන් ගත් කල, මෙහි වීඩියෝ 720p හි රූගත කිරීමේදී දුරකථනයට 4K 60 fps දක්වා හෝ  මන්දගාමී චලිතයකින් 7680 fps දක්වා පටිගත කළ හැකි බව Huawei සමාගම විසින් ප්‍රකාශ කල ඇත.මෙහිදී Huawei විසින් මෙම අතිශය මන්දගාමී කැමරාව ක්‍රියාකාරී ලෙස පෙන්වූයේ පියාසර කරන humming කුරුල්ලෙකුගේ දර්ශන සහිතවය, එහිදී පියාපත් චලනය වන වේගය නොතකා දැකගත හැකිය.

Huawei Mate 30 Pro හි වක්‍ර වූ තිරය

මෙම Mate 30 සහ Mate 30 Pro යන උපාංග දෙකෙහි තිර තරමක් වෙනස් ය. Mate 30 Pro අඟල් 6.53 ක තිරයක් ඇති අතර එය උපාංගයේ දාර වටා වක්‍ර වන අතර Mate 30 වඩා සාම්ප්‍රදායික පැතලි තිරයක් ඇති අතර එය අඟල් 6.62 ක ප්‍රමාණයෙන් තරමක් විශාලය.

Huawei Mate 30 මාලාවේ අභ්‍යන්තරය

මෙහි අභ්‍යන්තරය පිළිබද සලකන විට, Mate 30 සහ Mate 30 Pro දුරකථන Huawei සමාගමේහි Kirin 990 චිපය භාවිතා කරයි. චිපය Huawei සමාගම විසින් සාදන ලද 5G මොඩමයක් ඇතුළත් කළ පළමු අවස්ථාව වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස දුරකථන වල 5G අනුවාදයන් ඇත.5G මොඩමයට සමගාමීව, දුරකථනය 5G සඳහා ඇන්ටනා 14 ක් සහ මුළු ඇන්ටනා 21 ක් ඇතුළත් බව Huawei සමාගම විසින් ප්‍රකාශ කල ඇත.Mate  30 මාලාව ක්‍රියාත්මක වන්නේ EMUI 10 මත වන අතර එය Android 10 මත පදනම් වූ බව Huawei  සමාගමේ හි පාරිභෝගික ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් යූ ප්‍රකාශ කල ඇත.

Huawei Mate 30 මාලාවේ බැටරියේ සුවිශේෂීත්වය

එසේම මෙම දුරකථන දෙක අතර බැටරි ප්‍රමාණයද වෙනස් වේ. Mate 30 Pro හි  විශාල 4,500mAh බැටරියක් ඇති අතර Mate 30 හි 4,200mAh ක බැටරියක් ඇත.එසේම දුරකථන දෙකම රැහැන් රහිතව ආරෝපණය කිරීමේදී  27W දක්වාද රැහැන් සහිතව ආරෝපණය කිරීමේදී 40W වේගයෙන් ආරෝපණය කිරීමට සහාය වේ.

Huawei Mate 30 මාලාව පිළිබද වැඩිදුර තොරතුරු

Mate 30 Pro හි උපාංගයේ දාර වටා වක්‍ර පෙන්වන බැවින්, නව ස්පර්ශ සංවේදී විසඳුමක් සඳහා Huawei සමාගම  විසින් උපාංගයේ physical button ඉවත් කර ඇත. Mate 30 Pro වර්ණ හයකින් ලබා ගත හැකි අතර, Vegan ලෙදර් විකල්ප දෙකක් ඇත. එනම් කොළ සහ තැඹිලි වන අතර, අනෙකුත් වර්ණ රිදී, කොළ, දම් සහ කළු වේ.

මෘදුකාංග විශේෂාංග අතර අඳුරු මාදිලියක් (Dark Mode) සහ දුරකථනයේ සංවේදකය හරහා අභිනය පාලනය (Gesture control) කිරීම ඇතුළත් වේ. Face Unlock සහ තිරයේ ඇඟිලි සලකුණු සංවේදකය යන දෙකටම මෙම දුරකථන සහාය වන බව Huawei සමාගම විසින් ප්‍රකාශ කල ඇත.

Huawei Mate 30, 8GB RAM සහ 128GB ROM වලින් සමන්විත වන අතර එය ඩොලර් 799 සිට ආරම්භ වේ. Mate 30 Pro හි අභ්‍යන්තර ගබඞාවේ විශාලත්වය 256GB දක්වා වැඩි කරන අතර එහි 4G මාදිලිය සඳහා ඩොලර් 1,099 කින් ද හෝ 5G සඳහා ඩොලර් 1,199 කින් ද  ආරම්භ වේ.

එලි දැක්වීමට නියමිත සුවිශේෂී වූ තිරයකින් සමන්විත වන Xiaomi MI MIX ALPHA

Xiaomi සමාගම යනු මේ වන විට ලෝකය පුරාම ප්‍රචලිත, ප්‍රමුඛ පෙලේ ඇති තාක්ෂණික උපකරණ නිපදවන සමාගමකි. ස්මාර්ට් ජංගම දුරකථන සදහා  ලෝකයේ තිබෙන තරගකාරිත්වය අපි සැවොම දන්නා කරුණකි. එම නිසාම දවසින් දවස නව සොයාගැනීම් හා නව අත්හදා බැලීම් ජංගම දුරකථන සමාගම් මගින් සිදු කරයි. එසේම Xiaomi සමාගමේ Xiaomi Mi Mix දුරකතන පෙළ ඔවුන් සතු සුවිශේෂී දුරකතන පෙළක් වන්නේ සෑම අවස්ථාවකදීම ඒ සඳහා භාවිතා කරන්නා වූ පෙරලිකාර තාක්ෂණයන් සමඟයි. ගෙවී ගිය සැප්තැම්බර් මස 24 වැනි දින නිවේදනය කල Mi Mix Alpha ජංගම දුරකථනය ද ඉතා සුවිශේෂී උපාංගයක් වූ අතර දුරකථනය වටාම ඇති අලංකාර  තිරයකින් මෙම දුරකතනය සමන්විත වීම විශේෂ කරුණකි.

Mi Mix Alpha හි සුවිශේෂී වූ තිරය

ජංගම දුරකථනය වටා පැතිරුණු තිරයකින් සමන්විත වන මෙම ජංගම දුරකථනයේ screen to body අනුපාත අගය 180%ක් වන අතර මේ අනුව මෙවැනි අනුපාතයක් සහිත ලොව පළමුවැනි ජංගම දුරකථනය ලෙස මේ Mi Mix Alpha ජංගම දුරකථනය ඉතිහාස ගත වේ. එසේම මෙහි ජංගම   දුරකථනය වටාම තිරය පැතිරී ඇති අතර එය අවසන් වන ස්ථානයේ මෙහි කැමරාව පිහිටා ඇත. මෙම ජංගම දුරකතනයේ ඉහළින් හා පහළින් මිලිමීටර 2.15 (2.15 mm) පමණ වන ඉතාම තුනී පටියක් හා පිටුපස කැමරා පටියක් ඇති අතර එය Sapphire නම් වීදුරුවකින් ආරක්ෂා කර ඇත. එසේම මෙහි දාර පීඩන සංවේදී වන අතර එමඟින් මෙහි දැනුම් දීම් (Notification) පෙන්වනු ලැබේ. මෙම දුරකතනයේ පසුපස තිරය භාවිතා වන්නේ පරිශීලකයා විසින් ජංගම දුරකථනය අනෙක් පසට හැරවුවහොත් පමණක් වන අතර එය අනෙක් අවස්ථා වලදී එය සාමාන්‍යය ජංගම දුරකථනයක මෙන් පවතියි. මෙහි ඇති තවත් සුවිශේෂී කරුණක් වන්නේ, පිටුපස තිරය AI හැකියාවන්ගෙන් යුතු වන අතර ඔබ සිටිනා ස්ථානය අනුව ඊට අදාල දේවල් පෙන්වීමේ හැකියාව මෙයට තිබේ.

Mi Mix Alpha හි විශේෂිත කැමරා පද්ධතිය 

මෙහි කැමරාව ගැන කතා කරන විට, මෙහි ඉදිරිපස කිසිදු කැමරා සංවේදකයක් නොමැත. ඒ වෙනුවට මෙහි පිටුපස තිරයේ කැමරා තුනක පද්ධතියක් ඇත.මෙහි ප්‍රාථමික කැමරා සංවේදකය (primary camera)  මෙගාපික්සල් 108 ක් වන අතර ඒ සදහා විශාල 1/1.33″ රූප සංවේදක ප්‍රමාණයක් ඇත. එසේම මෙය Samsung සමාගම සංවර්ධනය කරන ලදී. පුළුල් කෝණික කැමරා සංවේදකය (ultra wide-angle camera) මෙගාපික්සල් 20ක් වන අතර ඒ සදහා විශාල  1/2.8″ රූප සංවේදක ප්‍රමාණයක් ඇත. මෙහි ටෙලිෆොටෝ සංවේදකය (Telephoto camera) මෙගාපික්සල් 12ක් වන අතර ඒ සදහා විශාල 1/2.55″ රූප සංවේදක ප්‍රමාණයක් ඇත.

Mi Mix Alpha හි අභ්‍යන්තරය සහ බැටරිය

මෙහි අභ්‍යන්තරය ගැන කතා කර විට, මෙහි 12GB RAM එකක් අන්තර්ගත වන අතර 512 GB පමණ විශාල ROM එකක් ඇත. එසේම මෙය Qualcomm Snapdragon 855+ Chipset එකෙන් බලගැන්වේ. එසේම මෙය 5G සම්බන්ධතාවයට සහය දක්වයි.

මෙම ජංගම දුරකථනය 4,050 mAh බැටරියක් සහිත වන අතර රැහැන් සහිතව ආරෝපණය කිරීමේදී 40Wක වේගයෙන් ආරෝපණය කිරීමට සහාය වේ.මෙම Xiaomi Mi Mix Alpha නම් ස්මාර්ට් ජංගම දුරකථනය Android Pie  මත පදනම් වූ MIUI 11 මෘදුකාංගය ක්‍රියාත්මක කරයි.

මෙම දුරකතයේ ස්වභාවය  ඉක්මනින්ම බිඳෙන සුලු බව ඔබට සිතෙන නමුත් මෙය ඉතා ශක්තිමත්‍ උපාංගයක් වන බව Xiaomi සමාගම විසින් ප්‍රකාශ කල තිබේ.

මෙම නවතම සුවිශේෂී වූ  MI සාමාජිකයා 2800$ ක් පමණ ඉතා ඉහළ මිලකට මිල නියම වී ඇති අතර Samsung Galaxy Fold හෝ තවමත් නිකුත් නොකල Huawei Mate X නම් foldable උපාංග යටතට අයත් වන  ජංගම දුරකථන වලටත් වඩා මෙහි මිල අධික වේ.

මෙය තවමත් concept label එක යටතේ නිර්මාණය කරනු ලබන අතර ඉතාමත් කුඩා ප්‍රමාණයකින් නිෂ්පාදනය සිදු කිරීමටත්, මෙම වසරේ දෙසැම්බර් මස පමණ වන විට ප්‍රධාන ධාරාවේ උපාංගයක් වශයෙන් වෙළඳපොලට නිකුත් කිරීමට සුදානම් වන බව Xiaomi සමාගම විසින් ප්‍රකාශ කල ඇත.

GoPro Hero 8 Black

GoPro Hero 8 Black [Featured Image]
GoPro Hero 8 Black [image 1]

GoPro යනු ලොව වඩාත්ම ප්‍රචලිත Action කැමරා, එසේත් නැත්නම් රළු භාවිතය සඳහා විශේෂිත වූ කැමරා වර්ගයකි. ජලයට, දුහුවිල්ලට, අධික පීඩනයන්ට මෙන්ම ගැටීම් වලට ඔරොත්තු දියහැකි ආකාරයට මෙම GoPro  කැමරා නිෂ්පාදනය කර ඇත. පසුගිය දිනක GoPro Hero පවුලේ නවතම සාමාජිකයා වන GoPro Hero 8 Black කැමරාව එළිදක්වන ලදි.

මෙහි විශේෂත්වය

GoPro Hero 8 Black කැමරාවෙහි විශේෂත්වයක් වන්නේ, මේ සඳහා බාහිර ආරක්ෂක ආවරණයක් අවශ්‍ය නොවීමයි. මෙහි උස, පළල සහ ඝනකම පිලිවෙලින් මිලිමීටර 48.6, 66.3, 28.4 ක් තරම් කුඩා වන අතර බර ග්‍රෑම් 126 ක් පමණ වේ. තවද කැමරාවෙහිම අඩංගු වන දිගහැරීමට සහ හැකිලීමට හැකි ආධාරක සම්බන්ධක දෙක මගින් ඉතා ශක්තිමත්ව වෙනත්  ආධාරකයකට සවි කිරීමේ හැකියාව ඇත. මෙය මුදලින් ඇමෙරිකානු ඩොලර් 399.99 ක් වේ.

GoPro Hero 8 Black [image 2]

මෙමගින් 4K/60FPS, 2.7K/120FPS, 1080P/240FPS වීඩියෝ පහසුකම් ඇති අතර මෙහි කැමරාව මෙගා පික්සල් 12 ක් වේ. තවද Time Lapse, Slo-Motion, Night Lapse පහසුකම් වලින්ද සමන්විත වේ. GoPro Hero 8 Black හි ඩිජිටල් කාචයේ SuperView, Wide, Liner, Narrow ලෙස පරාස හතරක් ඇති අතර මේවයින් වඩාත් පුළුල් පරාසයක් කැමරා ගත කිරීමට හැකි වේ. HyperSmooth 2.0 විශේෂාංගය මගින් වීඩියෝ ගත කිරීමේදී ඇතිවන චලනයන් වඩාත් සුමට කරයි.

Bluetooth සහ Wi-Fi මගින් smart ජංගම දුරකථනය හෝ tablet පරිගණකය සමග සම්බන්ධ කිරීමටත්, GoPro යෙදුම මගින් කැමරාවේ විවිධ කාර්යයන් සිදුකිරීමටත් හැකියාව ඇත. තවද GPS පහසුකම්, කටහඬින් පාලනය කිරීමේ හැකියාව වැනි විශේෂාංග ද මෙහි අඩංගු වේ. එමෙන්ම අඟල් 2 ක ස්පර්ශ සංවේදී තිරය සහ ගලවා ඉවත් කල හැකි 1220mAh ලිතියම් අයන බැටරියක් පැවතීමද නව GoPro Hero 8 Black හි විශේෂත්වයකි.

GoPro Mods

GoPro Hero 8 Black සඳහා විශේෂිත වූ උපාංග කිහිපයක්ද ඇත. මේවා GoPro Mods ලෙස හඳුන්වයි. Media Mod යනු ඉන් එකක් වන අතර මෙය GoPro Hero 8 Black කැමරාවට පිටතින් සවි කල හැකි මයික්‍රොෆෝන් උපාංගයක් වේ. මෙමගින් වඩාත් සුපැහැදිලි ශබ්ද සහිතව වීඩියෝ ලබාගැනීමට හැකි වේ. මෙය මුදලින් ඇමෙරිකානු ඩොලර් 79.99 ක් වේ.

Display Mod යනු GoPro Hero 8 Black සඳහා පිටතින් සවි කල හැකි අමතර තීරයකි. මෙය ඉදිරිපසට සහ පිටුපසට හැරවීමට හැකියාව ඇති අතර රූපගත කිරීම් වඩාත් පැහැදිලිව නිරීක්ෂණය කල හැක. මෙයද මුදලින් ඇමෙරිකානු ඩොලර් 79.99 ක් වේ.

Light Mod යනු තවත් GoPro Hero 8 Black සඳහා විශේෂිත වූ උපාංගයකි. මෙය කැමරාවට බාහිරින් සවි කල හැකි ආලෝක කරන උපාංගයක් වන අතර මෙමගින් ඡායාරූප සහ වීඩියෝ සඳහා අවශ්‍ය ආලෝකය සැපයීමට හැකි වේ. මෙය මුදලින් ඇමෙරිකානු ඩොලර් 49.99 ක් වේ.

GoPro Hero 8 Black [image 3]

GoPro Hero 8 Black හි නව විශේෂාංග බොහෝ අවස්ථාවල වාසිදායක මෙන්ම අවාසි දායක ද විය හැක. මෙහි ඇති අවාසි ලෙස, මිල තරමක් වැඩි වීම, කටහඬින් පාලනය කිරීමට යම් අවස්ථාවල අපහසු වීම වැනි දේ පෙන්වා දිය හැක. GoPro Hero 8 Black ඇත්තටම හොඳද? නරකද? යන්න ඔබම තීරණය කරන්න. තවත් මෙවැනි රසවත් ලිපියකින් නැවත හමුවෙමු.


iPhone 11, iPhone 11 Pro සහ Pro Max

iPhone 11 Featured image

2019 සැප්තැම්බර් 20 වන දින Apple සමාගම විසින් ඔවුන්ගේ නවතම iPhone 11, smart phones මාලාව ලෙස iPhone 11, iPhone 11 Pro සහ iPhone 11 Pro Max ලෙස smart phones තුනක් හඳුන්වා දෙන ලදී. iPhone XR හි ඊළඟ අනුවාදය ලෙස iPhone 11 මෙන්ම iPhone XS සහ XS Max හි ඊළඟ අනුවාද ලෙස iPhone 11 Pro සහ Pro Max ද හදුන්වා දී ඇත. iPad සහ Mac සඳහා තිබූ Pro නාමය මෙවර iPhone 11 සඳහා ද භාවිත කර තිබීම විශේෂත්වයකි. iPhone 11 හි මිල $699 සිට ඉහලට මෙන්ම iPhone 11 Pro සහ Pro Max හි මිල පිලිවෙලින් $999 සහ $1099 සිට ඉහලට වේ.

iPhone 11 Image 1

නිමාව

iPhone 11 හි පිටුපස දිලිසෙන සුළු වීදුරු මුහුණතක් සහ වටේ දාරය ඇලුමිනියම් ලෝහයෙන් නිපදවා ඇත. මෙය කළු, කහ, සුදු, රතු, දම් සහ කොල ලෙස වර්ණ හයකින් හදුන්වාදී ඇත. iPhone 11 Pro සහ Pro Max දෙකෙහිම පිටුපස නොදිලිසෙන (matte) වීදුරු මුහුණතක් සහ වටේ දාරය ශක්තිමත් වානේ වලින් නිපදවා ඇත. මෙය Midnight Green, Space Gray, Silver and Gold ලෙස වර්ණ හතරකින් හඳුන්වා දී ඇත.

iPhone 11, iPhone 11 Pro සහ iPhone 11 Pro Max තුනෙහිම Camera ප්‍රදේශය තරමක් ඉදිරියට නෙරා ආ ස්වභාවයකින් යුක්තවේ. පෙර පරිදිම ඉදිරිපස පුර්ණ තිරයක් සහ ඉහල කොටසේ Notch එක පිහිටා ඇති අතර Headphones port එකක් නැත. එමෙන්ම දුහුවිලි සහ ජල ප්‍රතිරෝධී වේ.

තිරය

iPhone 11 හි අඟල් 6.1 ක Liquid Retina HD LCD තිරයකින් සමන්විත වන අතර 1792 x 828 ක පික්සල් විභේදනයක් ඇත. iPhone 11 Pro හි අඟල් 5.8 ක Super Retina XDR OLED, 2436 x 1125 ක් පික්සල් විභේදනයක් සහිත තිරයකින් සමන්විත වේ. iPhone 11 Pro Max හි අඟල් 6.5 ක Super Retina XDR OLED තිරයක් අඩංගු වන අතර 2688 x 1242 ක පික්සල් විභේදනයකින් යුක්ත වේ.

සාපේක්ෂව iPhone 11 හි තිරයට වඩා අතිශය සුපැහැදිලි සහ ආලෝකමත් තිරයක් iPhone 11 Pro සහ iPhone 11 Pro Max සඳහා ඇත. තවද පෙර පැවති 3D Touch නොහොත් ස්පර්ශ පීඩනයට සංවේදී තිරයක් වෙනුවට Haptic Touch නොහොත් තිරය ස්පර්ශ කරගෙන සිටින කාලය අනුව ක්‍රියාකිරීමට තිරය නිර්මාණය කර ඇත.

කැමරා

කැමරාවෙහි පැහැදිලි වෙනසක් දැක ගැනීමට හැක. iPhone 11 හි කැමරා දෙකක් ඇත. ඉන් එකක් මෙගා පික්සල් 12ක wide angle lense කැමරාව වන අතර අනෙක මෙගා පික්සල් 12 ක ultra wide angle lense කැමරාව වේ. මෙමගින් අංශක 120ක ද්‍රශ්‍ය පරාසයක් ලබා දෙන අතර එමගින් පෙරට වඩා පුළුල් ප්‍රදේශයක් කැමරා කාචයට ග්‍රහණය කරගැනීමට හැකිවේ. මෙම ද්විත්ව කැමරා පද්ධතිය මගින් 2x optical zoom හැකියාවද ලැබී ඇත.

එමෙන්ම  iPhone 11 Pro සහ iPhone 11 Pro Max සඳහා ඉහත සඳහන් කල කැමරා දෙකට අමතරව තෙවන කැමරාවක් ලෙස මෙගා පික්සල් 12 ක telephoto lense එකක්ද අඩංගු වේ. මෙය වඩාත් ආලෝකයට සංවේදී වන අතර පෙරට වඩා වඩාත් කාර්යක්ෂමව ක්‍රියා කරයි. මෙම තෙවන කැමරාව portrait ජායාරුප ගැනීමට උපකාරී වේ.

තවද අලුතෙන් හදුන්වා දෙන Night Mode විශේෂාංගය මගින් අඩු ආලෝකයේ වඩාත් පැහැදිලි ජායාරුප ලබාගැනීමට හැකියාව ඇත. Quick Take විශේෂාංගය මගින් රූපගතකිරීමක් අතර තුර ජායාරුප ලබාගැනීමට හැකියාව ඇත. 4K රුගත කිරීම් කිරීමේ හැකියාවද මෙම කැමරා පද්ධති මගින් ලැබී ඇත.

එමෙන්ම iPhone 11, iPhone 11 Pro සහ Pro Max තුනෙහිම මෙගා පික්සල් 12ක ඉදිරිපස කැමරාවක් අඩංගුවේ. මෙහි විශේෂත්වය නම්, තත්පරයට රාමු 60ක සංඛ්‍යාතයෙන් 4K රුගත කිරීම් කිරීමේ හැකියාව ඉදිරිපස කැමරා වලටද ඇත. එමෙන්ම slow-motion රුගත කිරීමේ හැකියාවද මෙයට අඩංගු වේ. එය Slofie ලෙස නම්කොට ඇත.

iPhone 11 Image 4

Performance

Apple සමාගම විසින් හදුන්වාදුන් නවතම A13 Bionic processor, iPhone 11, iPhone 11 Pro සහ Pro Max තුනෙහිම අන්තර්ගත කොට ඇත. මෙමගින් පෙරට වඩා 20%ක කාර්යක්ෂමතාවක් ලැබෙන අතර ශක්ති පරිභෝජනය 40% කින් අවම වන බව සඳහන් වේ. මෙම තුනම 64GB, 256GB සහ 512GB ලෙස මතක ධාරිතා ප්‍රමාණ තුනකින් මිලදී ගත හැක.

එමෙන්ම බැටරි ආයු කාලය පෙරට වඩා වැඩි දියුණු කර ඇත. ආසන්න වශයෙන් පැය 11 පමණ ක්‍රියා කරවීමට හැකියාව ඇත. iPhone 11, iPhone 11 Pro සහ Pro Max තුනෙහිම fast charging විශේෂාංගය ඇති අතර iPhone 11 Pro සහ Pro Max සඳහා වොට් 18 ක fast charger එකක් ලැබෙන අතර iPhone 11 සඳහා fast charger එක වෙනම මිලදී ගැනීමට සිදුවේ.

iPhone XR, iPhone XS සහ XS Max තුනට සාපේක්ෂව iPhone 11, iPhone 11 Pro සහ Pro Max හි යම් දියුණුවක් දක්නට හැක. මෙහි වාසි මෙන්ම අවාසිද නැතුවාම නොවේ. කෙසේ නමුත් මුදලට සරිලන වටිනාකමක් තිබේද නැද්ද යන තීරණය ඔබ සතුය. නැවතත් මෙවැනි තාක්ෂණික පුවතකින් හමුවෙමු.

Amazon Echo Dot

Amazon Echo Dot Featured Image

ඔබ දැනටමත් දන්නවා ඇති Apple Home Pod සහ Google Home උපාංග පිළිබඳව. මේවා smart speakers උපාංග වන අතර මේවායේ අඩංගු වන digital personal assistant මෘදුකාංග මගින් පරිශීලකයාට අවශ්‍ය විවිධ කාර්යන්, පහසුවෙන් කරගැනීමට හැකි වේ. මෙම ලිපියෙන් අප කතා කරන්න බලාපොරොත්තු වන්නේ තවත් මෙවැනිම smart speaker උපාංගයක් ගැනයි.

Amazon Echo Dot Image 1

Amazon Echo Dot යනු?

Amazon Echo යනු Amazon ආයතනය නිෂ්පාදනය කරන ලද smart speaker උපාංගයයි. Amazon Echo Dot යනු තරමක් උසින් අඩු කොට නිෂ්පාදනය කරන ලද  Amazon Echo වැනිම smart speaker උපාංගයකි. මෙහි Amazon Alexa නමැති කෘතීම බුද්ධිය virtual assistant කෙනෙක් ලෙස අඩංගු වේ. මෙයින් පරිශීලකයාගේ කටහඬ හදුනාගෙන, වාචිකව ලබා දෙන විවිධ විධාන වලට අනුව ක්‍රියා කරයි. නවතම Amazon Echo Dot උපාංගය Amazon Echo Dot 3 නම් වේ.

ඒක මොන වගේද?

Amazon Echo Dot අනෙකුත් smart speaker උපාංග වලට සාපේක්ෂව ප්‍රමාණයෙන් කුඩා වේ. සිලින්ඩරාකාර හැඩයක් සහිත මෙහි කළු, අළු සහ සුදු ලෙස වර්ණ තුනකින් අපට ලබාගත හැක. මෙහි උඩ මුහුණතේ ශබ්දය අඩු වැඩි කිරීමට, mic on/off කිරීමට සහ action සඳහා බොත්තම් හතරක් ඇත. වක්‍ර මුහුණතේ speaker එක සහ විදුලිය සැපයීමට port එකක් සහ 3.5 audio out එකකින් සමන්විත වේ.  වක්‍ර මුහුණතේ උඩ කොටසේ වළල්ලක් ආකාරයට LED තීරුවක් ඇත. යට මුහුණත රබර් වන අතර එමගින් ඕනෑම මතුපිටක ලිස්ස නොයන අකාරයෙන් තැබිය හැක.

Amazon Echo Dot Image 2

මොනවද මේකෙන් කරන්නේ?

Amazon Echo Dot උපාංගය Wifi ජාලයකට සම්බන්ධ කල හැක. එමගින් පරිශීලකයා අසන ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට අන්තර්ජාලයෙන් තොරතුරු ලබාගනී. එමෙන්ම ජංගම දුරකතනයට එන Alexa App එක මගින් Amazon Echo Dot හි පිහිටුවීමේ ක්‍රියාවලිය කරගත හැක. අපට අවශ්‍ය සංගීත ශ්‍රවනය කිරීමට, කාලගුණය ඇසීමට, Uber වැනි සේවාවක් ඉල්ලීමට සහ තවත් බොහෝ දේ කරගැනීමට Amazon Echo Dot භාවිත කල හැක. මෙම සේවාවන් වලට, Amazon Echo Dot හි Skills යයි කියනු ලැබේ. එමෙන්ම මෙවැනි Skills තව තවත් Amazon Echo Dot උපාංගයට අන්තර්ජාලය හරහා ලබාගත හැක.

Amazon Echo Dot Image 3

තවද Amazon Echo Dot උපාංගය පරිශීලකයා සතුව ඇති අනෙකුත් ඉලෙක්ට්‍රොනික උපාංග හා සම්බන්ධ වේ. මේ මගින් ජංගම දුරකතනයේ Alarm, Reminder වැනි සේවාවන් පාලනය කිරීමටත්, දුරකථන ඇමතුම්, ඊමේල් සහ කෙටි පණිවිඩ සඳහා නිසි පියවර ගැනීමටත්, smart light වැනි smart home උපකරණ පාලනය කිරීමටත් හැකියාව ඇත. එමෙන්ම වාචික විධාන මගින් තවත් බොහෝ සේවාවන් ඉටු කරගැනීමට හැකියාව ඇත.

Amazon Echo Dot 3rd Generation උපාංගයක් $49.99 ක් වැනි මුදලකට දැන් මිලදී ගත හැක. මෙවැනි Amazon Echo Dot උපාංගයක් ඔබගේ නිවසෙත් තිබේ නම්, එදිනෙදා වැඩ කටයුතු බොහෝමයක් පහසු කර ගැනීමට හැකි වේ.

Intel 10th Gen සමග නවතම Acer නිෂ්පාදන රැසක්

Acer - Intel 10th Gen Launch Featured Image

2019 ඔක්තෝම්බර් 02 වන දින Acer ආයතනය මගින් Intel 10th Gen Processor සමග පැමිණෙන ඔවුන්ගේ නවතම නිෂ්පාදන හදුන්වා දීමේ උත්සවය, Mövenpick හෝටලයේදී හිදී පැවැත්විය. මෙහිදි Colombo Sri Lanka: Acer සමාගමේ, ඉදිරියේදී වෙළඳපොලට පැමිණීමට නියමිත නවතම 10th Gen Intel Core processors සහිත laptop සහ notebook පරිගණක මාදිලි කිහිපයක් හඳුන්වා දුන් අතර Intel සමාගමේ නවතම 10th Gen Processors සහ තවත් නව තාක්ෂණයන් හඳුන්වා දීම සිදු කරන ලදී.

නව Acer නිෂ්පාදන හඳුන්වාදීම

ප්‍රථමයෙන් මෙම උත්සවයේ අරමුණ සම්බන්ධව සිංගප්පූරුවේ පිහිටි Acer සමාගමේ ප්‍රධාන කළමනාකරු වන සුනිල් නායර් මහතා විසින් හැඳින්වීමක් සිදු කරන ලදී. තවද Intel 10th Gen තාක්ෂණය යොදාගනිමින් නිපදවන ලද Acer නිෂ්පාදන සම්බන්ධව වැඩි දුරටත් අදහස් දැක්වීය. ප්‍රධාන වශයෙන් හඳුන්වා දුන් නව Acer notebook මාදිලි නම්, Acer Aspire 5, Aspire 3 සහා Acer Swift 5, Swift 3 මාදිලි වේ.

Acer - Intel 10th Gen Launch Image 1

Acer Aspire Standard Series

Acer Aspire 5 මිලි මීටර 17.95 ක් ඝනකමින් යුක්ත වන අතර එහි අඟල් 15.6 ක තිරය, Full HD වේ. මෙහි අඩංගු 10th Gen Intel Core i processor, NVIDIA GeForce MX250 graphics, Intel Wi-Fi 6 (802.11ax) මගින් වඩාත් සුමටව හා කාර්යක්ෂමව ක්‍රියා කිරීමට හැකියාව ඇත. තවද වැඩි දියුණු කරන ලද තිරයේ වැඩි වර්ණ පරාසයක් සහ වඩාත් සුපැහැදිලිව ශබ්ද විකාශනය කල හැක.

Acer Aspire 3 ද පෙරට වඩා සිහින් ස්වභාවයක් ගන්නා අතර, රැගෙන යාමට වඩාත් පහසු වේ. මෙයද 10th Gen Intel Core i processor, NVIDIA GeForce MX230 graphics මගින් බලගැන්වෙන අතර පෙර පැවතී Acer BluelightShield, 802.11ac wireless antennae යනාදිය අඩංගු වේ.

Acer Swift LightWeight Series

Acer Swift 5 ලොව බරින් අඩුම අඟල් 14 තිරයක් සහිත notebook පරිගණකය ලෙස හැඳින්වේ. මෙහි බඳ කොටස මැග්නීසියම්, ලිතියම්, ඇලුමිනියම් මිශ්‍ර ලෝහයකින් නිපදවා ඇති අතර මෙය ග්‍රෑම් 990 තරම් සැහැල්ලු වේ. තවද Acer Swift 5 notebook පරිගණකය මිලි මීටර 14.95 ක් තරම් සිහින්ය. මෙහි  NVIDIA GeForce MX250 graphics සහ Intel Iris Pro graphics අඩුංගු වන අතර 10th Gen Intel Core i processor, ටෙරා බයිට් 1ක උපරිම ධාරිතාවෙන් යුත් SSD පහසුකම්, සුපැහැදිලි අඟල් 14 ක ස්පර්ශ සංවේදී තිරය, dual-band Intel Wi-Fi 6 (802.11ax) සහ ප්‍රබල Thunderbolt 3 පහසුකම් සහිත USB 3.1 Type C සම්බන්ධකයක් අඩංගු වේ. Acer Swift 5 ප්‍රමාණයෙන් කුඩා සහ බරින් අඩු වුවද, වෘත්තීයමය කාර්යන් යන එන ගමන් සිදු කිරීමට හැකියාව ඇති අතර, පැය 12.5 ක බැටරි ආයු කාලයක් සහ fast charging පහසුකම් මෙන්ම ඇඟිලි සලකුණු හදුනා ගැනීමේ උපාංගයක් ද අඩංගු වේ.

Acer Swift 3 බොහෝ දුරට Acer Swift 5 හා සමාන වන අතර බර කිලෝග්‍රෑම් 1.19 ක් හා ඝනකම ,මිලි මීටර 15.95 වේ. තවද බැටරි ආයු කාලය තරමක් අඩුය.

මීට අමතරව Acer Spin notebook පරිගණක සම්බන්ධව කෙටි හැඳින්වීමක් කල අතර මෙයද Intel 10th Gen Processor මගින් බලගැන්වෙන බව පැවසීය. තවද Acer Nitro සහ Predator Gaming laptop පරිගණක පිළිබඳව ද සඳහන් කල අතර මේවායේ Intel 10th Gen Processor නොව 9th Gen Processor අඩංගු වන බව පැවසීය.

Intel 10th Gen හඳුන්වාදීම

ඉන්පසු Acer-Global Accounts Team හි වාණිජ ප්‍රධානී සුමිත්‍ර කේ. රායි මහතා විසින් Intel 10th Gen තාක්ෂණය පිලිබඳ හැඳින්වීමක් සහ Intel හි නව තාක්ෂණයන් පිළිබඳව තවදුරටත් හඳුන්වා දෙන ලදී.

10th Gen Intel Core Processors

Intel සමාගමේ නිෂ්පාදිත නවතම 10th Gen Intel Core Processors හි, වැඩි දියුණු කරන ලද විශේෂාංග මෙන්ම, අලුතෙන්ම එක් කරන ලද විශේෂාංග කිහිපයක්ද ඇත. මෙමගින් කාර්යක්ෂම තාව දෙගුණයකින් ද, 2.5 ගුණයකින් වේගවත් photo rendering, තුන් ගුණයකින් වේගවත් Wi-Fi පහසුකම් සහ අට ගුණයකින් වේගවත් Thunderbolt දත්ත හුවමාරු පහසුකම් ලැබෙන බව පැවසීය. තවද 10th Gen Intel Core Processors, “Ice Lake” සහ “Comet Lake” ලෙස වර්ගීකරණය කර ඇති අතර ඒවායේ වෙනස්කම් පහත දැක්වේ.

Intel Adaptix

මෙහිදී හඳුන්වා දුන් තවත් තාක්ෂණයක් වන්නේ Intel Adaptix. මෙමගින් පරිගණකයේ processor ක්‍රියාකාරීත්වය සහ graphics card හි ක්‍රියාකාරීත්වය ගතිකව වෙනස් කිරීම සිදු කරයි. පරිශීලකයා කරන කාර්යය අනුව කාර්යක්ෂමතාව උපරිම කිරීමටත්, graphics ගුණාත්මක භාවය උපරිම කිරීමටත්, ශක්ති පරිභෝජනය උපරිම ඵලදායී තාවකින් සිදු කිරීමටත් මෙමගින් හැකිවේ. මේ සඳහා Machine Learning තාක්ෂණය උපයෝගී කරගෙන ඇත. Intel Adaptix ගැන වැඩි දුර තොරතුරු දන ගැනීමට පිවිසෙන්න, https://www.intel.com/content/www/us/en/architecture-and-technology/adaptix.html

Wi-Fi 6

Intel 10th Gen සමග එන තවත් තාක්ෂණයක් වන්නේ Wi-Fi 6 තාක්ෂණයයි. පෙරට වඩා තුන්ගුණයක් වේගවත් සහ හතර ගුණයකින් වැඩි ධාරිතාවයකින් Wi-Fi 6 සමන්විත වේ. දශකයේ දියුණුම Wi-Fi තාක්ෂණය මෙය බවද පැවසීය. වැඩි දුර තොරතුරු, https://www.intel.com/content/www/us/en/products/docs/wireless/overview.html

Thunderbolt 3

Thunderbolt 3 තාක්ෂණය මගින් වඩාත් වේගවත් සහ පහසුවෙන් දත්ත හුවමාරු කර ගැනීමට හැකි වේ. මෙය USB Type C හි වැඩි දියුණු කරන ලද තාක්ෂණයකි. තනි Thunderbolt 3 port එකක් ආධාරයෙන්, 4K තිරයන් කිහිපයක් සම්බන්ධ කිරීම, ජාලගත කිරීම, USB මගින් දත්ත හුවමාරු කිරීම, බැටරි ආරෝපණය ඇතුලු සියළු සම්බන්ධක කාර්යන් සිදුකල හැකි අතර USB 3.0 වලට වඩා 8 ගුණයකින් වේගවත් බව පැවසීය. වැඩි විස්තර, https://www.intel.com/content/www/us/en/products/docs/io/thunderbolt/thunderbolt-technology-general.html

Intel Optane Memory H10 With Solid State Storage

Intel Optane Memory තාක්ෂණය, පරිගණකයක කාර්යක්ෂමතාව වැඩි කරන තාක්ෂණයකි. මෙහිදී Machine Learning තාක්ෂණය උපයෝගී කරගනිමින්, පරිශීලකයා විසින් නිරන්තරයෙන් භාවිතා කරන පරිගණක වැඩසටහන්, මෘදුකාංග සහ දත්ත හඳුනාගෙන, ඒවා වඩාත් වේගවත් SSD මතකයක ගබඩා කොට තබා ගන්නා අතර, මෙම ක්‍රියාවලිය සෑමවිටම යාවත්කාලීන කරයි. මේ මගින් පරිගණකයේ කාර්යක්ෂමතාව මෙන්ම ඵලදයීතවද වැඩි කරයි. වැඩි විස්තර, https://www.intel.com/content/www/us/en/architecture-and-technology/optane-memory.html

වැඩසටහන් නිමාව

අවසානයේ, හොඳම Acer අලෙවි නියෝජිතයන් හට තෑගි ප්‍රධානය කිරීම හා රාත්‍රී භෝජන සංග්‍රහයෙන් අනතුරුව වැඩසටහන නිමාවට පත් විය. වැඩසටහනේ ඡායාරූප පෙළක් පහත දැක්වේ.

Android සංස්කරණයන් නාමකරණයේ මෙතෙක් පැවති ක්‍රමය Android 10 සමග නිමාවේ

Android වල ආරම්භයේ සිටම ඉංග්‍රීසි හෝඩියේ අකුරු තිබෙන පිළිවෙලට සෑම Android සංස්කරණයක්ම හැඳින්වීම සඳහා අතුරුපසක නමක් යොදාගත් සංස්කෘතිය නිමා කිරීමට Google සමාගම තීරණය කර ඇත. එනම් Android Q වල සිට අවුරුදු 10ක එම සංස්කෘතිය නිමා කරමින් Android Q සංස්කරණය  Android 10 ලෙස Google සමාගම විසින් ප්‍රකාශ කර ඇත. මෙසේ නම් කිරීමට හේතුව වී තිබෙන්නේ, Android මෙහෙයුම් පද්ධතිය මේ වන විට ලෝකය පුරාම භාවිතා වන මෙය operating system එකක් වන සහ එවිට ඒ සදහා අතුරුපස වල නම් භාවිතා කිරීමේදී එම අතුරුපසෙහි නම් සියලු දෙනාම නොදන්නා බැවින්, සියළුදෙනා හට පහසුවෙන් තේරුම් ගත හැකි බැවින් නිසාය.

එසේම මීට අමතරව 2014 වර්ෂයෙන් පසුව Android Logo එක නැවත වරක් වෙනස් කිරීමට මෙම වසරේ කටයුතු කර ඇත. එනම් කොළ වර්ණය, Android Robot ගේ හැඩය මෙන්ම අකුරු වල වර්ණය ද මෙසේ වෙනස් කිරීමට කටයුතු කර ඇත.

එසේම Android 10 මෙහෙයුම් පද්ධතිය  නිල වශයෙන් සැප්තැම්බර් 3 සිට Pixel දුරකථන සදහා ලබා දෙන අතර  එතැන් පටන් අනිකුත් ස්මාර්ට් ජංගම දුරකථන සදහා ලබාදීමට කටයුතු කරන බව තව දුරටත් වාර්තා වී ඇත.

මේ වන විට Android 10 පිළිබද දන්නා කරුණු

Android Q එනම් Android 10 හි beta Version කිහිපයක්ම මීට පෙර Android ස්මාර්ට් ජංගම දුරකථන සදහා ලබා දී ඇති අතර එහිදී එහි නවතම විශේෂාංග, යවත්කාලිනයන් අත්හදා බලා ඇත. එනම් මේ වන විට Android 10 සමග නව විශේෂාංග කිහිපයක් පැමිණීමට ඇත. එනම් 5G තාක්ෂණය, Live Captions, Smart Reply, WI-FI තාක්ෂණය QR Codes සමඟ, Bubbles දැනුම්දීම් විශේෂාංගය, ආරක්ෂාව සහ පෞද්ගලිකත්ව විශේෂාංග, Dark Theme  එසේම වඩාත් දියුණු වූ වඩා හොඳ දැනුම්දීම් පාලනයන් ඒ අතර වේ.

විශේෂාංග කිහිපයක් කෙටියෙන්

Bubbles දැනුම්දීම් විශේෂාංගය

ඔබ මේ වන විට Facebook Messenger හි Chat Head විශේෂාංගය භාවිතා කර තිබේද? මේ වන විටත් ඔබ තවම එය භාවිතා කරනවාද? එසේනම් Android හි එන Bubbles දැනුම්දීම් විශේෂාංගය සදහාද ඔබ වඩාත් කැමති වේ. එනම් දැනුම් දීමේ ක්‍රමයක් ලෙස එය භාවිතා කිරීමට  අවශ්‍ය සෑම මෘදුකාංගයක් සදහා අනුමැතිය ලබාදීමෙන් එම විශේෂාංගය භාවිතා කල හැක.

WI-FI තාක්ෂණය QR Codes සමඟ

බොහෝ විට තම  WI-FI ජාලයේ හි ඇති රහස්පදය තම යහළුවෙකුට හෝ කිසියම් පුද්ගලයෙකුට ලබා දීමේදී හෝ ඔවුන්ගෙන් WI-FI ජාලයේ හි ඇති රහස්පදය ඇසීමේදී අපහසුතා වලට මුහුණ දීමට සිදුවේ. එනම් Android 10 මගින් ඒ සදහා විසදුමක් ලබා දී ඇත. එනම් QR Code යක් මගින් තම ස්මාර්ට් ජංගම දුරකථනයෙන්  WI-FI ජාලය සදහා ප්‍රවේශ විය හැක.

DARK THEME

මෙවර Google I /O හිදී නිල වශයෙන් Dark Theme Android Q හෙවත් Android 10 සමඟ පැමිණෙන බව ප්‍රකාශ කළේය. එනම් මෙම Dark Theme ය, හරි කළු පැහැයක් ගන්නා බවත් , එම පැහැය පරිශීලකයාට වඩාත් යෝග්‍යය වන බවත්, සහ  බැටරිය භාවිතා කරන කාලය හොදින් කළමනාකරණය හැකි බව දැනුම් දී ඇත.

LIVE CAPTION

Live CAPTION මගින්, වීඩියෝවක් නරඹන විට ඒ සඳහා උපසිරැසි එක් කරයි. එය ඕනෑම වීඩියෝවක් සඳහා වලංගු වන අතර ඒ සදහා ඔබට දත්ත සම්බන්ධතාවයක් අවශ්‍ය නොවන අතර ඒ සියල්ල උපාංගය හරහා සිදු වේ. විශේෂයෙන් මෙය බිහිරි පරිශීලකයින් සඳහා වඩා යෝග්‍යය වන බව බොහෝ දෙනාගේ මතය වේ.

ආරක්ෂාව සහ පෞද්ගලිකත්ව විශේෂාංග

මෙවර Google I /O හිදී  ද Google විසින් Android හි ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය පිළිබද වඩාත් අවදානය යොමු කරන බව සදහන් කළේය. එනම් ඒ බව සනාථ කරමින් Android 10 හි විශේෂිත රහස්‍යතා අංශයක් අඩංගු වන බව වාර්තා වේ. එය විවෘත කිරීමෙන් විවිධ අවසර යෙදුම් සඳහා ඉල්ලා සිටිය හැකිය. එනම් උදාහරණයක් ලෙස දර්ශනය, ස්ථානය, කැමරාව, සම්බන්ධතා සහ මයික්‍රොෆෝනය වැනි දැ භාවිතා කල හැක.

Glance Clock -කාර්යබහුල දින චර්යාව පහසු කිරීමට උපකාරී වන බිත්ති ඔරලෝසුව

මොකක්ද මේ Glance Clock?

වර්ථමානයේ නිෂ්පාදනය වන බොහෝ උපාංග smart සංකල්පය පෙරදැරිව නිෂ්පාදනය කිරීම අනිවාර්ය අංගයක් බවට පත්වී තිබේ. ඒ අනුව smartTV, smartWatches, smartPhones වැනි බොහෝ උපාංගයන් නිර්මාණය වී තිබෙනු දක්නට ලැබේ. smartClock උපාංගයක් ලෙස මෙම “Glance Clock” හඳුන්වා දිය හැකිය. මෙමගින් සාමාන්‍ය බිත්ති ඔරලෝසුවට smart functionalities අන්තර්ගත කරවා ඇත. මෙමගින් ඔබට වෙලාව පමණක් නොව notifications, alerts, කාලගුණ තොරතුරු  සහ තවත් බොහෝ දේ බලා ගත හැකිය.

Glance_Clock_හි_සාමාන්‍ය_පෙනුම

Glance Clock හට සිදුකල හැකි කාර්යයන්

Glance Clock සඳහා අරමුදල් සපයන ලද්දේ Indiegogo හි සාර්ථක සමූහ අරමුදල් රැස් කිරීමේ ව්‍යපෘතියකිනි. විවිධ අංගයන්ගෙන් සමන්විත මේ Glance Clock ඔබගේ කාර්යබහුල දින චර්යාව කළමනාකරණය කිරීමට මහඟු ලෙස උපකාරී වේ. මෙම smart බිත්ති ඔරලෝසුව අදාල වෙලාව මෙන්ම තවත් වැදගත් තොරතුරු පරිශීලකයා වෙත එකවරම දක්වනු ලබයි. Glance Clock පරිශීලකයාගේ smart ජංගම දුරකථනය සමඟ Bluetooth තාක්ෂණය ඔස්සේ mobile app එකක් හරහා සම්බන්ධ වී එමගින් තොරතුරු රැගෙන ඔරලෝසුවේ දක්වයි. පරිශීලකයාට එසේ දිස්වීමට අවශ්‍ය තොරතුරු තෝරා දිය හැකිය. Glance Clock හට ඔබට වැදගත් රැස්වීම් වේලාවන්, දෛනික කාලගුණ අනාවැකි, ඔබේ ශාරීරික යෝග්‍යතා දත්ත ආදී තොරතුරු මෙන්ම ඔබේ UBER Taxi රියදුරා දැන් පැමිණ ඇති බවට පණිවිඩය පවා දැක්වීමේ හැකියාව පවතී.

Glance Clock සතුව රෙද්දකින් ආවරණය කරන ලද අපූරු LED Display එකක් පවතී. එය ඇලුමිනියම් රාමුවකට සම්බන්ධ කර ඇත. මෙම LED Display එක බොහෝ දීප්තිමත් මෙන්ම වර්ණවත් ද වන අතර දුරින් සිට වුවද ඔරලෝසුවේ සටහන් වන දෑ පහසුවෙන් දර්ශනය වේ. දුරකථන ඇමතුම් සහ වෙනත් දැනුම්දීම් (alerts) සඳහා audible alerts ද Glance Clock සතුව පවතී.

දුරකථන_ඇමතුමක්_ලැබෙන_බව_දැන්වීම

Glance Clock ක්‍රියාත්මක වන අයුරු

Glance Clock සියළු තොරතුරු ලබා ගන්නේ විවිධ applications හරහා smart උපාංග සමඟ සම්බන්ධ වී ඒ හරහා cloud එකක් සමඟ සම්බන්ධ වීමෙනි. මෙම Glance App හරහා පරිශීලකයාට ඔරලෝසුවේ දිස්වීමට අවශ්‍ය තොරතුරු තෝරා දිය හැකිය. Glance Clock කාලීන දත්ත විශ්ලේෂණය කිරීමට සහ personal profile සාදා ගත හැකි වන පරිදි වැඩසටහන්ගත කර ඇත. මේ නිසා Glance Clock නිවැරදි අවස්ථාවේ නිවැරදි තොරතුරු ප්‍රදර්ශනය කිරීමට සමත්ය.

Glance Clock එක setup කිරීම ඉතා පහසුය. පළමුව Glance Clock App එක ඔබේ smart phone එකට ඇතුළත් කර ගත යුතුය. ඉන්පසු ඔබ ප්‍රිය කරන apps වලට Glance Clock App සමඟ සම්බන්ධ වීමට අවකාශ දිය යුතුය. Glance Clock App එක iOS සහ Android ඕනෑම උපාංගයක භාවිතා කල හැකිය. Glance Clock App යනු Glance Clock එක පාලනය කල හැකි මුලිකම ක්‍රමවේදයයි. ඔබට Glance Clock එක ශබ්දය භාවිතයෙන් හැසිරවීම සඳහා IFTTT සේවාව හරහා amazon Alexa සමඟ සම්බන්ධ කල යුතුය.

Glance Clock එක AC Current සමඟ සම්බන්ධ කොට හෝ බැටරි බලයෙන් (wireless) භාවිත කිරීමේ හැකියාව පවතී. බැටරිය සම්පුර්ණයෙන්ම ආරෝපණය වී ඇති විට දින දෙකක් පමණ භාවිතා කල හැකිය. බැටරිය නැවත ආරෝපණය කිරීමට අවශ්‍යය වූ විට එය Glance Clock App එක මගින් පරිශීලකයාට දැනුම් දෙනු ලබයි.

ප්‍රධාන වශයෙන් මෙම නිෂ්පාදනය වර්ණ දෙකකින් වෙළඳපොලේ දක්නට ලැබේ. එනම් Light Silver සහ Darker Graphite ය. තවමත් නව නිපැයුමක් ලෙස පවතින මෙම නිෂ්පාදනයේ සාමාන්‍ය වෙළඳ වටිනාකම ඇමෙරිකානු ඩොලර් 200 ක් පමණ වේ.

OnePlus සමාගමෙන් එළිදැක්වීමට නියමිත OnePlus TV

OnePlus යනු වර්තමානයේදී  ස්මාර්ට් ජංගම දුරකථන ලෝකයට එකතු වූ නවතම සන්නාමයක් වන අතර මෙහි විශේෂය වන්නේ ඉතා පහසු මිලකට වැඩි පහසුකම් සහිත ස්මාර්ට් ජංගම දුරකථන වෙළඳපොළෙන් ලබාගත හැකි වීමයි. ස්මාර්ට් ජංගම දුරකථන වලට අමතරව OnePlus සමාගම අලුත් නිෂ්පාදනයක් වෙළදපොළට හදුන්වා දීමට නියමිත බව වාර්තා කළේය. එනම් එළඹෙන සැප්තැම්බර් මාසයේදී මෙම OnePlus TV නම් රුපවාහිනී යන්ත්‍රය ඉන්දියානු වෙළඳපොළ සඳහා හදුන්වා දීමට සුදානම් බව OnePlus සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී වන Pete Lau විසින් ඔහුගේ පෞද්ගලික Blog පිටුවේ සදහන් කල ඇත.

මෙම රුපවාහිනී යන්ත්‍රය ගැන කතා කරන විට එය Android මෙහෙයුම් පද්ධතියකින් සමන්විත වන අතර එය අඟල් 55 ක විශාලත්වයක් ගන්නා අතර එය QLED තිරයකින් සමන්විත බව OnePlus සමාගමේ උප සභාපති වන Akis Evangelidis Twitter පණිවිඩයකින් වාර්තා කල ඇත. QLED යනු Quantum-dot LED තිර තාක්ෂණයක් වන අතර මෙහි විශේෂත්වය වන්නේ එය OLED (Oragnic LED) මෙන්  ආලෝකය විමෝචනය නොකරන අතර LED පසුතල ආලෝකය මත රඳා පවතී. එම නිසා QLED රූපවාහිනියක රූපයේ ගුණාත්මකභාවය බොහෝ දුරට රඳා පවතින්නේ පසුබිම් ආලෝකකරණ විසඳුම කෙතරම් ඵලදායිද යන්න මතය.

එසේම මෙහි Smart TV සංකල්පය යටතේ නිර්මාණය වන මෙය Bluetooth තාක්ෂණය ඇතුළුව තවත් නවීන පහසුකම් වල යුක්ත වන බවට OnePlus සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී වන Pete Lau විසින් ඔහුගේ පෞද්ගලික Blog පිටුවේ සදහන් කල ඇත. එනම් ඔහු බොහෝ සේ සදහන් කල ඇත්තේ OnePlus රුපවාහිනිය IoT හා අන්තර් සම්බන්ධතා ලෝකයට සම්බන්ධ වීමට ගත්  වැදගත් පියවරක් බවයි.

එසේම මෙම රුපවාහිනය ප්‍රථමයෙන් ඉන්දියානු වෙළඳපොළට හදුන්වා දෙන අතර පසුව හැකි ඉක්මනින් ලෝක වෙළදපොලට හදුන්වා දීමට සැලසුම් කරන බව වාර්තා කල ඇත.  එසේම තවත් නවීන තාක්ෂණ ගැන සදහන් කල තිබු අතර මෙම OnePlus TV රුපවාහිනී යද OnePlus ස්මාර්ට් ජංගම දුරකථන මෙන් ඉතා වැඩි පහසුකම් ප්‍රමාණයකින් යුක්තව වෙළදපොළට පැමිණෙන බව බොහෝදෙනාගේ මතය වේ.