TechWire

Category - Electronics

වැඩි වේගයක් සමග අලුතින් පැමිණෙන Wi-Fi 6

Wi-Fi හි ඉතිහාසය

අද ලිපියෙන් ඉදිරිපත් කරන්නේ හැමෝම වගේ දන්න Wi-Fi පිළිබද අලුත්ම තොරතුරක්. ඒකට කලින් Wi-Fi වල ඉතිහාසය ගැන පොඩ්ඩක් සදහන් කරනවනම්, 1997 දී තමයි Wi-Fi පළමුවෙන්ම පරිශීලකයන්ට හදුන්වා දෙනු ලැබුවේ. මුල් කාලයේදී තත්පරයට මෙගාබයිට් 2 (2MB) වේගයක් සහිතව උපාංග අතර රැහැන් රහිතව දත්ත හුවමාරු කිරීමේ හැකියාවක් Wi-FI මගින් ලබාදුන්නා. 1999දී තමා එදිනෙදා භාවිතය සදහා WI-F i හදුන්වා දෙනු ලැබුවේ. වරින් වර විවිධ වෙනස්කම් සහ වර්ධනයන් සමගින් ඉදිරියට පැමිණුනු W-Fi හි අලුත්ම වැඩි දියුණු කිරීම තමා Wi-Fi 6 කියන්නේ. තාක්ෂණයේ දියුණුවත් සමගම පසුගිය දශකයකට ආසන්න කාලය පුරාවටම Wi-Fi භාවිතා කරන උපාංග පරිහරණය වැඩිවුනා. ඒකත් එක්කම ආපු ප්‍රශ්ණයක් තමා උපාංග වැඩිවෙන තරමට වේගය අඩුවීමක් සිදු වීම. මෙන්න මේ ප්‍රශ්ණයට විසදුමක් ලබාදීම තමා මෙම නව Wi-Fi තාක්ෂණයේ මූලික අරමුණ ලෙස සදහන් කරන්නේ. වේගවත් දත්ත හුවමාරුවක් මගින් දත්ත කාර්යක්ෂමතාව ඉහල නැංවීම තමා මෙමගින් මූලිකවම බලාපොරොත්තු වෙන්නේ.

WiFi 6

නව Wi-Fi තාක්ෂණය කොපමණ වේගවත්ද?

කෙටිම උත්තරය තමා 3.5 Gbps වේගයක් සහිතව පැවතුනු Wi-Fi 5, 9.6 Gbps වේගයක් ලබාගැනීමට සමත් වෙලා තිබෙනවා Wi-Fi 6 ඉදිරිපත් වන විටදී. කෙසේ නමුත් සිද්ධාන්තමය වශයෙන් මෙවැනි වේගයක් ඇති බවට පැවසුවත් ප්‍රායෝගිකව මේ වගේ වේගයක් ලබාගැනීමට නොහැකි බව අපි හැමෝම දන්න කරුණක්. එසේ ලබාගැනීමට හැකියාවක් තිබුනත් සාමාන්‍ය පරිහරණයේදී එවැනි වේගයක අවශ්‍යතාවක් තිබෙනවාද කියන එකත් අපැහැදිලි කාරණයක්. සාමාන්‍ය බාගත කිරීමේ වේගය 72 Mbps පමණ ප්‍රමාණවත් කියලා තමා අන්තර්ජාලයේ සදහන් වන්නේ.

නමුත් මෙම නව Wi-Fi තාක්ෂණයේදී මෙම වේගය ඉතාම ප්‍රයෝජනවත් වනවා මොකද මෙම සම්පූර්ණ වේගයම තනි උපාංගයක් සදහා උවමනා නැති වුවත් උපාංග කිහිපයක් සම්බන්ධ වූ විට සෑම උපාංගයක් සදහාම විභව වේගයක් ලබා ගැනීමට හැකියාවක් මෙමගින් සැලසෙනවා.

Wi-Fi 6 හි තාක්ෂණය

Wi-Fi 6හි ප්‍රධාන තාක්ෂණයන් දෙකක් සමන්විත වෙනවා වේගවත් බව ලබාගැනීම සදහා. MU-MIMO සහ OFDMA කියන තාක්ෂණයන් තමා මේ විදියට පාවිච්චි වන්නේ.

MU-MIMO මගින් “multi-user, multiple input, multiple output” තමා නියෝජනය වන්නේ. මෙම තාක්ෂණයන් දැනටමත් routers සහ උපාංගයන් සදහා භාවිතා වෙනවා. එනමුත් Wi-Fi 6 මගින් එය වැඩි දියුණු කර තිබෙනවා. මෙම තාක්ෂණය මගින් රවුටරයකට උපාංග කිහිපයකට එකවර සම්බන්ධ වීමේ හැකියාව ලබා දී තිබෙනවා. මෙමගින් දැනට උපාංග හතරකට එකවර රවුටරය සමග සන්නිවේදනය කිරීමේ හැකියාවක් පවතිනවා, නව Wi-Fi තාක්ෂණය මගින් එය 8 දක්වා ඉහල දැමීමට හැකියාව තිබෙනවා. අනෙක් තාක්ෂණය වන OFDMA මගින් “Orthogonal Frequency Division Multiple Access” යන්න තමා නියෝජනය කරන්නේ. මෙමගින් එක් සම්ප්‍රේෂණයක් තුලින් උපාංග කිහිපයකට එකවර දත්ත ලබාදීමේ හැකියාව ලැබෙනවා.

මෙහි ඇති ආරක්ෂක උපක්‍රමයන්

පහුගිය වසරේදී Wi-Fi එහි විශාලතම ආරක්ෂක වැඩිදියුණු කිරීම සිදු කරනු ලැබුවා. ඒ නවතම WPA3 protocol භාවිතා කිරීම මගින්. WPA3 ආරක්ෂණය සහිත ජාල hack කිරීමේ හැකියාව අවම මට්ටමකට ගෙන එනවා. යම් hacker කෙනෙකුට hack කිරීමට හැකි වුනත් ප්‍රයෝජනවත් දත්ත ප්‍රමාණයක් ලබා ගැනීමට නොහැකියි. දැනට පවතින උපාංග වලත් WPA3 තිබුණත් එය අනිවාර්‍ය් නැහැ. නමුත් Wi-Fi 6 උපාංග සදහා Wi-Fi Alliance මගින් WPA3 ඇති බවට සහතිකයක් ලබාගැනීම අනිවාර්‍ය් වනවා.

WiFi 6

නව Wi-Fi 6 සේවාව ලබාගන්නේ කෙසේද?

Wi-Fi 6 හි අත්දැකීම ලබාගැනීමට නම් අනිවාර්යයෙන්ම අලුත් උපාංග මිලදී ගැනීමට සිදුවනවා. ඒ වගේම තමා Wi-Fi 6 රවුටරයක් මිලදී ගැනීමටද සිදු වනවා. මේ වනවිට වෙළදපලට මෙම රවුටර සහ උපාංග නිකුත් වෙලා තියෙනවා. Deco Mesh, AX1500 Mesh, Archer AX90 මෙවැනි රවුටර සදහා උදාහරණ ලෙස දක්වන්න පුලුවන්.

wifi 6 system

මේ වසරේ CES හිදී  Wi-Fi 6 Routers සහ උපාංග ඉතාමත් කැපී පෙනෙන අංග බවට පත්වී තිබුනා. මෙවර CES සමුළුවේදී Wi-Fi හි මෙම නව ප්‍රමිතිය අවසානයේදී යථාර්තයක් බවට පත්වුණා කිව්වොත් නිවැරදියි, මොකද මේක වසර ගණනක් තිස්සේ සිද්ධාන්තයක් විදියට තමා පැවතුනේ.

Wi-Fi 6 කරලියට පැමීණීමත් සමගම කතාබහට ලක්වුණු දෙයක් තමා Wi-Fi 6E කියන්නේ. Wi-Fi 6 වලට වඩා වේගවත් බවින් හා ධාරිතාවෙන් වැඩි බව පමණයි දැනට සදහන් වෙන්නේ. ඒ ගැන තව විස්තර ඉදිරිපත් වීමෙන් පසු ගෙන එන බලාපොරොත්තුවෙන් මේ ලිපිය අවසන් කරනවා. ඉතින් මේ වගේ වැදගත් ලිපියකින් ඉදිරියේදී  නැවතත් හමුවෙමු.

DJI Mavic Mini

DJI Mavic Mini Featured image

DJI යනු ලොව ප්‍රමුඛ පෙළේ Drone සහ කැමරා උපකරණ නිෂ්පාදනය කරන ආයතනයකි. DJI Phantom, DJI Mavic වැනි ලොව සුපතල Drone යානා සහ DJI Osmo, DJI Ronin වැනි ඡායාරූපකරණයේදී සහ වීඩියෝකරණයේදී යොදාගන්නා කැමරා උපාංග මෙන්ම RoboMaster, DJI FPV වැනි නිෂ්පාදනද DJI සමාගම විසින් හඳුන්වා දී ඇත.

DJI Mavic Mini image 1

හුරුබුහුටි Drone යානය

DJI Mavic යනු වීඩියෝ කරණය සඳහා නිෂ්පාදනය කර ඇති Drone යානා වර්ගයකි. මෙහි DJI Mavic 2, DJI Mavic Air, Mavic Pro ලෙස වර්ග කිහිපයක්ම පවතී. DJI Mavic Mini මෙම Drone පවුලේම තරමක් ප්‍රමාණයෙන් කුඩා හුරුබුහුටි පෙනුමකින් යුත්  Drone යානාවකි.

අනෙකුත් DJI Mavic Drone යානා මෙන් වෘත්තීයමය රූපගත කිරීම් සඳහා එතරම් සුදුසු නොවන DJI Mavic Mini Drone යානාව, විනෝදාංශයක් ලෙස වීඩියෝකරණයේ නියැලෙන්නන් සඳහා වඩා යෝග්‍ය වේ. මෙහි ඇති ප්‍රධානම වාසිය නම්, තමන්ගේ බෑගයේ හෝ සාක්කුවක දැමිය හැකි තරම් කුඩා වීම සහ බරින් අඩුවීමයි. එමෙන්ම මෙහි තටු හැකිලිය හැකි නිසා තැනින් තැනට රැගෙන යාම ඉතාමත් පහසු වේ.

DJI Mavic Mini image 2

DJI Mavic Mini හි විශේෂාංග

DJI Mavic Mini Drone යානාව ග්‍රෑම් 249ක් තරම් සැහැල්ලු වේ. එනම් සාමාන්‍ය ජංගම දුරකතනයක බරට ආසන්න වේ. නමුත් එක් බැටරි ආරෝපණයකින් විනාඩි 30ක කාලයක් පියාසර කරවීමට හැක. එමෙන්ම කිලෝමීටර 4ක් දක්වා දුරකට පියාසර කරවීමට හැක. තවද Vision Sensor + GPS Precise Hover තාක්ෂණය මගින් Drone යානාව ගුවනේ එක තැන නතර කර තැබිය හැක. 3-Axis Gimbal කැමරා ආධාරකය මගින් යානයේ ඇති කැමරාව අක්ෂ තුන ඔස්සේ නොසෙල්වී පවත්වා ගැනීමට හැකි වේ. එමෙන්ම මෙහි මෙගා පික්සල් 12ක කැමරාවෙන් 2.7K වීඩියෝ ගත කිරීමේ හැකියාව ඇත.

DJI Mavic Mini image 3

DJI Fly ජංගම දුරකථන යෙදුම

මේ සඳහාම නිර්මාණය වුනු DJI Fly දුරකථන යෙදුම මගින් DJI Mavic Mini Drone යානය පහසුවෙන් හැසිරවීමට හැක. එමෙන්ම යානයෙන් ලබාගත් වීඩියෝ පට පහසුවෙන් ක්ෂණිකව සංස්කරණය කිරීමට මෙම ජංගම දුරකථන යෙදුමෙහි ඉඩකඩ ලබාදී ඇත. DJI Mavic Mini Drone යානයේ සහ DJI Fly ජංගම දුරකථන යෙදුමෙහි තවත් විශේෂත්වයක් වන්නේ මෙහි එන QuickShot modes විශේෂාංගයයි. මෙහි Dronie, Circle, Helix, සහ Rocket ලෙස ස්ථාපිත කර ඇති වීඩියෝ උපක්‍රම 4ක් ඇත. පරිශීලකයාට අවශ්‍ය QuickShot Mode එකක් තෝරාගත් විට, Drone යානය ස්වයංක්‍රීයව නිසි ගමන් පථයක ගමන් කරමින් රූපගත කිරීම් සිදු කරයි.

තවද පටු ස්ථාන වලින් පහසුවෙන් සහ ඉතා සීරුවෙන් ගමන් කිරීමට, මෙහි CineSmooth Mode විශේෂාංගය පවතී.

DJI Mavic Mini image 4

DJI Mavic Mini Drone යානාව $399 යේ සිට මිලදී ගැනීමට හැකියාව ඇත. මේ ගැන වැඩි දුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න https://www.dji.com/mavic-mini.

කෘතිම බුද්ධියෙන් පණ ගැන්වෙන නවතම ශීතකරණ

අද වෙනකොට Artificial Intelligence කියන්නෙ හැමෝම වගේ දන්න කතාබහට ලක්වෙන කාරණාවක් බවට පත්වෙලා තියෙන දෙයක්. ඉතින් මේ වෙනකොට Artificial Intelligence විවිධ ක්ෂේත්‍රයන් වලදී විවිධ වූ කාර්යයන් වලට පාවිච්චි වන අංගයක් විදියට අපි එදිනෙදා ගෙදර පාවිච්චි කරන උපකරණ වලටද මේක ආගමනය වෙලා තියෙනවා. අද මම මේ ලිපියෙන් කියන්න යන්නේ ඒ වගේ අලුතෙන්ම එන නිශ්පාදනයක් ගැන. අද ගෙදරකට නැතිවම බැරි අංගයක් වෙලා තියෙන ශීතකරණ තමා මේ විදියට කෘතිම බුද්ධිය සමගින් කරලියට එන්නෙ.

තාක්ෂණික ලොව දැවැන්ත ආයතනයන් වන Samsung සහ LG ආයතන තමා මේ Artificial Intelligence හැකියාවන් සහිතව එන ශීතකරණ ගැන තොරතුරු ඉදිරිපත් කරලා තියෙන්නේ. Samsung Family Hub refrigerator සහ LG InstaView ThinQ fridge කියන නාමයන්ගෙන් එන ශීතකරණ තමා AI හැකියාවන් සමගින් ඉදිරියේදි වෙළදපලට එන්නේ. දැනට සදහන් වන තොරතුරු වලට අනුව මේ ශීතකරණ වලට හැකියාව තියෙනවා කෑම හදුනාගන්න. AI-equipped cameras වලින් තමා ශීතකරණයට මේ හැකියාවන් ලබාදීලා තියෙන්නෙ.

කෘතීම බුද්ධිය සහිත ශීතකරණ වල විශේෂතා

inside of AI-powered fridge

ශීතකරණය ඇතුලෙ තියෙන කෑම වර්ග ගැන විස්තර වගේම මොන මොන කෑම වර්ගද අඩුපාඩු තියෙන්නෙ කියලත් විස්තර ඉදිරිපත් කිරීමේ හැකියාවක් තියෙනවා මේ ශීතකරණ වලට. ඒ වගේම ඇතුලෙ අඩංගු වන ද්‍රව්‍යන්ගෙන් හදාගන්න පුලුවන් කෑම පිළිබදව යෝජනා කරන්නත් මේවාට හැකියාව තියෙනවා. CES2020 කියන Global innovation summit එකේදි තමා මේවා ඉදිරිපත් වීමට නියමිතව තියෙන්නේ. CES (Consumer Technology Association) කියන්නේ ලෝකෙම ඉන්න නව නිර්මාණකරුවන්ට ඔවුන්ගේ නව නිර්මාණ ඉදිරිපත් කරන්න පුලුවන් වේදිකාවක්.

මේ ශීතකරණ පාවිච්චි කරන පරිශීලකයින්ට ඔවුන්ගේ ශීතකරණයේ තියෙන්නෙ මොනාද කියලා තමන්ගේ smartphone එකෙන් බලාගැනීමේ හැකියාව තියෙනවා. මේක වැදගත් වෙන්නෙ සුපිරි වෙළදසැලකට වගේ ගිය වෙලාවට දුරකතනයෙන් බලලා අවශ්‍ය ද්‍රව්‍ය විතරක් ගන්න පුලුවන් වගේ කාරණා නිසා. ඒ වගේම විවිධ නිර්දේශයන්ද සිදු කරන නිසා වැඩේ තවත් ලේසි වෙනවා.

AI powered fridge

ඉදිරියේදී සිදුවන වැඩිදියුණු කිරීම්

තවදුරටත් මේක ගැන සදහන් වෙන කාරණයක් තමා ඉදිරි software upgrades වලදි ආහාර වේල් සැලසුම් කිරීමේ හැකියාව මේකට ඇතුලත් වෙනවා කියන එක. Samsung ආයතනය මෑතකදී මිලදී ගත්ත Whisk කියන food startup එකේ උදවුවෙන් තමා මේක සිදුකරනවා කියලා සදහන් වෙන්නෙ. Whisk මගින් පරිශීලකයන්ට සතියකට ඔවුන්ගේ ආහාර වේල් සැලසුම් කරලා තියන්න පුලුවන් වගේම ඒකට හරියන විදියට විවිධ අහාර වට්ටෝරු වලට අනුව බඩු ලැයිස්තු හදලා දෙන්නත් ඒකට හැකියාව තියෙනවා. ඒ වගේම විශාල built-in touchscreen එක video clips නැරඹීමේ හැකියාව, Samsung TV සහ Phones mirror කිරීමේ හැකියාවෙනුත් සමන්විත වෙනවා.

මේ ශීතකරණ වල මිල ගණන් හරියටම තාම ඉදිරිපත් වෙලා නැතිවුනත් $4,500 – $6,000 අතර මිලවෙයි කියලා තමා අන්තර්ජාලයේ සදහන් වෙන්නේ. ඉතින් මේ සංකල්පය හොදයිද නැද්ද කියලා තීරණය කරන එකේ අයිතිය ඔයාලට තියෙනවා, කොහොම වුනත් ආහාර වට්ටෝරු බලාගැනීමේ හැකියාව, නිර්දේශ කිරීම් හා යෝජනා ඉදිරිපත් කිරීම් වගේ දේවල් වලින් අපේ එදිනෙදා වැඩ තව ටිකක් ලේසි වෙන්නත් පුලුවන් වගේම කාලය ඉතිරි කරගන්න එක සහ අනවශ්‍ය අපතේයාම් අඩුකරගන්නත් පුලුවන්කම ලැබෙයි.මම හිතනවා මේ ලිපියෙන් වැදගත් කරුණු ඉදිරිපත් වුනා කියලා ඉතින් මේ වගේ ලිපියකින් ඉදිරියේදී හමුවෙමු.

JBL සමගින් එන අලුත්ම Solar Powered Headphones

අද ඔයාලට කියන්න යන්නෙ බොහොම වැදගත් අලුත්ම Tech Gadget එකක් ගැන. අපි Headphones ගැන කථා කරන කොට, ඕනෑම කෙනෙක්ගෙන් ඇහුවොත් හොද Headphone brand එකක් මොකද්ද කියලා හම්බෙන සුලභම උත්තරය තමා JBL කියන එක. ඒ තරමටම JBL කියන නම ප්‍රසිද්ධයි. ඉතින් අද මම ඔයාලට කියන්න හදන්නෙ JBL සමාගමේ අලුත්ම නිෂ්පාදනයක් ගැන. Wireless Headphones පාවිච්චි කරන අයට තියෙන ලොකුම ගැටලුවක් තමා බැටරිය තියාගන්න පුලුවන් සීමිත කාල සීමාවකට විතරයි. මෙන්න මේ ප්‍රශ්නෙට විසදුමක් විදියට තමා JBL ආයතනය මේ අලුත්ම Solar-powered Headphone එක නිෂ්පාදනය කරන්නෙ.

JBL Reflect Eternal කියලා නම් කරලා තියෙන මේ Headphone එක දැන් ඔයාලට පූර්ව ඇණවුම් සිදු කරන්න පුලුවන් indiegogo කියන Website එකෙන්. මේක $99 වගේ මිල වෙනවා කියලා තමයි දැනට සදහන් වෙන්නෙ, ඉතින් ඔයාලටත් මේ link එකෙන් ගිහින් කැමති නම් පූර්ව ඇණවුම් කරන්න පුලුවන්. ඉතාම සීමිත ගානක් තමා දැනට වෙළදපලට නිකුත් කරලා තියෙන්නේ. දැන්ම ඇණවුම් කරොත් 2020 ඔක්තොම්බර් වෙද්දි පාරිභෝගිකයාට ලැබෙන්න සලස්වනවා කියල තමා තියෙන්නෙ.

මෙහි බැටරි ආරෝපණය වන්නේ කෙසේද?

JBL ආයතනය ප්‍රකාශ කරන්නෙ දවසකට පැය 2.5 ක් සෘජු සූර්යාලෝකයට නිරාවරණය වන විදිහට මෙය භාවිතා කලොත් බැටරිය සම්පුර්ණයෙන් ආරෝපණය කර ගන්න පුළුවන් කියල.

මේක සෘජු සූර්යාලෝකය මගින් වගේම ගෘහස්ථ ආලෝකයෙනුත් බැටරි‍ය ආරෝපණය කරගන්න පුලුවන් කියලා තමා JBL සමාගම කියන්නෙ. හැබැයි ඒක සෘජු සූර්යාලෝකය මගින් බැටරි ආරෝපණය වෙනවාට වඩා ටිකක් අඩු වේගයෙන් වෙන්නේ කියලා සදහන් වෙන්නෙ.

ඒ වගේම තමා කෙනෙක්ට හිතෙන්න පුලුවන් ඉර අව්ව වැඩිය වැටෙන්නෙ නැති මේ දවස් වල වගේ කාළගුණයක් තිබ්බොත් බැටරි ආරෝපණය කරගන්නෙ කොහොමද කියලා. ඒකටත් ක්‍රමවේදයක් මොවුන් අපිට දීලා තියෙනවා. ඒ තමා USB Charging, මේ විදියට බැටරි ආරෝපණය කරනවනම් විනාඩි 15ක් විදුලියට සම්බන්ධ කරලා තිබ්බොත් පැය 2ක් පාවිච්චි කරන්න පුලුවන්. භාවිතා කරන්න පුලුවන් වෙලාව ගැන කියපු නිසා මේකත් කියන්නම ඕනි. මෙය සෘජු සූර්යාලෝකය යටතේ පැය 1.5ක් භාවිතා කලොත් පැය 68ක playtime එකක් වගේම පැය 2ක් හිටියොත් පැය 168 ක Playtime එකක් හම්බෙනවා. රැකියාවක් කරන කෙනෙක්ටනම් වැඩට යන එන ගමන් දාගෙන ගියාම බැටරි ආරෝපණය කරගන්නත් පුලුවන්.

මේක පාවිච්චි කරන කෙනෙක්ට බැටරිය ගැන වැඩිය ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. මොකද පාවිච්චි කරන ගමන් වුනත්  ආරෝපණය කරගැනීමේ පහසුව තියෙන නිසා. කරන්න තියෙන එකම දේ තමා ඉර අව්ව තියෙන වෙලාවක ඔලුවේ දාගෙන යන එක. මේක දැනට රතු සහ කොළ කියන වර්ණ දෙකෙන් තමා නිකුත් වෙන්නෙ.

JBL Reflect Eternal හි විශේෂතා

මේක Google Assistance සහ Alexa කියන සේවාවන් දෙකෙන්ම සමන්විත වෙනවා වගේම external microphone එකකිනුත් සමන්විත වෙනවා. මේ external microphone එකේ වැදගත් කම තමා ඔයාලට Headphone එක දාගෙන ඉන්න වෙලාවට වටපිට දේවල් අහන්න ඕනිනම් Headphone එක ගලවන්න ඕනි වෙන්නෙ නෑ. ඒ විතරක් නෙවෙයි Hands-free Calls, Multi-point Connection සහ JBL Pro Sound කියන විශේෂාංග වලින් මේ Headphone එක සමන්විත වෙනවා.

Solar power ගැන කථා කරපු නිසා ටිකත් සදහන් කරොත් හොදයි කියලා හිතෙනවා, JBL ආයතනය විතරක් නෙවෙයි ඉලෙක්ට්‍රොනික උපාංග වලට solar cells පාවිච්චි කරන්නේ. ඔයාලට මතක නම් පාසල් වලදි භාවිතා කරපු  solar-powered calculator එහෙමත් තියෙනවා. ඒ වගේම Logitech සමාගමේ solar-powered keyboards හා Garmin ආයතනයේ solar-powered smartwatch තියෙනවා. ඒ විස්තර ටික සදහන් කලේ අමතර කරුණු විදියට. ඉතින් මම හිතනවා මේ ලිපිය වැදගත් වුනා කියලා ඔයාලට, මේ වගේ තවත් ලිපියකින් ඉදිරියේදී මුණ ගැසෙමු.

CHIIZ – ස්වයංක්‍රීය දත් බුරුසුවක්

මොකද්ද මේ CHIIZ

පුද්ගලයින් ජිවිත කාලය පුරාම දත් මැදීම සඳහා දත් බුරුසු පාවිච්චි කිරීම සිදු කරයි. දන්ත වෛද්‍යවරුන් දත් මැදිය යුතු නිවැරදි ආකාරය පවා කියා දීම සිදු වේ. කෙසේ වුවත් වර්ථමානයේ මෙම අතින් මදින දත් බුරුසු වෙනුවට ස්වයංක්‍රීයව ඔබේ දත් පිරිසිදු කර ගත හැකි ස්වයංක්‍රීය දත් බුරුසුවක් ලෙස CHIIZ නිෂ්පාදනය හඳුන්වා දිය හැකිය. මෙය sonic powered ස්වයංක්‍රීය දත් බුරුසුවක් වන අතර මෙමගින් ඔබේ දත් පහසුවෙන් නිවැරදි ආකාරයට පිරිසිදු කර ගැනීමේ හැකියාව පවතීයි.

General_view_of_CHIIZ

CHIIZ භාවිතා කරන අයුරු

මෙම උපාංගය ඔබේ මුවට ඇතුළු කල පසු දත් අතරට හොඳින් සවි වන අතර එය සෑම දතක්ම ඒකාකාරීව හොඳින් පිරිසිදු කරයි. එසේම මෙය ඔබේ විදුරුමස් වලට කිසිදු හානියක් නොවන පරිදි ක්‍රියා කරයි. මෙය භාවිතා කිරීම ඉතාම පහසුය. පළමුව උපාංගය ඔබේ අතට ගෙන එහි කෙඳි මතට එම නිෂ්පාදනයට විශේෂ දන්තාලේප ගැල්විය යුතුය.

Special_toothpaste

ඉන්පසු එය ප්‍රවේශමෙන් ඔබේ මුඛය තුලට ඇතුළු කල යුතුය. ඉන්පසු උපාංගය හොඳින් ඔබේ දත් අතරට සිරවන පරිදි සෙමින් සපා ගත යුතුය. එවිට මෙය ස්වයංක්‍රීයවම ඔබේ දත් පිරිසිදු කිරීම ආරම්භ කරයි. තත්පර 30 ක කාලයක් මෙම පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය සිදු වේ.

තාක්ෂණය සහ විශේෂතා

CHIIZ ඔබේ දත් පිරිසිදු කිරීම සඳහා Sonic තාක්ෂණය භාවිතා කරනු ලබයි. මෙම උපාංගය මධ්‍යයේ පිහිටා ඇති Sonic මෝටරය මගින් මෙහි ඇති සියළුම කෙඳි විනාඩියට වාර 25,000 ක වේගයෙන් කම්පනය කරනු ලබයි. එමගින් ඔබේ දත් ඉතාම ක්‍රමානුකුලව හොඳින් පිරිසිදු කරයි. මෙම කම්පනය කිරීමේ ක්‍රියාවලිය මගින් ඉතා කුඩා ලෙලදෙන බුබුළු නිකුත් වී ඒවා දත් සහ විදුරුමස් අතර සෑම දාරයන් අතරම ඇති පළුදුවීම් මත ගැටී ඒවා නැවත යථා තත්ත්වයට පත් කරයි.

මෙහි ඇති සිනිඳු කෙඳි විදුරුමස සමඟ අංශක 45 ක කෝණයකින් සිටින පරිදි නිර්මාණය කර තිබේ. CHIIZ ඔබට ස්වයංක්‍රීයව ඔබේ දත් පිරිසිදු කර දෙන අතරම එය නිවැරදි ආකාරයටම ඉටු කර දෙයි. එම නිසා ඔබට වැරදි දත් මැදීමේ ක්‍රම සහ විවිධ විදුරුමස් රෝග පිළිබඳව බිය වීමට අවශ්‍ය නොවේ.

මෙහි ඇති තවත් එක් විශේෂ වාසියක් නම් ඔබ ගමනක් යන අතරතුරදී හෝ විනෝද කඳවුරු බැඳීම් වලදී මෙන්ම හදිසි අවස්ථා වලදී කාර්යාලයේදී වුවද භාවිතා කල හැකි වීමයි. දත් මැදීම සඳහා ඔබට ගත වන්නේ තත්පර 30 ක් වැනි ඉතාම සුළු කාලයකි. තවද ඔබට දත් මදින අතරතුර වෙනයම් කාර්යයක යෙදීමට අවකාශය සැලසීමද මෙහි තවත් එක් වාසියකි.

CHIIZ නිෂ්පාදනය කර ඇත්තේ ජල රෝධක (water proof), ප්‍රති බැක්ටීරිය (antibacterial) අමුද්‍රව්‍ය භාවිතයෙනි. සෑම දත් මැදීම් වාරයකින්ම අනතුරුව CHIIZ පිරිසිදු ගලා යන ජලයෙන් සෝදා පිරිසිදු කර ගත යුතුය. සම්පුර්ණයෙන් ආරෝපණය කර ගත් විට sonic මෝටරය 20 වතාවක් (දින 10 ක් පමණ) භාවිතා කල හැකිය. දිගු කාලීන සංචාරකයින් සඳහා සංයුක්ත රැහැන් රහිත අරෝපකයක් මගින් ආරෝපණය කල හැකිය. මෙම නිෂ්පාදනයේ මිල ඇමෙරිකානු ඩොලර් 70 ක පමණ වේ.

Product_kit

GoPro Hero 8 Black

GoPro Hero 8 Black [Featured Image]
GoPro Hero 8 Black [image 1]

GoPro යනු ලොව වඩාත්ම ප්‍රචලිත Action කැමරා, එසේත් නැත්නම් රළු භාවිතය සඳහා විශේෂිත වූ කැමරා වර්ගයකි. ජලයට, දුහුවිල්ලට, අධික පීඩනයන්ට මෙන්ම ගැටීම් වලට ඔරොත්තු දියහැකි ආකාරයට මෙම GoPro  කැමරා නිෂ්පාදනය කර ඇත. පසුගිය දිනක GoPro Hero පවුලේ නවතම සාමාජිකයා වන GoPro Hero 8 Black කැමරාව එළිදක්වන ලදි.

මෙහි විශේෂත්වය

GoPro Hero 8 Black කැමරාවෙහි විශේෂත්වයක් වන්නේ, මේ සඳහා බාහිර ආරක්ෂක ආවරණයක් අවශ්‍ය නොවීමයි. මෙහි උස, පළල සහ ඝනකම පිලිවෙලින් මිලිමීටර 48.6, 66.3, 28.4 ක් තරම් කුඩා වන අතර බර ග්‍රෑම් 126 ක් පමණ වේ. තවද කැමරාවෙහිම අඩංගු වන දිගහැරීමට සහ හැකිලීමට හැකි ආධාරක සම්බන්ධක දෙක මගින් ඉතා ශක්තිමත්ව වෙනත්  ආධාරකයකට සවි කිරීමේ හැකියාව ඇත. මෙය මුදලින් ඇමෙරිකානු ඩොලර් 399.99 ක් වේ.

GoPro Hero 8 Black [image 2]

මෙමගින් 4K/60FPS, 2.7K/120FPS, 1080P/240FPS වීඩියෝ පහසුකම් ඇති අතර මෙහි කැමරාව මෙගා පික්සල් 12 ක් වේ. තවද Time Lapse, Slo-Motion, Night Lapse පහසුකම් වලින්ද සමන්විත වේ. GoPro Hero 8 Black හි ඩිජිටල් කාචයේ SuperView, Wide, Liner, Narrow ලෙස පරාස හතරක් ඇති අතර මේවයින් වඩාත් පුළුල් පරාසයක් කැමරා ගත කිරීමට හැකි වේ. HyperSmooth 2.0 විශේෂාංගය මගින් වීඩියෝ ගත කිරීමේදී ඇතිවන චලනයන් වඩාත් සුමට කරයි.

Bluetooth සහ Wi-Fi මගින් smart ජංගම දුරකථනය හෝ tablet පරිගණකය සමග සම්බන්ධ කිරීමටත්, GoPro යෙදුම මගින් කැමරාවේ විවිධ කාර්යයන් සිදුකිරීමටත් හැකියාව ඇත. තවද GPS පහසුකම්, කටහඬින් පාලනය කිරීමේ හැකියාව වැනි විශේෂාංග ද මෙහි අඩංගු වේ. එමෙන්ම අඟල් 2 ක ස්පර්ශ සංවේදී තිරය සහ ගලවා ඉවත් කල හැකි 1220mAh ලිතියම් අයන බැටරියක් පැවතීමද නව GoPro Hero 8 Black හි විශේෂත්වයකි.

GoPro Mods

GoPro Hero 8 Black සඳහා විශේෂිත වූ උපාංග කිහිපයක්ද ඇත. මේවා GoPro Mods ලෙස හඳුන්වයි. Media Mod යනු ඉන් එකක් වන අතර මෙය GoPro Hero 8 Black කැමරාවට පිටතින් සවි කල හැකි මයික්‍රොෆෝන් උපාංගයක් වේ. මෙමගින් වඩාත් සුපැහැදිලි ශබ්ද සහිතව වීඩියෝ ලබාගැනීමට හැකි වේ. මෙය මුදලින් ඇමෙරිකානු ඩොලර් 79.99 ක් වේ.

Display Mod යනු GoPro Hero 8 Black සඳහා පිටතින් සවි කල හැකි අමතර තීරයකි. මෙය ඉදිරිපසට සහ පිටුපසට හැරවීමට හැකියාව ඇති අතර රූපගත කිරීම් වඩාත් පැහැදිලිව නිරීක්ෂණය කල හැක. මෙයද මුදලින් ඇමෙරිකානු ඩොලර් 79.99 ක් වේ.

Light Mod යනු තවත් GoPro Hero 8 Black සඳහා විශේෂිත වූ උපාංගයකි. මෙය කැමරාවට බාහිරින් සවි කල හැකි ආලෝක කරන උපාංගයක් වන අතර මෙමගින් ඡායාරූප සහ වීඩියෝ සඳහා අවශ්‍ය ආලෝකය සැපයීමට හැකි වේ. මෙය මුදලින් ඇමෙරිකානු ඩොලර් 49.99 ක් වේ.

GoPro Hero 8 Black [image 3]

GoPro Hero 8 Black හි නව විශේෂාංග බොහෝ අවස්ථාවල වාසිදායක මෙන්ම අවාසි දායක ද විය හැක. මෙහි ඇති අවාසි ලෙස, මිල තරමක් වැඩි වීම, කටහඬින් පාලනය කිරීමට යම් අවස්ථාවල අපහසු වීම වැනි දේ පෙන්වා දිය හැක. GoPro Hero 8 Black ඇත්තටම හොඳද? නරකද? යන්න ඔබම තීරණය කරන්න. තවත් මෙවැනි රසවත් ලිපියකින් නැවත හමුවෙමු.


iPhone 11, iPhone 11 Pro සහ Pro Max

iPhone 11 Featured image

2019 සැප්තැම්බර් 20 වන දින Apple සමාගම විසින් ඔවුන්ගේ නවතම iPhone 11, smart phones මාලාව ලෙස iPhone 11, iPhone 11 Pro සහ iPhone 11 Pro Max ලෙස smart phones තුනක් හඳුන්වා දෙන ලදී. iPhone XR හි ඊළඟ අනුවාදය ලෙස iPhone 11 මෙන්ම iPhone XS සහ XS Max හි ඊළඟ අනුවාද ලෙස iPhone 11 Pro සහ Pro Max ද හදුන්වා දී ඇත. iPad සහ Mac සඳහා තිබූ Pro නාමය මෙවර iPhone 11 සඳහා ද භාවිත කර තිබීම විශේෂත්වයකි. iPhone 11 හි මිල $699 සිට ඉහලට මෙන්ම iPhone 11 Pro සහ Pro Max හි මිල පිලිවෙලින් $999 සහ $1099 සිට ඉහලට වේ.

iPhone 11 Image 1

නිමාව

iPhone 11 හි පිටුපස දිලිසෙන සුළු වීදුරු මුහුණතක් සහ වටේ දාරය ඇලුමිනියම් ලෝහයෙන් නිපදවා ඇත. මෙය කළු, කහ, සුදු, රතු, දම් සහ කොල ලෙස වර්ණ හයකින් හදුන්වාදී ඇත. iPhone 11 Pro සහ Pro Max දෙකෙහිම පිටුපස නොදිලිසෙන (matte) වීදුරු මුහුණතක් සහ වටේ දාරය ශක්තිමත් වානේ වලින් නිපදවා ඇත. මෙය Midnight Green, Space Gray, Silver and Gold ලෙස වර්ණ හතරකින් හඳුන්වා දී ඇත.

iPhone 11, iPhone 11 Pro සහ iPhone 11 Pro Max තුනෙහිම Camera ප්‍රදේශය තරමක් ඉදිරියට නෙරා ආ ස්වභාවයකින් යුක්තවේ. පෙර පරිදිම ඉදිරිපස පුර්ණ තිරයක් සහ ඉහල කොටසේ Notch එක පිහිටා ඇති අතර Headphones port එකක් නැත. එමෙන්ම දුහුවිලි සහ ජල ප්‍රතිරෝධී වේ.

තිරය

iPhone 11 හි අඟල් 6.1 ක Liquid Retina HD LCD තිරයකින් සමන්විත වන අතර 1792 x 828 ක පික්සල් විභේදනයක් ඇත. iPhone 11 Pro හි අඟල් 5.8 ක Super Retina XDR OLED, 2436 x 1125 ක් පික්සල් විභේදනයක් සහිත තිරයකින් සමන්විත වේ. iPhone 11 Pro Max හි අඟල් 6.5 ක Super Retina XDR OLED තිරයක් අඩංගු වන අතර 2688 x 1242 ක පික්සල් විභේදනයකින් යුක්ත වේ.

සාපේක්ෂව iPhone 11 හි තිරයට වඩා අතිශය සුපැහැදිලි සහ ආලෝකමත් තිරයක් iPhone 11 Pro සහ iPhone 11 Pro Max සඳහා ඇත. තවද පෙර පැවති 3D Touch නොහොත් ස්පර්ශ පීඩනයට සංවේදී තිරයක් වෙනුවට Haptic Touch නොහොත් තිරය ස්පර්ශ කරගෙන සිටින කාලය අනුව ක්‍රියාකිරීමට තිරය නිර්මාණය කර ඇත.

කැමරා

කැමරාවෙහි පැහැදිලි වෙනසක් දැක ගැනීමට හැක. iPhone 11 හි කැමරා දෙකක් ඇත. ඉන් එකක් මෙගා පික්සල් 12ක wide angle lense කැමරාව වන අතර අනෙක මෙගා පික්සල් 12 ක ultra wide angle lense කැමරාව වේ. මෙමගින් අංශක 120ක ද්‍රශ්‍ය පරාසයක් ලබා දෙන අතර එමගින් පෙරට වඩා පුළුල් ප්‍රදේශයක් කැමරා කාචයට ග්‍රහණය කරගැනීමට හැකිවේ. මෙම ද්විත්ව කැමරා පද්ධතිය මගින් 2x optical zoom හැකියාවද ලැබී ඇත.

එමෙන්ම  iPhone 11 Pro සහ iPhone 11 Pro Max සඳහා ඉහත සඳහන් කල කැමරා දෙකට අමතරව තෙවන කැමරාවක් ලෙස මෙගා පික්සල් 12 ක telephoto lense එකක්ද අඩංගු වේ. මෙය වඩාත් ආලෝකයට සංවේදී වන අතර පෙරට වඩා වඩාත් කාර්යක්ෂමව ක්‍රියා කරයි. මෙම තෙවන කැමරාව portrait ජායාරුප ගැනීමට උපකාරී වේ.

තවද අලුතෙන් හදුන්වා දෙන Night Mode විශේෂාංගය මගින් අඩු ආලෝකයේ වඩාත් පැහැදිලි ජායාරුප ලබාගැනීමට හැකියාව ඇත. Quick Take විශේෂාංගය මගින් රූපගතකිරීමක් අතර තුර ජායාරුප ලබාගැනීමට හැකියාව ඇත. 4K රුගත කිරීම් කිරීමේ හැකියාවද මෙම කැමරා පද්ධති මගින් ලැබී ඇත.

එමෙන්ම iPhone 11, iPhone 11 Pro සහ Pro Max තුනෙහිම මෙගා පික්සල් 12ක ඉදිරිපස කැමරාවක් අඩංගුවේ. මෙහි විශේෂත්වය නම්, තත්පරයට රාමු 60ක සංඛ්‍යාතයෙන් 4K රුගත කිරීම් කිරීමේ හැකියාව ඉදිරිපස කැමරා වලටද ඇත. එමෙන්ම slow-motion රුගත කිරීමේ හැකියාවද මෙයට අඩංගු වේ. එය Slofie ලෙස නම්කොට ඇත.

iPhone 11 Image 4

Performance

Apple සමාගම විසින් හදුන්වාදුන් නවතම A13 Bionic processor, iPhone 11, iPhone 11 Pro සහ Pro Max තුනෙහිම අන්තර්ගත කොට ඇත. මෙමගින් පෙරට වඩා 20%ක කාර්යක්ෂමතාවක් ලැබෙන අතර ශක්ති පරිභෝජනය 40% කින් අවම වන බව සඳහන් වේ. මෙම තුනම 64GB, 256GB සහ 512GB ලෙස මතක ධාරිතා ප්‍රමාණ තුනකින් මිලදී ගත හැක.

එමෙන්ම බැටරි ආයු කාලය පෙරට වඩා වැඩි දියුණු කර ඇත. ආසන්න වශයෙන් පැය 11 පමණ ක්‍රියා කරවීමට හැකියාව ඇත. iPhone 11, iPhone 11 Pro සහ Pro Max තුනෙහිම fast charging විශේෂාංගය ඇති අතර iPhone 11 Pro සහ Pro Max සඳහා වොට් 18 ක fast charger එකක් ලැබෙන අතර iPhone 11 සඳහා fast charger එක වෙනම මිලදී ගැනීමට සිදුවේ.

iPhone XR, iPhone XS සහ XS Max තුනට සාපේක්ෂව iPhone 11, iPhone 11 Pro සහ Pro Max හි යම් දියුණුවක් දක්නට හැක. මෙහි වාසි මෙන්ම අවාසිද නැතුවාම නොවේ. කෙසේ නමුත් මුදලට සරිලන වටිනාකමක් තිබේද නැද්ද යන තීරණය ඔබ සතුය. නැවතත් මෙවැනි තාක්ෂණික පුවතකින් හමුවෙමු.

Intel 10th Gen සමග නවතම Acer නිෂ්පාදන රැසක්

Acer - Intel 10th Gen Launch Featured Image

2019 ඔක්තෝම්බර් 02 වන දින Acer ආයතනය මගින් Intel 10th Gen Processor සමග පැමිණෙන ඔවුන්ගේ නවතම නිෂ්පාදන හදුන්වා දීමේ උත්සවය, Mövenpick හෝටලයේදී හිදී පැවැත්විය. මෙහිදි Colombo Sri Lanka: Acer සමාගමේ, ඉදිරියේදී වෙළඳපොලට පැමිණීමට නියමිත නවතම 10th Gen Intel Core processors සහිත laptop සහ notebook පරිගණක මාදිලි කිහිපයක් හඳුන්වා දුන් අතර Intel සමාගමේ නවතම 10th Gen Processors සහ තවත් නව තාක්ෂණයන් හඳුන්වා දීම සිදු කරන ලදී.

නව Acer නිෂ්පාදන හඳුන්වාදීම

ප්‍රථමයෙන් මෙම උත්සවයේ අරමුණ සම්බන්ධව සිංගප්පූරුවේ පිහිටි Acer සමාගමේ ප්‍රධාන කළමනාකරු වන සුනිල් නායර් මහතා විසින් හැඳින්වීමක් සිදු කරන ලදී. තවද Intel 10th Gen තාක්ෂණය යොදාගනිමින් නිපදවන ලද Acer නිෂ්පාදන සම්බන්ධව වැඩි දුරටත් අදහස් දැක්වීය. ප්‍රධාන වශයෙන් හඳුන්වා දුන් නව Acer notebook මාදිලි නම්, Acer Aspire 5, Aspire 3 සහා Acer Swift 5, Swift 3 මාදිලි වේ.

Acer - Intel 10th Gen Launch Image 1

Acer Aspire Standard Series

Acer Aspire 5 මිලි මීටර 17.95 ක් ඝනකමින් යුක්ත වන අතර එහි අඟල් 15.6 ක තිරය, Full HD වේ. මෙහි අඩංගු 10th Gen Intel Core i processor, NVIDIA GeForce MX250 graphics, Intel Wi-Fi 6 (802.11ax) මගින් වඩාත් සුමටව හා කාර්යක්ෂමව ක්‍රියා කිරීමට හැකියාව ඇත. තවද වැඩි දියුණු කරන ලද තිරයේ වැඩි වර්ණ පරාසයක් සහ වඩාත් සුපැහැදිලිව ශබ්ද විකාශනය කල හැක.

Acer Aspire 3 ද පෙරට වඩා සිහින් ස්වභාවයක් ගන්නා අතර, රැගෙන යාමට වඩාත් පහසු වේ. මෙයද 10th Gen Intel Core i processor, NVIDIA GeForce MX230 graphics මගින් බලගැන්වෙන අතර පෙර පැවතී Acer BluelightShield, 802.11ac wireless antennae යනාදිය අඩංගු වේ.

Acer Swift LightWeight Series

Acer Swift 5 ලොව බරින් අඩුම අඟල් 14 තිරයක් සහිත notebook පරිගණකය ලෙස හැඳින්වේ. මෙහි බඳ කොටස මැග්නීසියම්, ලිතියම්, ඇලුමිනියම් මිශ්‍ර ලෝහයකින් නිපදවා ඇති අතර මෙය ග්‍රෑම් 990 තරම් සැහැල්ලු වේ. තවද Acer Swift 5 notebook පරිගණකය මිලි මීටර 14.95 ක් තරම් සිහින්ය. මෙහි  NVIDIA GeForce MX250 graphics සහ Intel Iris Pro graphics අඩුංගු වන අතර 10th Gen Intel Core i processor, ටෙරා බයිට් 1ක උපරිම ධාරිතාවෙන් යුත් SSD පහසුකම්, සුපැහැදිලි අඟල් 14 ක ස්පර්ශ සංවේදී තිරය, dual-band Intel Wi-Fi 6 (802.11ax) සහ ප්‍රබල Thunderbolt 3 පහසුකම් සහිත USB 3.1 Type C සම්බන්ධකයක් අඩංගු වේ. Acer Swift 5 ප්‍රමාණයෙන් කුඩා සහ බරින් අඩු වුවද, වෘත්තීයමය කාර්යන් යන එන ගමන් සිදු කිරීමට හැකියාව ඇති අතර, පැය 12.5 ක බැටරි ආයු කාලයක් සහ fast charging පහසුකම් මෙන්ම ඇඟිලි සලකුණු හදුනා ගැනීමේ උපාංගයක් ද අඩංගු වේ.

Acer Swift 3 බොහෝ දුරට Acer Swift 5 හා සමාන වන අතර බර කිලෝග්‍රෑම් 1.19 ක් හා ඝනකම ,මිලි මීටර 15.95 වේ. තවද බැටරි ආයු කාලය තරමක් අඩුය.

මීට අමතරව Acer Spin notebook පරිගණක සම්බන්ධව කෙටි හැඳින්වීමක් කල අතර මෙයද Intel 10th Gen Processor මගින් බලගැන්වෙන බව පැවසීය. තවද Acer Nitro සහ Predator Gaming laptop පරිගණක පිළිබඳව ද සඳහන් කල අතර මේවායේ Intel 10th Gen Processor නොව 9th Gen Processor අඩංගු වන බව පැවසීය.

Intel 10th Gen හඳුන්වාදීම

ඉන්පසු Acer-Global Accounts Team හි වාණිජ ප්‍රධානී සුමිත්‍ර කේ. රායි මහතා විසින් Intel 10th Gen තාක්ෂණය පිලිබඳ හැඳින්වීමක් සහ Intel හි නව තාක්ෂණයන් පිළිබඳව තවදුරටත් හඳුන්වා දෙන ලදී.

10th Gen Intel Core Processors

Intel සමාගමේ නිෂ්පාදිත නවතම 10th Gen Intel Core Processors හි, වැඩි දියුණු කරන ලද විශේෂාංග මෙන්ම, අලුතෙන්ම එක් කරන ලද විශේෂාංග කිහිපයක්ද ඇත. මෙමගින් කාර්යක්ෂම තාව දෙගුණයකින් ද, 2.5 ගුණයකින් වේගවත් photo rendering, තුන් ගුණයකින් වේගවත් Wi-Fi පහසුකම් සහ අට ගුණයකින් වේගවත් Thunderbolt දත්ත හුවමාරු පහසුකම් ලැබෙන බව පැවසීය. තවද 10th Gen Intel Core Processors, “Ice Lake” සහ “Comet Lake” ලෙස වර්ගීකරණය කර ඇති අතර ඒවායේ වෙනස්කම් පහත දැක්වේ.

Intel Adaptix

මෙහිදී හඳුන්වා දුන් තවත් තාක්ෂණයක් වන්නේ Intel Adaptix. මෙමගින් පරිගණකයේ processor ක්‍රියාකාරීත්වය සහ graphics card හි ක්‍රියාකාරීත්වය ගතිකව වෙනස් කිරීම සිදු කරයි. පරිශීලකයා කරන කාර්යය අනුව කාර්යක්ෂමතාව උපරිම කිරීමටත්, graphics ගුණාත්මක භාවය උපරිම කිරීමටත්, ශක්ති පරිභෝජනය උපරිම ඵලදායී තාවකින් සිදු කිරීමටත් මෙමගින් හැකිවේ. මේ සඳහා Machine Learning තාක්ෂණය උපයෝගී කරගෙන ඇත. Intel Adaptix ගැන වැඩි දුර තොරතුරු දන ගැනීමට පිවිසෙන්න, https://www.intel.com/content/www/us/en/architecture-and-technology/adaptix.html

Wi-Fi 6

Intel 10th Gen සමග එන තවත් තාක්ෂණයක් වන්නේ Wi-Fi 6 තාක්ෂණයයි. පෙරට වඩා තුන්ගුණයක් වේගවත් සහ හතර ගුණයකින් වැඩි ධාරිතාවයකින් Wi-Fi 6 සමන්විත වේ. දශකයේ දියුණුම Wi-Fi තාක්ෂණය මෙය බවද පැවසීය. වැඩි දුර තොරතුරු, https://www.intel.com/content/www/us/en/products/docs/wireless/overview.html

Thunderbolt 3

Thunderbolt 3 තාක්ෂණය මගින් වඩාත් වේගවත් සහ පහසුවෙන් දත්ත හුවමාරු කර ගැනීමට හැකි වේ. මෙය USB Type C හි වැඩි දියුණු කරන ලද තාක්ෂණයකි. තනි Thunderbolt 3 port එකක් ආධාරයෙන්, 4K තිරයන් කිහිපයක් සම්බන්ධ කිරීම, ජාලගත කිරීම, USB මගින් දත්ත හුවමාරු කිරීම, බැටරි ආරෝපණය ඇතුලු සියළු සම්බන්ධක කාර්යන් සිදුකල හැකි අතර USB 3.0 වලට වඩා 8 ගුණයකින් වේගවත් බව පැවසීය. වැඩි විස්තර, https://www.intel.com/content/www/us/en/products/docs/io/thunderbolt/thunderbolt-technology-general.html

Intel Optane Memory H10 With Solid State Storage

Intel Optane Memory තාක්ෂණය, පරිගණකයක කාර්යක්ෂමතාව වැඩි කරන තාක්ෂණයකි. මෙහිදී Machine Learning තාක්ෂණය උපයෝගී කරගනිමින්, පරිශීලකයා විසින් නිරන්තරයෙන් භාවිතා කරන පරිගණක වැඩසටහන්, මෘදුකාංග සහ දත්ත හඳුනාගෙන, ඒවා වඩාත් වේගවත් SSD මතකයක ගබඩා කොට තබා ගන්නා අතර, මෙම ක්‍රියාවලිය සෑමවිටම යාවත්කාලීන කරයි. මේ මගින් පරිගණකයේ කාර්යක්ෂමතාව මෙන්ම ඵලදයීතවද වැඩි කරයි. වැඩි විස්තර, https://www.intel.com/content/www/us/en/architecture-and-technology/optane-memory.html

වැඩසටහන් නිමාව

අවසානයේ, හොඳම Acer අලෙවි නියෝජිතයන් හට තෑගි ප්‍රධානය කිරීම හා රාත්‍රී භෝජන සංග්‍රහයෙන් අනතුරුව වැඩසටහන නිමාවට පත් විය. වැඩසටහනේ ඡායාරූප පෙළක් පහත දැක්වේ.

SPUD – අඟල් 24 පුළුල් තිරයක් ඔබේ සාක්කුවට

මොකද්ද මේ SPUD?

SPUD හෙවත් Spontaneous Pop Up Display යනු කුමක්දැයි විමසා බලනු ලැබුවොත්, එය අඟල් 24 කින් යුත් ඉහල විභේදනයකින් යුතු තිරයකි. එහි විශේෂත්වය නම් එය සාමාන්‍ය අභ්‍යාස පොතක ප්‍රමාණයට කුඩාවට නැමිය හැකි වීම සහ එහි බර රාත්තල් 02 ටත් වඩා අඩු අගයක් ගැනීමය. එමනිසා එය එහාමෙහා ගෙනයාම ඉතාම පහසු වී තිබේ.

General_View_Of_SPUD

SPUD ක්‍රියාත්මක වන අයුරු

පසුපස ප්‍රක්ෂේපණයට අනුව SPUD පරිශීලකයා සිටින පරිසර තත්වය නොසලකා සුපැහැදිලි තියුණු රූප දැක්වීමට සමත්ය. පරිසරය අඳුරු අවස්ථා වලදී තිරයේ දීප්තිය වැඩි කර ගැනීමටත්, අනෙකුත් අවස්ථා වලදී ගැලපෙන පරිදි දීප්තිය වෙනස් කර ගැනීමටත්  හැකි adjustment knob එකකින් මේ SPUD සමන්විතය. මෙම සියළු පහසුකම් සමඟින් සෑහෙන තරම් ප්‍රබල projector එකකින් සමන්විත මෙම තිරය, හොඳම ප්‍රතිරූප කෙටිම දුරකින් පරිශීලකයා වෙත ප්‍රතිදානය කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත. පැහැදිලි, දීප්තිමත්, අධි-විභේදන පින්තුරයක් තිරය මතට විහිදීමක් මෙහිදී සිදුවේ.

SPUD හි විශේෂතා

පරිශීලකයා SPUD භාවිතයට ගැනීම සඳහා කුඩයක් එලියට ගැනීමක් හා සමාන (මෙහි නිෂ්පාදකයන් පවසන පරිදි) ක්ෂණික තල්ලුවකින් මෙය දිගහැර ගත හැකිය. එමනිසා මෙම තිරයේ පැතිකඩ CRT මොනිටරයක පෙනුම දක්වයි. මෙහි ඇති තවත් සුවිශේෂීම අංගයක් නම්, එය නවා ඇති අවස්ථාවේදී කිසිදු ලෙසකින් තුනී බවක් නොපෙන්වයි.

Side_Look_Of_SPUD

මෙම තිරය ඊටම අවේනික 1280 x 720 ප්‍රමාණයේ විභේදනයකින් පරිශිලකයාට අවශ්‍ය දේ පෙන්වයි. මෙම නිෂ්පාදනය සාපේක්ෂව මිලෙන් අඩු වන අතරම පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි නිසාවෙන්ම කෙටි කලකින් පුද්ගලයන් අතර ජනප්‍රිය වූ නව නිපැයුමක් ලෙස හැඳින්විය හැකිය.

මෙම තිරය නිපදවා ඇත්තේ Vinyl Sheet එකක් භාවිතයෙන් වන අතර එය රැලි වැටීමට අවකාශයක් නොවන පරිදි නිර්මාණය කර ඇත. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ පිටත ආවරණය සහ තිරය සෝදා පිරිසිදු කිරීමට ඇති හැකියාවයි.

HDMI සම්බන්ධතාවයට ගැලපෙන ඕනෑම උපාංගයකට SPUD සම්බන්ධ කිරීමේ හැකියාව පවතී. එය ජංගම දුරකථනයක්, Chromecast හෝ FireTV වුවද විය හැක. මෙම පහසුකම සහ එහා මෙහා ගෙන යාමේ හැකියාව මෙම නිෂ්පාදය සතු අවේනික විශේෂතා ලෙස හඳුන්වා දිය හැකිය.

SPUD හි බැටරිය සහ ස්පීකරය

SPUD හි බැටරි ආයු කාලය අවම දීප්තියෙන් යුතුව පැය 10 ක් ද උපරිම දීප්තියෙන් යුතුව පැය 04 ක් ද දක්වා පවතී. මෙම බැටරිය power pack එකක් ලෙසද භාවිත කිරීමේ හැකියාව පවතී. එමගින් පරිශීලකයාට තමා එළිමහනේ වැඩ කරමින් සිටින අවස්ථාවක ජංගම දුරකථනය ආරෝපණය කර ගැනීමට අවශ්‍ය නම් USB cable එකක් භාවිතයෙන් පහසුවෙන් SPUD බැටරිය මගින් ආරෝපණය කර ගැනීමේ හැකියාව පවතී. SPUD හි speaker එක බොහෝ laptop පරිගණක වල මෙන්ම ඉහල ගුණාත්මක බවකින් යුක්ත අතරම එය SPUD එකටම සම්බන්ධ කර ඇති stereo speakers ලෙස අන්තර්ගත වේ.

වර්ථමානයේ මේ SPUD අපට විවිධ වර්ණ වලින් දැක ගත හැකිය. කළු හා ටයිටේනියම් වර්ණ ඒ අතරින් ප්‍රධාන වේ. අතේ ගෙන යා හැකි තරමක් රළු ව්‍යුහාත්මක සැකැස්මකින් යුතු, සැහැල්ලු, මිලෙන් අඩු මෙම උපාංගය නොබෝ කාලෙකින් බොහෝ පුද්ගලයන් අත දක්නට ලැබෙනු ඇතැයි මෙහි නිෂ්පාදකයන් විශ්වාස කරනු ලැබේ.

මොනවාද මේ Wi-Fi Boosters?

ඔබ මේ දිනවල අන්තර්ජාලයේ සැරි සරන විට නිතර දකින්නට ලැබෙන වෙළද දැන්වීම් අතර wifi booster ප්‍රධාන තැනක් ගන්නවට සැකයක් නැ.බොහෝ වෙළද දැන්වීම් ප්‍රචාරණ  වලින් ලබා දෙන මුලික අදහස වෙන්නේ ඔබගේ අන්තර්ජාල වේගය කිහිප ගුණයකින් වැඩි කර ගැනීම සදහා wifi booster භාවිතා කල හැකි බවයි. ඇත්තටම wifi booster වලින් අන්තර්ජාල වේගය වැඩි කර ගන්න පුළුවන්ද?

 Wifi booster, Wifi Extender හා Wifi Repeaters කියන උපකරණ ඒවායේ කාර්ය භාර්ය අතරින් බොහෝ දුරට සමානයි. මුලිකව මේ උපකරණ මගින් සිදු කරන්නේ wifi router එකෙන් එන wireless signal වල පරාසය වැඩි කරන එක. උදාහරණ විදියට ඔයාගේ ගෙදර wifi router එක තියෙන්නේ ඔයාගේ කාමරේ. හැබැයි ඔයාලගේ සාලෙට හරි ගෙදර වෙනත් තැනකට හරි අන්තර්ජාල සබදතාවය ගන්න ඕන වුනොත් එතනට signal එන්නේ නැත්නම් හරි එන signal වල speed එක අඩු නම් හරි අපට මේ උපකරණ භාවිතා කරලා කාමරේ වගේම speed විදියට අන්තර්ජාලය එක්ක පුළුවන්ද වෙන්න පුළුවන්.

wifi router එක හා අනෙකුත් අන්තර්ජාලය අවශ්‍ය උපකරණ අතර තියෙන පාලමකට අපට wifi booster සමාන කරන්න පුළුවන්. මුලින්ම wifi router එකට connect වෙන booster එක පසුව access point එකක් විදියට අනෙකුත් උපකරණ වලට භාවිතා කරන්න පුළුවන්. ඔයාලට තේරෙනවා ඇති මෙයා කරන්නේ wifi router එකෙන් broadcast කරන signal එක rebroadcast කරන එක කියලා.

wifi booster එකක් මිලදී ගැනීමට කලින් ඔයාට සිද්ධ වෙනවා ඔයාලගේ නිවසේ,කාර්යාලයේ හෝ අදාල ස්ථානයේ dead zone එක හරියටම හොයා ගන්න. ඒ කියන්නේ සාමාන්‍ය wifi router එක භාවිතා කරලා අන්තර්ජාල සබදතාවය දෙන්න බැරි ප්‍රදේශය හදුනා ගන්න එක.(නිවසේ බිත්ති වල ඝනකම වගේම බිත්ති ප්‍රමාණයත් වැඩි නම් එක wifi signal දුර්වල වීම කෙරෙහි කෙලින්ම බලපානවා ) ඊට පස්සේ අපට පුළුවන් මොන විදියේ booster එකක්ද හරියට හරියන්නේ කියලා තීරණය කරන්න.

නිවසේ හා කාර්යාලයේ තියෙන dead zone වලට විසදුමක් වගේම යම්විදියකින් අන්තර්ජාල වේගය වැඩි කිරීමටත් boosters භාවිතා කරන්න පුළුවන්. router එකක අන්තර්ජාල වේගය කෙරෙහි එය භාවිතා කරන IEEE standard එක කෙලින්ම බලපානවා. උදාහරණයක් ලෙස ඔබ භාවිතා කරමින් සිටින්නේ  පරණ router එකක් නම් එය ඉවත් කිරීමකින් තොරව network එකේ වේගය 802.11ac standard එකේ වේගයක් දක්වා වැඩි දියුණු කිරීමට booster එකකට පුළුවන්.

සියළුම දුරස්ථ පාලක වෙනුවට Broadlink RM Mini 3

rm mini 3

එදිනෙදා කටයුතු උදෙසා ඔබ දුරස්ථ පාලක එහෙම නැත්තම් remote controller බොහෝ සෙයින් භාවිත කරනවා ඇති. මෙහි පහසුවක් තිබුණද විවිධ උපාංග සඳහා විවිධ දුරස්ථ පාලක භාවිත කිරීමට ඔබට සිදු වෙනවා. ඒවගේම නිතරම බැටරි මාරු කිරීමටත්, දුරස්ථ පාලක කිහිපයක් තැබීමට යම් ඉඩකඩකුත් වෙන් කරන්න සිදු වෙනවා. නමුත් ඒ කරදරකාරී බව අවම කරගෙන ඔබේ smart දුරකතනයෙන් දුරස්ථ පාලක කටයුතු කරන උපාංගයක් ගැන තමයි මේ කියන්න හදන්නෙ. 

Broadlink RM Mini 3

සියලුම දුරස්ථ පාලක භාවිත කරන්නෙ IR එහෙම නැත්තම් Infrared කිරණ. මෙම කිරණ නිකුත් කිරීම මගින් අවශ්‍ය signal එක යොමු කිරීම තමයි දුරස්ථ පාලකයකින් සිදු කරන්නෙ. මෙම ක්‍රියාවලිය IR නොමැතිව කළ හැකි උපාංගයක් තමයි මේ Broadlink RM Mini 3 ලෙස හැඳින්වෙන්නෙ. මෙහිදී සිදු වෙන්නෙ මෙම උපාංගය wifi හෝ එවැනි අන්තර්ජාල පහසුකමක් ඔස්සේ ලබාගන්නා signal, IR කිරණයක් විදියට අවශ්‍ය විද්‍යුත් උපකරණය වෙත යොමු කිරීමයි. මේ සඳහා මෙම උපාංගය අත්‍යවශ්‍යයෙන්ම wifi router හා සම්බන්ධ කර තිබිය යුතුයි. Smart ජංගම දුරකථන සඳහා ලැබෙන යෙදුමක් ඔස්සේ ඔබට සියලුම දුරස්ථ පාලක වර්ග පෙර පුහුණු කරන්න පුළුවන්.

කොහෙන්ද මිලදී ගන්නේ?

මෙය දැනට ශ්‍රී ලංකාවේ වෙළඳ පොළක තිබෙන බවට සොයා ගත නොහැකි වුණත් online storeවල සොයා ගන්න පුළුවන්. ඒ වගේම amazon වගේ online shop එකකින් වුනත් ඇනවුම් කරන්න පුළුවන්. මෙය රු. 3000 සිට විවිධ මිළ ගණන්වලින් මිලදී ගන්න පුළුවන්. (මිල සැපයුම්කරු අනුව වෙනස් වේ). 

භාවිත කරන්නෙ කොහොමද?

මෙය setup කරගැනීම ඉතා පහසුයි. සරළ පියවර කිහිපයකින් මෙය භාවිත කරන්න පුළුවන්. උපාංගයට විදුලි බලය ලබාදීමෙන් පසු, smartphone එකේ ස්ථාපිත කරගත් IHC app එකෙහි අදාල උපාංගය තෝරාගෙන තිරයේ පරිදි උපදෙස් අනුගමනය කරන්න තිබෙන්නෙ. ඉන් පසු දුරස්ථ පාලක මෙම app එකට පුරුදු කිරීම කළ යුතුයි. නමුත් වෙළඳ පොළේ තිබෙන බොහෝ විද්‍යුත් උපකරණවල දුරස්ථ පාලක මෙම app එකෙහි ගබඩා කරලා තිබෙන නිසා අලුතෙන් එය කිරීම අත්‍යවශ්‍ය වන්නෙ නැහැ. නමුත් පළමු වර භාවිතයේදී, එම button නිවැරදිදැයි ඔබට බලන්න පුළුවන්. මෙසේ ඔබ ළඟ තිබෙන ඕනෑම දුරස්ථ පාලක මගින් පාලනය වන විද්‍යුත් උපකරණයක් මෙයට සම්බන්ධ කරන්න පුළුවන්. නමුත් මෙය IR කිරණ භාවිත කරන නිසා, බිත්ති අතර කිරණ සම්ප්‍රේෂණය වීමක් සිදු වෙන්නෙ නැහැ. ඒ නිසා මෙය එක් කාමරයක සිට තවත් කාමරයක පාලනය සිදු කරන්න බැහැ.

උදාහරණයක් ලෙස වායුසමීකරණ යන්ත්‍රයක් ගතහොත්, එහි ඇති බොහෝ කටයුතු මේ උපාංගය හා app එක හරහා කරන්න පුළුවන්. On/Off, timers, fan speed වගේ බොහෝ දේ පාලනය කිරීම කල හැක. පෙර සකසා  නැති, උපාංගයක් නම් user defined appliance මෙනුව ඔස්සේ නව උපාංගයක් එකතු කළහැක. 

මිට අමතරව Scene එකතු කිරීමත් කල හැක. ඉන් අදහස් වෙන්නෙ, යම් අවස්ථාවකදී උපාංග කිහිපයක් එක වර ක්‍රියා කරවන ලෙස උපදෙස් දීමයි. උදාහරණයක් විදියට එම අවස්ථාවේ වායුසමීකරණය 20°C  හා රුපවාහිනී යන්ත්‍රය on වීම සිදු වීම එක කාර්යයක් විදියට දක්වන්න පුළුවන්. 

Scene එකක් ක්‍රියාත්මක කිරීම

ඒ වගේම timers මගින් උපාංග ක්‍රියාත්මක කරන්න පුලවන්. එනම්, යම් කාලයක් සඳහා උපාංගයක් ක්‍රියාත්මක වීමත් එම කාලයට පසු ඉබේ උපාංගය ක්‍රියා විරහිත වීම සිදු කරන්න පුළුවන්. ඒ වගේම IFTTT සේවාව () ඔස්සේ, යම් දෙයක් සිදුවුවිට යම් කාර්යයයක් සිදු කිරීමට අපිට පුළුවන්. උදාහරණයක් විදියට උෂ්ණත්වය 25°C ට වඩා වැඩි වනවිට වායුසමීකරණය යම් උෂ්ණත්වයකට පත්වන තෙක් ක්‍රියාත්මක කරවන්න පුළුවන්. මේ වගේ එදිනෙදා කාර්යයන් ඉතා පහසු කරන්න මෙම කුඩා උපාංගයට පුළුවන්. 

Voice command මගින් පාලනය

අද වනවිට ජංගම දුරකථන අතින් හසුරුවන්නේ නැතිව, voice command එකකින් හසුරුවන්න පුළුවන් තරමටම තාක්ෂණය අලුත් වෙලා. Google Home හෝ Alexa වැනි voice assistant කෙනෙකු හරහාද අපිට මෙම උපාංග හසුරුවන්න පුළුවන්. ඒ සඳහා IHC හි ගිණුමක් සාදාගත යුතු වෙනවා. එය Google Home app එකට සම්බන්ධ කිරීම මගින් ඔබටත් කටහඩ මගින් ඔබේ නිවසේ දුරස්ථ පාලක මගින් ක්‍රියාත්මක වන ඕනෑම උපකරණයක් මෙහෙයවන්න පුළුවන්. 

අවාසි

මෙහි අවාසි කිහිපයක් තිබෙනවා. මුලින් සඳහන් කරා වගේ, IR කිරණ භාවිතය නිසා ඔබේ නිවසේ එක් එක් කාමර සඳහා වෙන වෙනම උපාංගයක් ස්ථාපිත කිරීමට සිදු වෙනවා. ඒ වගේම නිතරම router එක ක්‍රියාත්මකව තිබිය යුතුයි. මොකද ඔබේ mobile phone එකෙන් ලබාදෙන signal මෙම උපාංගයට ලැබෙන්නෙ router එක හරහා. ඒවගේම IR පමණක් compatible නිසා RF (radio frequency) මගින් පාලනය වන උපකරණ භාවිත කිරීමට හැකියාවක් නැහැ. නමුත් ඒ සඳහා Broadlink RM Pro ලෙස IR හා RF දෙකම භාවිත කල හැකි උපාංගයක් තිබෙනවා. 

VEGA – ලෝකය ජය ගැනීමට ශ්‍රී ලංකාවෙන් බිහිවන සුපිරි මෝටර් රථය

මේ වන විට ලංකාවේ බොහෝ දෙනා අතර කතාබහ වන මාතෘකාවක් වන්නේ ශ්‍රී ලංකාවෙන් නිපදවන සුපිරි මෝටර් රථය පිළිබදවයි. සුපිරි මෝටර් රථ ගැන කථා කරන විට අපි හැමෝටම වගේ සිහියට එන්නේ ඉතාලියේ , ජර්මනියේ වැනි රටවල නිපදවන  Lamborghini, Ferrari වැනි අධි බලැති සුපිරි මෝටර් රථයන්ය. නමුත් ඒ වගේම එම රථ වලට නොදෙවෙනි ආකාරයෙන් ශ්‍රී ලංකාවේද මේ වන විට මෙරට ප්‍රථම සුපිරි මෝටර් රථය නිපදවමින් පවතිනවා. මෙම සුපිරි මෝටර් රථය නමින් “VEGA” නම් වන අතර මෙය අප රටේ ඉංජිනේරුවන්ගේ වැඩක්.

මෙම සුපිරි නිර්මාණයේ පසුපස කතාව ගැන කතා කරන විට, මෙම සුපිරි මෝටර් රථය පිළිබද සංකල්පය නැතහොත් එම අදහස ගෙන එන්නේ CODEGEN හි ප්‍රධාන විධායක නිලධාරී වන ආචාර්ය හර්ෂ සුභසිංහ මහතායි .  එසේම ආචාර්ය හර්ෂ සුභසිංහ මහතාට මෙම සංකල්පය ක්‍රියාවට නංවන්න එකතු වන පුද්ගලයා වන්නේ ආචාර්ය බේශාන් කුලාපල මහතායි. ඔහු ඇමෙරිකාවේ Arizona State University තුලදී ආචාර්ය උපාධිය අවසන් කර ඇති අතර මෝටර් රථ ප්‍රතිස්ථාපනය කිරීම පිලිබඳ ඇති දැනුම නිසාම ආචාර්ය හර්ෂ සුභසිංහ මහතාට මෙම සුපිරි  සංකල්පය ක්‍රියාවට නංවන බලාපොරොත්තුව ඉෂ්ට වුන බව කිවොත් මා නිවැරදියි. එසේම ආචාර්ය බේශාන් කුලාපල මහතා මෙම VEGA ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමනාකරු ලෙස ක්‍රියා කරයි. එසේම මොවුන් මේ ව්‍යාපෘතිය සදහා දායක කරගෙන ඇති සියළු දෙනා අප රටේ එනම් ශ්‍රී ලංකාවේ මිනිස් සම්පත්ය. එනම් පිටරටවල් වලදී උසස් අධ්‍යාපනය ලබාගත් ශ්‍රී ලාංකිකයන් කිහිපදෙනෙක් වගේම ලංකාවේ විශ්වවිද්‍යාල වලින් බිහි වූ උපාධිධාරීන් මේ සදහා යොදවා ගැනීම සුවිශේෂ කරුණක්ය. මෙම VEGA ව්‍යාපෘතිය ආරම්භ වන විටම විශාල ගැටළු කිහිපයකටම මුහුණ දීමට සිදුවී තිබේ. නමුත් ඒවාට මුහුණ දී ආරම්භ කර ඇති VEGA සුපිරි මෝටර් රථය නිපදවීමේ ව්‍යාපෘතිය  ප්‍රධාන අරමුණ 3ක් මුල් කරගෙන ආරම්භ කොට ඇත.

ඒවා නම්

  • තප්පර 4 කදී 100 Kmph වේගයක් ලබාගැනීම.
  • පැයට කිලෝමීටර 240 ක උපරිම වේගයක් ලබාගැනීම.
  • බැටරිය චාර්ජ් කල පසු 240 Km දුරක් ධාවනය කිරීමට හැකි වීම වේ

VEGA

VEGA ගැන කතා කරන විට , මෙම ව්‍යාපෘතියේ තවත් අවශ්‍යතාවයක් වන්නේ විවිධ රැකියා ක්ෂේත්‍ර ආවරණය වන පරිදි මෙම ව්‍යාපෘතිය සිදු කිරීමයි. ඒ සදහා ඔවුන් Material Engineering, Mechanical Engineering , Electrical and Electronic Engineering, Software Engineering වැනි රැකියා ක්ෂේත්‍ර වල ප්‍රවීනයන් මේ සදහා යොදවාගෙන ඇත. VEGA හි ආකෘතිය ගැන කතා කරන විට මෙහි මුලික සැකැස්ම සදහා Carbon Fiber නම් අමුද්‍රව්‍ය යොදාගෙන ඇති අතර එහි මෙය ආසන දෙකකින් සමන්විත සැකැස්ම sleek aerodynamic පෙනුමකින් යුක්ත වේ. electric motor දෙකකින් සමන්විත වන මෙහි බර 1600Kg කි. මෙහි ඇති electric motor දෙකේ සම්පුර්ණ බලය අශ්ව බල 900 කට වඩා වැඩිය.එසේම Gear box දෙකක් භාවිතා කොට මෙම electric motors දෙක වෙන වෙනම පිටුපස සවී කොට ඇත. එසේම මෙහි සුපිරි ගණයේ තිරිංග පද්ධතියක් සහ suspension පද්ධතියක් සවි කර ඇත. එසේම මෙහි උපරිම වේගය පැයට කිලෝමීටර් 240 ක වේගයක් ඇති අතර තත්පර 4කටත් වඩා අඩු කාලයකින් නිශ්චලව සිට පැයට කිලෝමීටර් හැටක (0-60kmph ) වේගයක් අත් කරගත හැක.

Digital Differential

අපි සාමාන්‍යයෙන් භාවිතා කරන සැම වාහනයකටම Differential එකක් තිබේ. මෙමගින් වාහනය වංගුවක් ගන්නා විට රෝද දෙකට බලය අවශ්‍ය අනුපාතයට බෙදා දීම සිදුවේ. නමුත් මෙම VEGA නම් සුපිරි මෝටර් රථයේ පිටුපස රෝද දෙකට electric motors දෙකක් වෙන වෙනම සවි කොට ඇති අතර ඒවා වෙන වෙනම පාලනය කිරීමට හැකියාවක් තිබෙන නිසා මොවුන් විසින් ඒ සදහා Digital Differential යක් සාදා ඇත. එය භාවිතා කිරීමෙන් සුක්කානම හරවා ඇති කෝණය හඳුනා ගෙන සහ රියදුරා හට අත් කර ගැනීමට අවශ්‍ය වේග සීමාව හදුනාගෙන රෝද දෙකට නිසි පරිදි බලය බෙදාහැරීමට හැකියාව ඇත. මෙය භාවිතා කිරීමෙන් ඇති වාසි වන්නේ මෙය Digital system එකක් වන නිසා මෙහි නිවැරදිභාවය mechanical system එකකට වඩා වැඩි වන අතර මෙය ඉතා වේගයෙන් ක්‍රියාත්මක වේ. එම නිසාම මෙම සුපිරි රථයේ ස්ථායිතාව සහ මාර්ගයේ රදවා තබා ගැනීමේ හැකියාව වැඩි නිසා මෙම රථයට වැඩි වේගයකින් ගමන් කල හැකි අතර ආරක්ෂාකාරීව වංගු ගැනීමේ හැකියාව තිබේ.

Battery Pack

මෙහි ඇති electric motors දෙක සහ බැටරි cells පිටරටින් ගෙන්වා ඇත. එසේම මෙම electric motors දෙකට අවශ්‍ය විදුලි බලය සැපයෙන්නේ 3.3v Lithium ferro phosphate cells 600කිනි (LiFePO4 cells). සාමාන්‍යයෙන් භාවිතා වන smart phones සහ laptops වල තිබෙන්නේ LiCoO2 වන  නමුත් මේ LiFePO4 වල chemical stability එක ඉතා වැඩි නිසා දිගු කාලයක් පුරාවට ආරක්ෂාකාරීව විදුලි බලය සැපයීමේ  හැකියාවක් මේවාට ඇත. මෙහි බැටරි ඇසුරුම් (Battery Pack) 12ක් ඇති අතර එක බැටරි ඇසුරුමක cells 50ක් බැගින් ඇත. මේවා භාවිතා කිරීමේදී සාමාන්‍යයෙන් උෂ්ණත්වය වැඩි වේ. එම නිසා මේවාහි කාර්යක්ෂමතාවය අඩු වේ. එම නිසා එය පාලනය කිරීමට මෙහි Glycol Cooling System එකක්ද යොදාගෙන තිබේ

Digital Battery Monitoring System

. එසේම මේ සදහා Digital Battery Monitoring System එකක් භාවිතා කර ඇත. මෝටර් රථය ධාවනය වන විට cells වල වෝල්ටියතාවය අඩු වේ. ක්‍රමක් ක්‍රමයෙන් මෙය අඩුවෙන විට ආරක්ෂාකාරී මට්ටමට වඩා වෝල්ටියතා අගය පහල ගියහොත් මේ cells විනාශ වීමට ඇති හැකියාව බොහෝ සෙයින් වැඩිය. එය වලක්වා ගැනීම සදහා මෙම Digital Battery Monitoring System එක භාවිතා කොට ඇති අතර එමගින් තිබෙන cells 600ම voltage වෙන වෙනම ඉතාමත් නිවැරදිව මැන ගැනීමේ හැකියාවක් තිබේ. ආරක්ෂාකාරී මට්ටම ඉක්මවා  යන බැටරි cell තිබුනොත් ඒ බැටරි පද්ධති විසන්ධි කර හානි සිදු වීමෙන්  ආරක්ෂා කර ගැනීම මෙන්ම ඒ පිලිබඳ රියදුරා දැනුවත් කිරීමේ හැකියාවද මෙම පරිඝනක පද්ධතිය සතුය . තවද එමගින් විනාශ වී ගිය බැටරි cell පැවතියොත් එය නිවැරදිවම කුමන  බැටරි පද්ධතියේ කුමන  cell එකද යන්න හදුනාගත හැක. එවිට සේවා ස්ථානයකින් ඉතා අඩු මුදලකට අදාල බැටරි cell එක පමණක් ප්‍රතිස්ථාපනය කිරීමේ හැකියාවක් ඇත. මෙහි බැටරි charger එක මෝටර් රථයේ ඇතුලතම(ON – BOARD CHARGER ) සවි කොට ඇත. එසේම සාමාන්‍ය ගෘහස්ථ විදුලි පද්ධතියක් ආධාරයෙන් මේ බැටරි පද්ධතිය පැය 4කින් සම්පුර්ණයෙන්ම ආරෝපණය කිරීමටද හැකියවක් ඇත.

ඉදිරියේදී දැක ගනු හැකි Public Charging Station

එසේම VEGA කණ්ඩායම මගින් Public charging station උපාංගයක්ද නිර්මාණ කොට ඇති අතර ඉදිරියේදී මෙම Public charging stations ලංකාව පුරාම ඉදිරියේදී දැක ගනු හැක . එසේම super charging unit එකක් නිර්මාණය කිරීමට අදහසක්ද ඔවුන්ට තිබේ. super charging unit භාවිතයෙන් විනාඩි 20ක් ඇතුලත බැටරිය 80% ආරෝපණය කිරීමට හැකියාවක් ඇත. එසේම ආරම්භයේදී පැවසු සේම ඔවුන්ගේ ප්‍රධාන අරමුණක් වූ  බැටරිය වරක් සම්පුර්ණයෙන්ම ආරෝපණය කල පසු 240 Km දුරක් ධාවනය කිරීමට හැකි වීම ද මෙම මෝටර් රථයට ඇති විශේෂ හැකියාවක්ය.

මෙහි භාවිතා ඇති උපාංග කිහිපයක් පිටරටින් ගෙන්වා ගත් ඒවා වන අතර අනිකුත් සෑම දෙයක්ම ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ඒවා වීම විශේෂ කරුණක්ය. විශේෂයෙන් මෙහි ඇති තාක්ෂණය සදහා භාවිතා කර ඇති දැනුම 100% ක්ම ලංකාවේ සිටින දක්ෂයන්ගේ දැනුම වීම විශේෂිත වගේම ආඩම්බර විය යුතු කරුණකි. වරක් ආචාර්ය බේශාන් කුලාපල මහතා කල ප්‍රකාශයක් වන්නේ අලුත් දෙයක් නිපදවීමට අවශ්‍ය වන්නේ අලුත් දේවල් අත්හදා බැලීම, අලුත් දේවල් ඉගෙන ගැනීම සහ නොපසුබස්නා උත්සාහයයි. එම ප්‍රකාශය මෙම සුපිරි මෝටර් රථයේ ගමන් මග තුලින් මනාව පැහැදිලි වන අතර එය අපගේ ජිවිතයට එක් කර ගත හැකි මනා ආදර්ශයකි.  

ශ්‍රී ලංකික පුරවැසියෙක් වශයෙන් ඔබත් මමත් මෙරට නිෂ්පාදනයක් වන මෙම සුපිරි මෝටර් රථය ධාවනය කිරීමට ඉතා ආඩම්බරයෙන් යුක්තව මග බලා සිටී. මෙම ව්‍යාපෘතිය 100% ක්ම අවශ්‍ය ආකාරයෙන් සාර්ථක කරගැනීමට මෙන්ම ලෝකය ජය ගැනීමට ආචාර්ය හර්ෂ සුභසිංහ ඇතුළු ව්‍යාපෘතියේ සියලුම පිරිසට හැකි වේවායි Techwire කණ්ඩායම හදවතින්ම සුභ පතමු !