TechWire

කෘත්‍රිම බුද්ධියට වහල් වීම

2013 වර්ෂයේදී තිරගතවූ “Her” චිත්‍රපටියේදී හුදකලා ලේඛකයෙක් තමාගේ ඩිජිටල් සහකාරිය සමඟ ප්‍රේමයෙන් බැඳෙනවා. ඇය ඔහුගේ සියලු කටයුතු සඳහා උදව් වෙනවා වගේම ඔහුට පෞද්ගලික උපදෙස් පවා ලබා දෙනවා. අවසානයේ ඔහු ඇයව පෙම්වතිය බවට පත් කරගන්නවා . Samantha නම් වෙන මේ ඩිජිටල් සහකාරිය විශ්මයජනක වේගයකින් අළුත් දේ ඉගෙනගන්නා  A.I. මෘදුකාංගයක්.

Samantha අවම වශයෙන් තවත් දශකයක් පමණ විද්‍යා ප්‍රබන්ධයක් ලෙසම පවතීවි. කෙසේවුවත් bots [1] (රොබෝ ) නම්වූ අඩු-ක්‍රියාකාරී ඩිජිටල් සහායකයින් දැනටමත් අප අතරට ඇවිත්. මේවා අපගේ නිවෙස් වල 2017 දී දැකිය හැකි තවත් එක් විශ්මයජනක තාක්ෂණික දියුණුවීමක් වේවි.

පසුගිය උත්සව සමයේ හොඳම රොබෝවරුන් ලෙස අලෙවි වුණේ Amazon Echo සහ Google Home යි. මේ රොබෝ හි වල විශේෂත්වය වුයේ speakers භාවිතයෙන් කතා කිරීමටත්, ඔවුන් සතු microphones වලින් කාමරයක් තුල විහිදුනු ශබ්ද ඇසීමට හැකියාවක් දැක්වීමයි. උදාහරණයක් විදිහට Amazon Echo හට “Alexa” කියන නම ඇසුනහොත් කතා කරන පුද්ගලයා සිටින දිශාවට LED ආලෝකයක් විහිදුවමින් තමා අසා සිටින බව පෙන්නුම් කරනවා. මීට අමතරව ප්‍රශ්නවලට උත්තර දීම, සංගීතය සැපයීම, Amazon නිෂ්පාදන ඇණවුම් කිරීම , විහිළු තහළු කිරීම වගේ හැකියාවන් රාශියක් මේ රොබෝ සතුයි. Google Home හට ගූගල් ගිණුම් කළමනාකරණය, ඊමේල් කියවීමට හා ලිවීමට, දින සටහන් පිළිබඳ වාර්තාවක් තබා ගැනීම වගේ කාර්යයන් කිරීමට පුළුවන්.

Google සහ Amazon සමාගම් තෙවන පාර්ශවයේ ක්‍රමලේඛකයින් (Third-party developers) සඳහා ඔවුන්ගේ උපාංග සහ API විවෘත කර තිබෙනවා . ඒවා මගින් ඔවුන් pizza ඇණවුම් කිරීම, ප්‍රවේශපත් වෙන්කිරීම , විදුලි පහන් ක්‍රියා කරවීම සහ දුරකථන ඇමතුම් ලබා ගැනීම වැනි හැකියාවන් තවදුරටත් එකතු කරනු ඇති . ඒ වගේම වඩාත් හොඳ ව්‍යායාම සකස් කරගැනීමට හා ඖෂධ ලබාගැනීමට මතක් කිරීම වගේ දේවල් වලට උදව් වීමට, සෞඛ්‍යය හා ශාරීරික යෝග්‍යතා උපාංගයන් වෙත සම්බන්ධ වූ රොබෝ යන්ත්‍ර අපට ඉක්මනින්ම දකින්න පුළුවන් වේවි. ඒ විතරක් නොව, dishwasher හා microwave යන්ත්‍ර පාලනය සහ ශීතකරණයේ ඉතිරි වන දේ ගැන සොයා බලන මෙන්ම හදිසි අවස්ථාවක ගිලන් රථයක් ඇණවුම් කිරීමට හැකි රොබෝවරු ඉදිරියේදී දැකගන්න පුළුවන් වේවි.

වැඩි කලක් යන්නට මත්තෙන් ඔබ භාවිත කරන විදුලි උපකරණ තුලට, හඬ විධානයන් මඟින් පාලනය කිරීමට හැකි කෘතීම බුද්ධිමත් පද්ධතීන් ඒකාබද්ධ කරනු ඇත. එමගින් යන්ත්‍ර සමඟ සන්නිවේදනය කිරීමට හැකිවීම සාමන්‍ය දෙයක් වේවි. ඇත්තටම එය පුදුමයක් නෙවේ. දැනටමත් Microsoft සමාගම, සාමාන්‍ය මිනිසෙක් ලෙස භාෂවන් ගණනාවකට පරිවර්තනයන් සිදු කිරීමට හැකි ක්‍රමවේදයක් සොයාගෙන තියෙනවා [2]. මිනිස් කටහඬකින් වෙන්කරගැනීමට අපහසු හඬ-සංශ්ලේෂණ ක්‍රමවේදයක් Google විසින් සොයාගෙන තියෙනවා [3]. ඒ වගේම , ආහාර පිසින ආකාරය පවා රොබෝ කෙනෙක්ගෙන් අහගන්න වෙන කාලය නම් වැඩි ඈතක නෙවේ.

මෙසේ සිදු කිරීමට හැකි වී තිබෙන්නේ කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence) සහ ඊට ආශ්‍රිත ක්ෂේත්‍රයන් හි ඇති වුණු දියුණුව නිසාය. මෙම ක්ෂේත්‍රය ගැඹුරු ඉගෙනුම් (deep learning) ලෙස හඳුන්වන අතර එහිදී අත්දැකීම් මගින් කෘත්‍රිම න්‍යුරෝන ජාල (Artificial Neural Networks) තුල ඇති විවිධ උප මට්ටම් සහ ඒවා අතර ඇති සම්බන්ධතාවයන් වල ප්‍රභලතාවය පාලනය කිරීම සිදු කරයි. සරලව, එය මිනිස් මොළයේ ක්‍රියාකාරීත්වයට ඉතාමත් සමානයි. මිනිසෙක් තමා අවට ඇති දේවල් සහ පුද්ගලයින් හඳුනා ගැනීමට පුරුදු වනවා වගේම මේවාට ලබා දෙන උදාහරණ මගින් ඒවා අතර ඇති සම්බන්ධතා උපකල්පනය කරනවා. උදාරණ ලෙස, විවිධ පූසන්ගේ පින්තූර මිලියන ගණනක් පමණ ලබා දුන් පසු, මෙවැනි මෘදුකාංගයකට මවිල් පිරුණු, මුහුණේ කෙස් ඇති, සිවුපා සතෙක් (සහ තවත් බොහෝ ලක්ෂණ ද ලබා දුන් විට) පූසෙක් ලෙස හඳුනා ගැනීමට හැකියාව ලැබෙනවා [4].

Building High-level Features Using Large Scale Unsupervised Learning [4]

මිනිසුන් මෙන්ම යන්ත්‍ර ද දත්ත සහ උදාහරණ තුලින් දේවල් පිලිබඳ අවබෝධයක් ලබාගන්නවා. මේ නිසා තමයි බොහෝ තාක්ෂණික සමාගම් තමන්ගේ රොබෝ නිර්මාණ වෙළඳපොළට ඇතුලත් කිරීමට වෙහෙසෙන්නේ වගේම, ඒවා $150 ක් වගේ අඩු මිලක් යටතේ අලෙවි කරනු ලබන්නේත් . එසේ භාවිතා කරන උපාංග ගණන වැඩිවන විට ඒවා ඉගෙනගන්නා ප්‍රමාණයත් ඉබේම වැඩි වන නිසා මෙම තාක්ෂණය තවදුරටත් වැඩි දියුණු වෙනවා. උදාහරණ ලෙස, ඔබ YouTube හි හුරතල් සතුන්ගේ videos නරඹනවා නම් මේ සෑම අවස්ථාවකදීම Google විසින් ඔබ “හුරතල් ” යනුවෙන් සලකන්නේ කුමක්දැයි ඉගෙනගන්නවා. ඒ වගේම  “Alexa” ගෙන් ප්‍රශ්නයක් අසා පිළිතුරු ලබා ගන්නා සෑම විටකම එය විසින් ඔබගේ අවශ්‍යතාවයන් හඳුනාගන්නවා වගේම ඒ මගින් වඩාත් ඵලදායී ලෙස පිළිතුරු ලබා දීමට හැකියාවක් ලැබෙනවා.

නිවසේ සිදුවන සියලු දේ පිලිබඳ අවදානයෙන් සිටින මේ රොබෝ යන්ත්‍ර මිනිසුන් සිතන, ජිවත් වෙන රටා පිලිබඳ අවබෝධයක් ලබා ගන්නවා . මේ හරහා ඔවුන් විශාල දත්ත ප්‍රමාණයක් එකතු කරගන්නවා. මෙහි තියෙන නරක පැත්ත නම්, මේ එකතු කරගන්න දත්ත වැරදි ලෙස භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම මෙය කෙනෙකුගේ පුද්ගලිකත්වයට හානිදායක වෙන්න පුළුවන්. මන්ද යත්, මෙසේ එකතු කරගන්නා දත්ත තුලින් Amazon හෝ Google සිදු කරන ක්‍රියාකාරකම් වගේම ඔවුන් දත්ත සුරක්ෂිත ලෙස ගබඩා කරන්නේ කෙසේද යන්න ගැන පරිශීලකයන් දැනුවත් නොමැති වීමයි.

එපමණක් නෙවේ, මිනිසුන් මේ රොබෝ යන්ත්‍ර මත බොහෝ සේ යැපෙන්න පටන් ගැනීම මෙහි තවත් එක් කණගාටුවට කාරණයක්. අපි දැනටමත් දැනුම, උපදෙස් හා මානසික සහාය පවා ලබාගැනීමට රොබෝ යන්ත්‍ර මත යැපෙන්නට පටන් ගෙන අවසන්.

Her කතාවේදී නම් Theodore Twombly සහ Samantha අතර සම්බන්දය සාර්ථක වන්නේ නෑ. ඇය බුද්ධි මට්ටමින් හා පරිණතත්වයෙන් ඔහුව ඉක්මවනු ලබනවා. තවත් අය සමඟ සබඳතා ඇති කරගන්නා ඇය සුපිරි-ඩිජිටල් ජීවිතය සඳහා Twombly ව අතහැර දමනවා.

ඇත්තටම රොබෝ යන්ත්‍ර මිනිසුන් ඉක්මවීම සම්බන්ධව අප දැනට වද විය යුතු නෑ. නමුත් මිනිසුන් රොබෝ යන්ත්‍ර සමඟ ඇතිකරගන්නා ඒක-පාර්ශ්වික සම්බන්ධතා ගැනනම් අවධානය යොමු විය යුතුයි. 2007 වර්ෂයේ සිදු කල පරීක්ෂණයකට අනුව සමහර පුද්ගලයන් Roomba vacuum cleaner යන්ත්‍ර සමඟ “අසාමාන්‍ය” සමීප බවක් දක්වන බව හෙලි වුණා [5]. නවතම විද්‍යාත්මක පරීක්ෂණයකට අනුව සිය දහස් ගණනක්  Alexa රොබෝ හට ‘Good morning’ ලෙස පවසන බවත් [6], තවත් පිරිසක් එය හට ආදරය ප්‍රකාශ කර ඇති බවත්, 250,000 කට වැඩි පිරිසක් එය විවාහ ගිවිස ගැනීමටත් සුදානම් බවත් සොයා ගෙන තිබෙනවා.

මෙවැනි හේතූන් නිසා බොහෝ දෙනා මිනිස් සම්බන්ධකම් වලින් මිදී, තාක්ෂණික උපකරණ සමඟ ජීවත් වීමට පෙළඹිලා තිබෙනවා. අපට යමක් ගැන අදහසක් ගැනීමට අවශ්‍ය වූ විට යහළුවෙක් අමතනවා වෙනුවට අපි Siri ගෙන් ඒ ගැන විමසනවා. පිළිතුර ලැබුණාම අපි එයට ස්තූති කරනවා. එය ඉතාමත් සුළු දෙයක් ලෙස පෙනුණද, එය මහත් වූ ව්‍යසනයක ආරම්භය ලෙසයි මට හැඟෙන්නේ.

References:

[1] https://www.washingtonpost.com/news/innovations/wp/2016/09/30/siri-answers-your-questions-this-bot-will-understand-your-emotions/
[2] http://blogs.microsoft.com/next/2016/10/18/historic-achievement-microsoft-researchers-reach-human-parity-conversational-speech-recognition
[3] https://deepmind.com/blog/wavenet-generative-model-raw-audio/
[4] https://research.google.com/archive/unsupervised_icml2012.html
[5] https://home.cc.gatech.edu/jsung/uploads/Sung_IntimateHomeAppliances.pdf
[6] https://www.newscientist.com/article/mg23231045-700-how-we-fell-in-love-with-our-voiceactivated-home-assistants/

 

About author View all posts

Pramodi De Silva

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.